Friday, December 26, 2008

නත්තල ගතවූ හැටි

වෙනද වගේම මේ අවුරුද්දෙත් නත්තල ඇවිත් ගෙවිල ගියා.ඒත් වෙනද වගේ මේ පාර නත්තල සමරන්න නෑදෑයොත් එක්ක බැරි උනා.ඒ සමල් මල්ලිගෙ උපන් දිනේට සහභාගි වූ නිසා.කාලෙකට පස්සෙ පාසල් මිතුරන් එක්ක set වෙන්න ලැබුන..... :D ප්‍රබුද්ධ, කෙනත්, ධක්ෂින හා දිලුම් කියන පාසල් මිතුරන් ටික එකම දවසකදි මුණ ගැහෙන්න ලැබුන.දිලුම් ඇරෙන්න අනිත් කට්ටිය මගේ පන්ති සගයින්.ඒත් පස්සෙ මම රාජකීය විද්‍යාලයටත්, කෙනත් ආනන්ද විද්‍යාලයටත්, ප්‍රබුද්ධ නාලන්ද විද්‍යාලයටත් වෙන් වෙලා ගියා.ඒත් තාම ඉස්සර තිබිච්ච යාලු කම තාමත් ඒ විදිහටම තියෙනව.... :D කෙනත්ව මුන ගැහුනෙ අවුරුදු 3කට පස්සෙ.ඒ ඔහු ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන නිසා.ආපහු ජනවාරි 5 ඔහු යනව.ඒ වගේම අපි කට්ටිය අපිට උගන්නපු ගුරුවරුන්ව බලන්න යන්නත් දවසක් දාගත්ත.ඒත් ඒ ගුරුවරුන්ට දැන් අපිව මතකද දන්නෙත් නැහැ.....:(

ආපහු ජනවාරි පලවෙනිද ඉදල පරන පුරුදු කාල සටහනට වැඩ කරන්න වෙනව.දෙසැම්බර් 31 වෙනිදායින් නිවාඩුව ඉවර වෙන නිසා.දෙසැම්බර් 18 වෙනිද යාලුවොත් එක්ක එක්කහු වෙලා Beach Party එකක් දැම්ම ගල්කිස්සෙ.ඒකෙනුත් හොද ආතල් එකක් ගන්න ලැබුනා....:D

අද බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියත් පටන් ගත්ත.ඒකත් බලන්න ඕන.කාලයක් බංග්ලාදේශයෙ හිටපු නිසා මම නම් කැමති බංග්ලාදේශය දිනනවට.ලබන අවුද්දෙවත් ආපහු ගිහින් පරණ බංග්ලාදේශ යාලුවො මුන ගැහිල එන්න ඕන.තරගය නරඹද්දි හිතට පොඩි දුකක් එනව බංග්ලාදේශය වගේ ලස්සන රටක් දාල එන්න වෙච්ච එක ගැන....:( ආපහු කවද හරි දවසක බංග්ලාදේශයට ගිහින් ජීවත් වෙන්න හිතාගෙන ඉන්නෙ.මේ දවස් වල නම් බංග්ලාදේශයෙ ගොඩක් සීතල කාළගුණයක් තියෙන්නෙ.අද තරගයත් පටන් ගන්න පරක්කු උනා මීදුම නිසා.නමුත් මේක සාමාන්‍ය දෙයක් බංග්ලාදේශයෙ.පස්සෙ දවසක බංග්ලාදේශය ගැනත් බ්ලොග් සටහනක් ලියන්න හිතාගෙන ඉන්නව.

හෙට මිනි බ්ලොග් මැරතන් එකත් තියෙනව.වෙලාවක් තිබ්බොත් ඉඩ ලැබෙන හැටියට සහභාගි වෙන්න හිතාගෙන ඉන්නව.

එහෙනම් ඉතින් සියලු දෙනාටම සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවායි පතමින් මේ බ්ලොග් සටහන නිමා කරනව.

Friday, December 12, 2008

අපෙන් සමු ගත් සෝම හිමි

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී අද දිනට වසර පහක් සපිරෙයි.නමුත් උන්වහන්සේ දෙසූ නිර්මල බුදු දහම බොහෝ දෙනෙක්ගේ මනස තුල තවමත් රැදී පවතී.

1948 වසරේදී උපත ලබා 26 වෙනි වියේදී පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ දූගී පැලටද, මහා මන්දිරයටද එකසේ වැඩම කොට ධර්මය දේශනා කල සේක.කිසි විටෙකත් මුදල් හෝ වෙනත් වස්තුව කෙරෙහි ලොල් වෙමින් ධර්මය දේශනා කිරීමට නොපැමිනි උන්වහන්සේ, මේ මගින් නූතන භික්ෂූන් වහන්සේලාටද ඉමහත් ආදර්ෂයක් ලබා දුන් සේක.

ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක.අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.

එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද උන්වහන්සේ විසිනි.බෞද්ධයන් සරණ යා යුත්තේ තෙරුවන් සරණ බවත්, දෙවියන් යැදීමෙන් කිසි දෙයක් අපට නොලැබෙන බවත් උන්වහන්සේ ප්‍රසිද්ධයේ දේශනා කල සේක.නමුත් දැන් බොහෝ දෙනාට උන්වහන්සේ දේශනා කල ධර්මය අමතක වී ඇත.පසුගිය දිනෙක ආරම්භ කල සාමාන්‍ය පෙල විභාගයට පෙර හෝ ශිෂ්‍යත්ව විභාගයකට පෙර දේවාලයක් ඇති පන්සලකට ගොස් බැලුවහොත් මෙහි සත්‍යතාව වැටහේ.

එමෙන්ම නැසී ගිය අමාත්‍යවරයකු වූ අෂ්රොෆ් මහතා සමග කල රූපවාහිනී විවාදයේදී උන්වහන්සේ මෙන්ම එම අමාත්‍යවරයාද රටටම ආදර්ෂයක් වන ලෙස එම විවාදය කිරීමෙන්, විවාද කල යුත්තේ ගහ මරා ගැනීමෙකින් තොරව බවට ආදර්ෂයක් ලබා දුන්හ.මෙය නූතන මැති ඇමති වරුන්ටද ආදර්ෂයට ගත හැකි සිද්ධියකි.

උන්වහන්සේ අපවත් වූ පසු උන්වහන්සේගේ නම විකුණා ගනිමින් එක්තරා කොටසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවටද පත් වූහ.නමුත් ඔවුන් නිසා බොහෝ විට වූයේ භික්ෂූන් වහන්සේලාට ඇති ගෞරවය හෑල්ලු වීම පමණකි.

තවදුරටත් දුකින් බර වුනු අප හදවත් දහමින් සන්තර්පණය කරන්නට, අප නෙත් අග රැදි කදුලු අමා දහමින් පිස දමන්නට ඔබ හිමි තව දුරටත් අප අතර නැත.එනමුත් අප හදවත් තුල රනින් කැටයම් කළා සේ ඔබ නාමයත්, ඔබ දෙසූ අමා දහමත් සදා පවතිනු ඇත.

සෝම හාමුදුරුවනේ, නිවන් දකින්නට පෙර තවත් එක් වරක් අප අතර ඉපදී නැවතත් අප හදවත් අමා දහමින් නහවනු මැන.


"මාගේ ගත දුවන මුලු රුධිරයෙහිම ඇත්තේ සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්ය.සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් දිවි පුදන්නට වුවද මම සූදානම්......සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් දෙකක් නොවේ, එකක්මය.එය හරියට ගහට පොත්ත, පොත්තට ගහ මෙන් අතීතයේ සිට පැවතියකි."
-අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.

Tuesday, December 2, 2008

GIA, මෝස්තර නිරූපණය, සමාජ සම්බන්ධතා හා AIDS

ම ලගදි බලපු ෆිල්ම් 1ක් තමා GIA.සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරල තියෙන්නෙ.ෆිල්ම් එකේ තියෙන්නෙ Gia Marie Carangi නම් මෝස්තර නිරූපණ ශිල්පිනියක් ඉතා අඩු වයසින් මෝස්තර නිරූපණයට ඇවිත් මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා මිය යන හැටි.නමුත් ඇය මිය යන්නෙ AIDS රෝගයෙන්. එමෙන්ම ඇගේ විශේෂත්වය තමයි ලෝකයේ මුලින්ම AIDS වැලදී මිය ගිය ප්‍රසිද්ධ කාන්තාව වීම.

දෙසැම්බර් 1 වෙනිදට ලෝක AIDS දිනය යෙදිල තිබුන.අපේ රටෙත් එන්න එන්නම AIDS හා HIV ආසාධිතයන් ගනන එන්න එන්නම වැඩි වේගෙන යනව.මෙයට එක් හේතුවක් හැටියට මට පෙනෙන්නෙ බොහෝ දෙනෙක් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වල යෙදීමයි.රූපවාහිනි නාලිකාවෙහි මේ ගැන කල වැඩසටහනකදී සදහන් වූයේ බොහෝ විට පාසල් සිසුන්ද ගණිකාවන් කරා පැමිනෙන බවය.නමුත් බොහෝ විට මෙම කාන්තාවන් පාසල් සිසුන් සමග ලිංගික ක්‍රියාවල නොයෙදුනත් සමහර අවස්ථාවලදී මෙම කාන්තාවන්ගේ පහස ලැබෙන බවද සදහන් විය.

ශ්‍රී ලංකාවේද දැන් දැන් මෝස්තර නිරූපණය ජනප්‍රිය වෙමින් පවතී.නමුත් මේ සදහා පැමිනෙන බොහෝ කාන්තාවන් ලිංගික කටයුතු වල යෙදෙන බව ප්‍රසිද්ධ රහසකි.එමෙන්ම ඔවුන්ගෙන් සමහරෙක් විවිධ මත් ද්‍රව්‍ය ද භාවිතයට ගනිති.

ශ්‍රී ලංකාව තුල ලිංගික සේවා ලබා ගැනීමද අපහසු කටයුත්තක් නොවේ.අවන්හල්, රාත්‍රී සමාජ ශාලා, කැරොකේ ආයතන, සම්භාහන මධ්‍යස්ථාන ආදියෙහි සිදු වන්නේ ලිංගික සේවා ලබා දීමේ කටයුත්තය.මෙය නගරබදව මෙන්ම ගම්බදව ද දැකිය හැකි කාරණාවකි.

මත්ද්‍රව්‍ය භාවිතය නගරයත්, ගමත් ගිල ගනිමින් තිබේ.මත් ද්‍රව්‍ය ගෙන නොසන්සුන් වූ සිතකට හරි වැරද්ද නොතේරේ.මෙයින් සිදු වන්නේ තමාගේ ගතත්, සිතත් රෝගී වීමත්, මුදල් පසුම්බිය හිස් වීමත්, පවුල් සංස්ථාව බිද වැටීමත් පමණි.

විවාහයට පෙර සබදතා ද, විවාහයට පසු සබදතා ද දැන් විලාසිතාවක් වී තිබේ.මෙයට එක් හේතුවක් විය හැක්කේ රූපවාහිනියෙන් පෙන්වන ටෙලි නාට්‍යය.බොහෝ ටෙලි නාට්‍යය අනියම් සබදතා ඉස්මතු වන සේ නිපදවා ඇත.ටෙලි නාට්‍යය බැලීමට හුරු වී ඇති ශ්‍රී ලාංකීය ජනතාවට අනියම් සබදතා යන්න සාමාන්‍ය කරනය වී ඇත.බොහෝ දෙනෙකුට අනියම් ඇසුරක් නොමැති වීම මදිකමක් ලෙස සැලකීමටද මෙම ටෙලි නාට්‍යය දායක වී ඇත.

එමෙන්ම විදේශ රැකියා සදහා යන්නන්ද බොහෝ විට අනියම් ඇසුරක් සදහා යොමු වේ.විදේශ ගත වූ විට තම සමීපතමයන්ගෙන් වෙන් වන නිසා බොහෝ විට මොවුන්ට වැඩි නිදහසක් ලැබීම මෙයට හේතුව යයි සිතිය හැක.

අවසාන වශයෙන් කිව යුත්තේ අප රට පාලනය කල ජනාධිපතිවරයෙකු කීවාක් මෙන් තමාගේ ආරක්ෂාව තමාම සලසා ගන්නේ නම් AIDS මෙන්ම අනෙකුත් සමාජ රෝගයන්ගෙන් ද අපට ගැලවිය හැකි බවයි.

Friday, November 28, 2008

විශ්ව බලයෙන් ලෙඩ සුව කරන එලොවින් ආ ජීවකයා

විශ්ව බලයෙන් ලෙඩ රෝග සුව කිරීම දැන් දැන් ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍ය ක්‍රමයක් බවට පත් වෙමින් තිබේ.අඩුවකට ඇත්තේ ඔවුන් සදහා වෛද්‍ය සභාවක් හා වෛද්‍ය විද්‍යාලයක් පමණි.

මෙවැනි එක් වෛද්‍යවරයකු ඉංජිනේරු වෘත්තියෙන්, වෛද්‍ය වෘත්තියට පැමිණ ඇත.ඔහු කැලුම් වීරසිංහය.ඔහු කුඩා කල සිටම පෙර භවය ගැන සදහන් කරමින් පවසා ඇත්තේ ඔහු හට ලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් ඇති බවය.නමුත් ඔහුගේ පියා ජාතියෙහි වාසනාවට එම මතය ප්‍රසිද්ධියට පත් කර නැත.නැත්නම් කැලුම් වීරසිංහ නමින් නුතන ජීවකයකු බිහි වන්නේ මෙයට බොහෝ කලකට පෙරය.

මොහු මෙම ජාවාරම කර ගෙන යනු ලබන්නේ බුදු දහම මූලික කොටගෙනය.මොහුගෙන් සුවය ලබන රෝගීන් බුදු පිළිමයකට වැද නමස්කාර කල යුතුය.එහි වරදක් නොමැති නමුත් මොහුගේ මෙම ජාවාරමට බුදු දහම එක් කර ගැනීම බුදු දහමට කරන නිගාවක් බව මාගේ හැගීමය.

මා දන්නා තරමින් බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කර ගෙන නොමැත.බුදුරජාණන් වහන්සේ ද ප්‍රතිකාර ගෙන ඇත්තේ ජීවක නම් වෛද්‍යවරයාගෙන් බව පොත පතෙහි සදහන් වී ඇත.නමුත් ඒ බවක් මෙම කැලුම් වීරසිංහ නම් හොර ජීවකයා නොදන්නා බවක් මට හැගේ.

එමෙන්ම මොහුගේ ප්‍රතිකාර ක්‍රමය අවසන් වන්නේ රෝගියාට පහරක් ගැසීමෙනි.මෙය මොහු විසින් සොයා ගත් නවීන වෛද්‍ය ක්‍රමයක් විය හැක.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා මොහුට නොබෙල් ත්‍යාගයද මතු යම් දිනෙක ලැබිය හැක.එසේ වුවහොත් මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට විදේශ රටවලින්ද රෝගීන් පැමිනෙනු ඇත.එවිට මොහු මගින් විදේශ විනිමයද ලබා ගත හැකි වනු ඇත.එයින් පසු මොහුට සම්මාන කඩයක් මගින් "ආචාර්ය" හෝ "දේශබන්ධු" සම්මානයක් පිරිනමා "නුතන දුටුගැමුණු" මෙන් "නූතන ජීවකයකු" කර මොහු හට කලගුණ සැලකීමට අපට හැකිවනු ඇත.

මොහු සවුදි රජ පවුලටද වෙදකම් කර ඇත.මොහු සවුදි රජතුමාගේ ආරාධනාවකට අනුව සවුදි රජ මැදුරට ද ගොස් ඇත.එමෙන්ම යම් කිසි රෝගයකින් පෙලෙමින් සිටි සවුදි රජ කුමරෙකු ලංකාවට රැගෙන විත් කොළඹ තරු පහේ හෝටලයක නවත්වා ප්‍රතිකාර කර ඇත.එමෙන්ම එම රජ කුමරු හට කොන්දේසියක් ද පනවා තිබේ.එය නම් දිනපතා පංසල් ගොස් බුදුන් වැදීමය.මෙම රජ කුමරු ගංගාරාම පංසලට ගොස් එය ඉටු කර ඇත.
(මා දන්නා තරමින් ඉස්ලාම් දහම අදහන්නන් ප්‍රතිමා වන්දනාවේ නො යෙදෙන අතර මෙවැනි කටයුත්තක් සවුදි රජ පවුලට අයත් පුද්ගලයකු අතින් සිදු වූයේ යයි සිතීම අපහසුය.මෙම කථාවෙහි සත්‍ය අසත්‍යතාව පිළිබදව කිසිවක් මා නො දන්නා අතර මා මෙය දැන ගනු ලැබූවේ ස්වාධීන රූපවාහිනී සේවයේ මොහු ගැන කල වැඩසටහනකදී මොහු කල ප්‍රකාශයක් මගිනි.)

එමෙන්ම මොහු හට ජාතික රෝහලෙහි අධ්‍යක්ෂක තනතුර ද පිරිනැමිය හැක.එවිට රෝගී වී පැමිණෙන්නන් මොහුගෙන් පහරක් කා එවලේම සුව වී නිවස බලා යනු ඇත.එවිට රෝහල් තුල waiting list ඇති නොවනු ඇත.එමෙන්ම රෝහල් නඩත්තු කිරීමට මුදල් වැය නොවනු ඇත. වෛද්‍ය,හෙද හා අනෙකුත් සේවකයන්ට පඩි ගෙවීමට සිදු නොවනු ඇත.එම මුදල් අනෙකුත් සංවර්ධන කටයුතු සදහා යොදා ගත හැකි වනු ඇත.එවිට අප රට ඉතා ඉක්මනින්ම සිංගප්පූරුවක් වනු ඇත.එමෙන්ම සියලුම වෛද්‍ය විද්‍යාල වසා දමා ඒවායේ විශ්ව බලයෙන් ලෙඩ සුව කිරීම ගැන පාඨමාලා ඇරඹිය හැක.එවිට මොහුට එම පීඨයක ප්‍රථම පීඨාධිපති වීමට හැකි වනු ඇත.

මා දන්නා තරමින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභා 3ක් තිබේ.ඒ බටහිර,ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය සභාය.නමුත් මොහු මෙම වෛද්‍ය සභාවක ලිපදිංචි වී නොමැත.එසේ වී ඇත්තේ මොහු හට ලියාපදිංචි වීමට වෛද්‍ය සභාවක් නොමැති වීමය.එසේ නම් රජය කල යුතුව ඇත්තේ විශ්ව බලයෙන් ලෙඩ සුව කරන මෙවන් ජීවකයන් සදහා වෛද්‍ය සභාවක් ඇති කර එහි මුල්ම සභාපති කම මොහුට ලබා දීමය.මොහු වැනි තවත් කිහිප දෙනෙකු විශ්ව බලයෙන් ලෙඩ සුවපත් කරන නිසා මොහු මෙම වෛද්‍ය සභාවෙහි එකම හා අවසාන සාමාජිකයා නොවනු ඇත.

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මෙවන් එලොවින් ආ ජීවකයන් මගින් රෝග සුව කර ගැනීමට යාමෙන් සිදු විය හැක්කේ, ඔහු ආ එලොවට අපට යාමට වීසා ලැබීම හෝ ජීවිත කාලයම පීඩා විදිය හැකි රෝගාබාධයකට ලක් වීමට සිදු විය හැකි බවය.

Monday, November 24, 2008

අහෝ!!!!....මාගේ විභාග ප්‍රතිඵල

සිකුරාදා විභාග ප්‍රතිඵල ආවට අද තමා ගිහින් බැලුවෙ.හැමදාම එන ප්‍රතිඵලේම තමා මේ පාරත්......:((((

මම විභාගයක් එක පාරම සමත් උනේ අ.පො.ස. සා/පෙ විතරයි.අනිත් සේරම ඉතින් repeat තමා.මුලින්ම වෙනිය දැම්මෙ හතරෙ පංතියෙදි.පලවෙනි පාරම 34 වෙනිය උනා....:D හයේ පංතියෙදි විතරක් කුමක් හෝ වාසනාවකට මට පංතියෙ තුන් වෙනිය වෙන්න දෙපාරක් ලැබුන.ඒත් මම ගැන අනිත් අය හිතගෙන ඉන්නෙ මම හරි bright ලමයෙක් විදිහට.මොකද මම වැඩ කලේ නැතත් කරනව වගේ පෙන්නනවනෙ.....:P ඒ වගේ වැඩට නම් මම පංතියෙ පලවෙනිය.....:D

ඔන්න ඉතින් අද ප්‍රතිඵලත් බලල බැංකුවට සල්ලිත් ගෙවල repeat exam එකට register උනා.පුදන කොටම ගහපි යකා කිව්ව වගේ විභාග කාලසටහන දැක්කම තමා දෙයියො සිහි උනේ.....:(((( අනිද්දට තමා repeat exam පටන් ගන්නෙ.මොනව කරන්නද?....:((( එන විදිහකට මුහුන දෙනව කියල හිතාගෙන ගෙදර ආවා.දැන් ඉතින් නින්ද නැතිව රැය පහන් කරන්න තමා වෙලා තියෙන්නෙ...:((((

මටත් වඩා විභාගෙ ප්‍රතිඵල ගැන අමාරුව තියෙන්නෙ අනිත් උන්ට.හැම එකාම ප්‍රතිඵල අහනව.මොනව කරන්නද?උන් pass වෙච්ච අමාරුවටනෙ එහෙම අහන්නෙ....:(((( මාත් කවදා හරි pass වෙච්ච දවසට උන්ගෙන් පොලියත් එක්කම ගන්න ඕනෙ batch top වෙලා....:))) ඒත් ඒ දවස කවදා උදා වෙයිද කියල නම් දන්නෙ නැහැ....:((((

මොනව උනත් මේකෙන් උනේ නිවාඩු කාලෙත් පාඩම් කරන්න වෙන එකයි.එක අතකට නිකන් ඉන්නවට වඩා මේකත් හොදයි.....:))) මොනව හරි දෙයක් පාඩම් කෙරෙනවනෙ.....:))))

ලබන සැරේවත් එක පාරම පාස් වෙනවයි කියල හිතාගෙන අද බ්ලොග් සටහන නිමා කරනව.  

"විභාගෙ, විභාගෙ එහෙ බැලුවත් විභාගෙ, මෙහෙ බැලුවත් විභාගෙ
විභාගේ තමයි අපේ......."

ප.ලි. : තමන් විභාග වලට පවත්නා කැමැත්ත අනුව පහත ගීතය සම්පූර්ණ කර ගත හැක.මොකද හැමෝම මම වගේ විභාග fail නොවන නිසා.....:))))

Friday, November 21, 2008

Loving Star

ඊයෙ රෑ 9.30ට ස්වරණවාහිනියෙ ගිය ස්ටාර්ස් වැඩසටහන තමයි Loving Star.සුරාජ් මාපාගෙ හිත ගත්ත යුවතිය තෝරන එකයි කරන්නෙ.තෝරන්නෙත් SMS වලින්.අනිත් ස්ටාර් වැඩසටහන් වගේමයි.වෙනසකට තියෙන්නෙ සුරාජ් මාපාට නොමිලේම සහකාරියක් ලැබෙන එකයි......:P

කවදාවත් පෙම්වතෙක් නොවෙච්ච මට කෙල්ලන්ගෙ මායම් 64 ගැන මනා වැටහීමක් මේ වැඩසටනෙන් ලැබෙනව.ඒ වගේම පෙම්වතෙක්, පෙම්වතියක් වෙන්න ඉන්න අයටත් මේ වැඩසටහන බොහොම වැදගත් වේවි.මොකද මේ වැඩසටහනේදි කෙල්ලො ආස කරන දේවල්, පෙම්වතෙක් තමන්ගෙ පෙම්වතියගෙන් බලාපොරොත්තු වෙන දේවල් හොදට කියල දෙන නිසා.ඒ වගේම තමන්ගෙ මායම් 64 පාවිච්චි කරන්න ඕන හැටි ගැන වැටහීමක් කෙල්ලන්ටත් ලබා ගන්න පුලුවන්.ඒ වගේම පෙම්වතිය සකස් කරපු කෑම පෙම්වතාට එපා උනොත් වෙන දේත් බලා ගත්තෑකි....:P

මේ වගේ වැඩසටහන් තව වැඩි වැඩියෙන් තියෙන්න ඕන.නැත්නම් මම වගේ තනිකඩයන්ට කෙල්ලො ගැන වැටහීමක් ලැබෙන්නෙ කොහොමද?ඒ වගේම සල්ලි වැඩි අයට SMS කරල බහු ජාතික සමාගම් පොහොසත් කරන්නත් පුලුවන්නෙ.ඒ වගේම ශ්‍රී ලාංකීය අභිමානයත් තරුණ පරපුර අතර තව තවත් වැඩි වෙනවනෙ.

මටත් ඉක්මනින්ම පෙම්වතියක් ලැබේවායි කියල මටම කියා ගන්න ගන්න ගමන් අද සටහන ඉවර කරනවා....:P මම වගේ අනික් තනිකඩ අයටත් ඉක්මනින්ම තමන්ගේ සහකරු හෝ සහකාරිය ඉක්මනින්ම ලැබේවා!!!!

Thursday, November 20, 2008

SLIIT ජීවිතේ

අද මට හිතුන SLIIT එකේ ගෙවන ජීවිතේ ගැන බ්ලොග් එකේ දාන්න.

මම හිතන්නෙ ඕන එක්කෙනෙක්ගෙ ජීවිතේ හොදම කාලෙ තමයි පාසල් කාලය.ඊට පස්සෙ හොදම කාලෙ තමයි කැම්පස් එකේ ගෙවෙන කාලෙ.

තාම මම ඉන්නෙ පලවෙනි වසරෙ.ජනවාරි ඉදන් දෙවන වසරෙ.

SLIIT ගැන කියනකොටම මතක් වෙන්නෙ get together එක.මගේ බැච් එකේ ඉන්න සියුමැලි තමා මේ අවුරුද්දේ Miss.SLIIT උනේ.ඒත් ඉතින් එදා get එක ඉවර උනේ නම් ලමයෙක්ගේ බඩේ Coca-Cola බෝතලයක් නැවතිලා.....:( කෑවම බිව්වම ඔහොම තමා.මොනව කරන්නද?මේක ලංකාවනේ!

SLIIT ගැන කියනකොට Chandrika මැඩම් වත් අමතක කරන්න බැහැ.මැඩම් තමා පලවෙනි lecture එක කලේ.වචනයක් වත් lecture එක වෙලාවෙදි කතා කරන්න බැහැ.Handphone එකත් off කරලයි තියා ගන්න ඕන.Silent දාල වත් තියා ගන්න බැහැ.බැරි වෙලා වත් ring උනොත් රාජ සන්තක තමා....:(

SLIIT ගැන විස්තර තව පස්සෙ කියන්නම්.දැන් පාන්දර 4 යි.අද second semester එකේ results දෙනව කියල ආරංචියක් තියෙනව.ඒ නිසා උදෙන්නම යන්න ඕන.ආපහු ඉක්මනින්ම බ්ලොග් එකක් ලියන්නම්.....:)

Wednesday, November 19, 2008

දෙවන සටහන

මගේ පලවෙනි සටහනට comments 3ක් දාල තියෙනව දැක්කම පුදුමත් හිටුන.මොකද මම කලින් English වලින් කරපු බ්ලොග් එකට comment එකක් වැටුනෙ ඉදල හිටල නිසා.ඒකත් වැටුනෙ බැච් එකේ අයගෙන් විතරයි.ඒ නිසා මම ඒක delete කරල sinhalen එකක් පටන් ගත්ත.පලවෙනි comment එක මම හැමදාම කියවන මලී අක්කගෙන්ම ලැබුන.......:))))Thank you Malee Akki...:)))
මේ දවස් වල නිවාඩු.ඒ නිසා ඕන තරම් බ්ලොග් ලියන්න පුලුවන්.ආපහු කැම්පස් යන්නෙ ජනවාරි වල.ඒත් සතියට දවසක් දෙකක් විතර කැම්පස් පැත්තෙ ගිහින් එනව.ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.වැඩිපුර මේ දවස් වල නම් යන්නෙ මාලබේ කැම්පස් එකට.මොකද එහෙ තියෙන නිදහස කොල්ලුපිටියෙ නැති නිසා.
අදට ඇතියි කියල හිතෙනව.ෆිල්ම් එකක් බලන්නත් ඕන.හෙටත් බ්ලොග් එකක් දාන්නම්....:))))

Tuesday, November 18, 2008

මුල්ම සටහන

මම චරිත් වීරක්කොඩි.ගොඩක් කල් ඉදල sinhalen බ්ලොග් 1ක් ලියන්න ආසාවෙන් හිටියත් අද තමයි පටන් ගත්තෙ.
මම ඉගෙන ගන්නෙ Sri Lanka Institute of Information Technology(SLIIT) කොල්ලුපිටිය මණ්ඩපයෙ.
හැමදාම sinhala බ්ලොග් කියෙව්වත් අද තමා යුනිකෝඩ් එසැණින් පරිවර්තකය හොයා ගත්තෙ. නැත්නම් කවදාවත්ම sinhalen බ්ලොග් 1ක් ලියවෙන එකක් නැහැ.
අදට ඇතියි කියල හිතෙනව.තව විස්තර පස්සෙ කියන්නම්.