Friday, December 26, 2008

නත්තල ගතවූ හැටි

වෙනද වගේම මේ අවුරුද්දෙත් නත්තල ඇවිත් ගෙවිල ගියා.ඒත් වෙනද වගේ මේ පාර නත්තල සමරන්න නෑදෑයොත් එක්ක බැරි උනා.ඒ සමල් මල්ලිගෙ උපන් දිනේට සහභාගි වූ නිසා.කාලෙකට පස්සෙ පාසල් මිතුරන් එක්ක set වෙන්න ලැබුන..... :D ප්‍රබුද්ධ, කෙනත්, ධක්ෂින හා දිලුම් කියන පාසල් මිතුරන් ටික එකම දවසකදි මුණ ගැහෙන්න ලැබුන.දිලුම් ඇරෙන්න අනිත් කට්ටිය මගේ පන්ති සගයින්.ඒත් පස්සෙ මම රාජකීය විද්‍යාලයටත්, කෙනත් ආනන්ද විද්‍යාලයටත්, ප්‍රබුද්ධ නාලන්ද විද්‍යාලයටත් වෙන් වෙලා ගියා.ඒත් තාම ඉස්සර තිබිච්ච යාලු කම තාමත් ඒ විදිහටම තියෙනව.... :D කෙනත්ව මුන ගැහුනෙ අවුරුදු 3කට පස්සෙ.ඒ ඔහු ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන නිසා.ආපහු ජනවාරි 5 ඔහු යනව.ඒ වගේම අපි කට්ටිය අපිට උගන්නපු ගුරුවරුන්ව බලන්න යන්නත් දවසක් දාගත්ත.ඒත් ඒ ගුරුවරුන්ට දැන් අපිව මතකද දන්නෙත් නැහැ.....:(

ආපහු ජනවාරි පලවෙනිද ඉදල පරන පුරුදු කාල සටහනට වැඩ කරන්න වෙනව.දෙසැම්බර් 31 වෙනිදායින් නිවාඩුව ඉවර වෙන නිසා.දෙසැම්බර් 18 වෙනිද යාලුවොත් එක්ක එක්කහු වෙලා Beach Party එකක් දැම්ම ගල්කිස්සෙ.ඒකෙනුත් හොද ආතල් එකක් ගන්න ලැබුනා....:D

අද බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියත් පටන් ගත්ත.ඒකත් බලන්න ඕන.කාලයක් බංග්ලාදේශයෙ හිටපු නිසා මම නම් කැමති බංග්ලාදේශය දිනනවට.ලබන අවුද්දෙවත් ආපහු ගිහින් පරණ බංග්ලාදේශ යාලුවො මුන ගැහිල එන්න ඕන.තරගය නරඹද්දි හිතට පොඩි දුකක් එනව බංග්ලාදේශය වගේ ලස්සන රටක් දාල එන්න වෙච්ච එක ගැන....:( ආපහු කවද හරි දවසක බංග්ලාදේශයට ගිහින් ජීවත් වෙන්න හිතාගෙන ඉන්නෙ.මේ දවස් වල නම් බංග්ලාදේශයෙ ගොඩක් සීතල කාළගුණයක් තියෙන්නෙ.අද තරගයත් පටන් ගන්න පරක්කු උනා මීදුම නිසා.නමුත් මේක සාමාන්‍ය දෙයක් බංග්ලාදේශයෙ.පස්සෙ දවසක බංග්ලාදේශය ගැනත් බ්ලොග් සටහනක් ලියන්න හිතාගෙන ඉන්නව.

හෙට මිනි බ්ලොග් මැරතන් එකත් තියෙනව.වෙලාවක් තිබ්බොත් ඉඩ ලැබෙන හැටියට සහභාගි වෙන්න හිතාගෙන ඉන්නව.

එහෙනම් ඉතින් සියලු දෙනාටම සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවායි පතමින් මේ බ්ලොග් සටහන නිමා කරනව.

Friday, December 12, 2008

අපෙන් සමු ගත් සෝම හිමි

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී අද දිනට වසර පහක් සපිරෙයි.නමුත් උන්වහන්සේ දෙසූ නිර්මල බුදු දහම බොහෝ දෙනෙක්ගේ මනස තුල තවමත් රැදී පවතී.

1948 වසරේදී උපත ලබා 26 වෙනි වියේදී පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ දූගී පැලටද, මහා මන්දිරයටද එකසේ වැඩම කොට ධර්මය දේශනා කල සේක.කිසි විටෙකත් මුදල් හෝ වෙනත් වස්තුව කෙරෙහි ලොල් වෙමින් ධර්මය දේශනා කිරීමට නොපැමිනි උන්වහන්සේ, මේ මගින් නූතන භික්ෂූන් වහන්සේලාටද ඉමහත් ආදර්ෂයක් ලබා දුන් සේක.

ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක.අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.

එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද උන්වහන්සේ විසිනි.බෞද්ධයන් සරණ යා යුත්තේ තෙරුවන් සරණ බවත්, දෙවියන් යැදීමෙන් කිසි දෙයක් අපට නොලැබෙන බවත් උන්වහන්සේ ප්‍රසිද්ධයේ දේශනා කල සේක.නමුත් දැන් බොහෝ දෙනාට උන්වහන්සේ දේශනා කල ධර්මය අමතක වී ඇත.පසුගිය දිනෙක ආරම්භ කල සාමාන්‍ය පෙල විභාගයට පෙර හෝ ශිෂ්‍යත්ව විභාගයකට පෙර දේවාලයක් ඇති පන්සලකට ගොස් බැලුවහොත් මෙහි සත්‍යතාව වැටහේ.

එමෙන්ම නැසී ගිය අමාත්‍යවරයකු වූ අෂ්රොෆ් මහතා සමග කල රූපවාහිනී විවාදයේදී උන්වහන්සේ මෙන්ම එම අමාත්‍යවරයාද රටටම ආදර්ෂයක් වන ලෙස එම විවාදය කිරීමෙන්, විවාද කල යුත්තේ ගහ මරා ගැනීමෙකින් තොරව බවට ආදර්ෂයක් ලබා දුන්හ.මෙය නූතන මැති ඇමති වරුන්ටද ආදර්ෂයට ගත හැකි සිද්ධියකි.

උන්වහන්සේ අපවත් වූ පසු උන්වහන්සේගේ නම විකුණා ගනිමින් එක්තරා කොටසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවටද පත් වූහ.නමුත් ඔවුන් නිසා බොහෝ විට වූයේ භික්ෂූන් වහන්සේලාට ඇති ගෞරවය හෑල්ලු වීම පමණකි.

තවදුරටත් දුකින් බර වුනු අප හදවත් දහමින් සන්තර්පණය කරන්නට, අප නෙත් අග රැදි කදුලු අමා දහමින් පිස දමන්නට ඔබ හිමි තව දුරටත් අප අතර නැත.එනමුත් අප හදවත් තුල රනින් කැටයම් කළා සේ ඔබ නාමයත්, ඔබ දෙසූ අමා දහමත් සදා පවතිනු ඇත.

සෝම හාමුදුරුවනේ, නිවන් දකින්නට පෙර තවත් එක් වරක් අප අතර ඉපදී නැවතත් අප හදවත් අමා දහමින් නහවනු මැන.


"මාගේ ගත දුවන මුලු රුධිරයෙහිම ඇත්තේ සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්ය.සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් දිවි පුදන්නට වුවද මම සූදානම්......සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් දෙකක් නොවේ, එකක්මය.එය හරියට ගහට පොත්ත, පොත්තට ගහ මෙන් අතීතයේ සිට පැවතියකි."
-අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි.

Tuesday, December 2, 2008

GIA, මෝස්තර නිරූපණය, සමාජ සම්බන්ධතා හා AIDS

ම ලගදි බලපු ෆිල්ම් 1ක් තමා GIA.සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරල තියෙන්නෙ.ෆිල්ම් එකේ තියෙන්නෙ Gia Marie Carangi නම් මෝස්තර නිරූපණ ශිල්පිනියක් ඉතා අඩු වයසින් මෝස්තර නිරූපණයට ඇවිත් මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා මිය යන හැටි.නමුත් ඇය මිය යන්නෙ AIDS රෝගයෙන්. එමෙන්ම ඇගේ විශේෂත්වය තමයි ලෝකයේ මුලින්ම AIDS වැලදී මිය ගිය ප්‍රසිද්ධ කාන්තාව වීම.

දෙසැම්බර් 1 වෙනිදට ලෝක AIDS දිනය යෙදිල තිබුන.අපේ රටෙත් එන්න එන්නම AIDS හා HIV ආසාධිතයන් ගනන එන්න එන්නම වැඩි වේගෙන යනව.මෙයට එක් හේතුවක් හැටියට මට පෙනෙන්නෙ බොහෝ දෙනෙක් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වල යෙදීමයි.රූපවාහිනි නාලිකාවෙහි මේ ගැන කල වැඩසටහනකදී සදහන් වූයේ බොහෝ විට පාසල් සිසුන්ද ගණිකාවන් කරා පැමිනෙන බවය.නමුත් බොහෝ විට මෙම කාන්තාවන් පාසල් සිසුන් සමග ලිංගික ක්‍රියාවල නොයෙදුනත් සමහර අවස්ථාවලදී මෙම කාන්තාවන්ගේ පහස ලැබෙන බවද සදහන් විය.

ශ්‍රී ලංකාවේද දැන් දැන් මෝස්තර නිරූපණය ජනප්‍රිය වෙමින් පවතී.නමුත් මේ සදහා පැමිනෙන බොහෝ කාන්තාවන් ලිංගික කටයුතු වල යෙදෙන බව ප්‍රසිද්ධ රහසකි.එමෙන්ම ඔවුන්ගෙන් සමහරෙක් විවිධ මත් ද්‍රව්‍ය ද භාවිතයට ගනිති.

ශ්‍රී ලංකාව තුල ලිංගික සේවා ලබා ගැනීමද අපහසු කටයුත්තක් නොවේ.අවන්හල්, රාත්‍රී සමාජ ශාලා, කැරොකේ ආයතන, සම්භාහන මධ්‍යස්ථාන ආදියෙහි සිදු වන්නේ ලිංගික සේවා ලබා දීමේ කටයුත්තය.මෙය නගරබදව මෙන්ම ගම්බදව ද දැකිය හැකි කාරණාවකි.

මත්ද්‍රව්‍ය භාවිතය නගරයත්, ගමත් ගිල ගනිමින් තිබේ.මත් ද්‍රව්‍ය ගෙන නොසන්සුන් වූ සිතකට හරි වැරද්ද නොතේරේ.මෙයින් සිදු වන්නේ තමාගේ ගතත්, සිතත් රෝගී වීමත්, මුදල් පසුම්බිය හිස් වීමත්, පවුල් සංස්ථාව බිද වැටීමත් පමණි.

විවාහයට පෙර සබදතා ද, විවාහයට පසු සබදතා ද දැන් විලාසිතාවක් වී තිබේ.මෙයට එක් හේතුවක් විය හැක්කේ රූපවාහිනියෙන් පෙන්වන ටෙලි නාට්‍යය.බොහෝ ටෙලි නාට්‍යය අනියම් සබදතා ඉස්මතු වන සේ නිපදවා ඇත.ටෙලි නාට්‍යය බැලීමට හුරු වී ඇති ශ්‍රී ලාංකීය ජනතාවට අනියම් සබදතා යන්න සාමාන්‍ය කරනය වී ඇත.බොහෝ දෙනෙකුට අනියම් ඇසුරක් නොමැති වීම මදිකමක් ලෙස සැලකීමටද මෙම ටෙලි නාට්‍යය දායක වී ඇත.

එමෙන්ම විදේශ රැකියා සදහා යන්නන්ද බොහෝ විට අනියම් ඇසුරක් සදහා යොමු වේ.විදේශ ගත වූ විට තම සමීපතමයන්ගෙන් වෙන් වන නිසා බොහෝ විට මොවුන්ට වැඩි නිදහසක් ලැබීම මෙයට හේතුව යයි සිතිය හැක.

අවසාන වශයෙන් කිව යුත්තේ අප රට පාලනය කල ජනාධිපතිවරයෙකු කීවාක් මෙන් තමාගේ ආරක්ෂාව තමාම සලසා ගන්නේ නම් AIDS මෙන්ම අනෙකුත් සමාජ රෝගයන්ගෙන් ද අපට ගැලවිය හැකි බවයි.