Thursday, December 17, 2009

ඇත්තම "මචන්ල" සෙට් එක

මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන, කියවන හැම දෙනෙක්ම වගේ "මචන්" චිත්‍රපටිය එක පාරක්වත් බලල ඇති කියල.මම නම් 4 පාරක්ම බැලුව.ඊට පස්සෙ download කර ගෙනත් කීප වතාවක්ම බැලුව.

මේ කියන්න යන්නෙ හැබැයි "මචන්" චිත්‍රපටිය ගැන නෙමෙයි."මචන්" චිත්‍රපටියෙ කතාවට පසුබිම සපයපු ඇත්තම handball team එකේ වීඩියෝ කීපයක් ගැන.මේ වීඩියෝ ටික බැලුවම තේරෙයි ඇත්තම "මචන්ල" සෙට් එකයි, චිත්‍රපටියෙ "මචන්ල" සෙට් එකයි සෙල්ලම් කරපු විදිහෙ වෙනසක් නැහැ කියල.

ඒ වගේම තමයි "මචන්" චිත්‍රපටිය රූපගත කිරීමට ජර්මනියට ගිය නලුවන්ගෙන් පොලිස් නිළධාරියෙකුට රග පෑ නලුවෙකුත් ඉතාලියට පැන්න එකේ මේ කට්ටිය ජර්
නියෙන් පැන ගත්ත එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.





Tuesday, December 15, 2009

India Pakistan Wagah Attari Border

පහුගිය දවස්වල මට ඉන්දියාවට යන්න ලැබුන.ඉන්දියාවට ලංකාවෙ අය යන්නෙ එක්කො වන්දනාවෙ, නැත්නම් සාප්පු සවාරිනෙ.මම ගියෙ ඔය දෙකටම නොවෙන නිසා මම ගියා බලන්න ඉන්දු-පාකිස්තාන් දේශ සීමාව විවෘත කරනව හා නැවත දේශ සීමාව වසන ආකාරය බලන්න.

ලෝකෙ වැඩිම ආරක්ෂාවක් යොදවල තියෙන දේශ සීමාව කියල කියන්නෙ මේ ඉන්දු-පාකිස්තාන් දේශ සීමාවට.දේශ සීමාව විවෘත කරනව බලන්න රටවල් දෙකේම විශාල පිරිසක් ඇවිත් හිටිය.දේශ සීමාව විවෘත කරන වෙලාවටයි, ආපහු දේශ සීමාව වහන වෙලාවටයි එතන ඉන්න කොට අමුතු හැගීමක් එන්නෙ.ඒක වචන වලින් නම් කියන්න බැහැ.ඒ වගේම තමා මේ රටවල් දෙක අතර ගමන් කිරීමට තියෙන එකම නීත්‍යානුකූල දොරටුවත් මේක විතරයි.

දේශ සීමාව විවෘත කරන විටයි, වසන විටයි වීඩියෝ කරන්න මට ලැබුනෙ නැහැ.කැමරාවක් ලග තිබුනත් ඒ වෙලාවෙ මේක දැක ගන්න තිබ්බ ආසාව නිසා වීඩියෝ කර ගන්න බැරි වුනා.ඒ නිසා පල්ලෙහ දාල තියෙන්න YouTube එකේ තිබ්බ වීඩියෝ දෙකක්.

ගොඩක් අය ඉන්දියාවට ගියත් මේ වගේ දෙයක් බලන්න යන්නෙ නැහැ.ඒ නිසා ඉන්දියාවට හරි පාකිස්තානයට හරි ගියොත් දේශ සීමාව විවෘත කරන හා වසන ආකාරය බලන්න යන්නත් අමතක කරන්න එපා.

මේ තියෙන්නෙ දේශ සීමාව විවෘත කරන ආකාරය.





මේ තියෙන්නෙ දේශ සීමාව වසන කරන ආකාරය.

Wednesday, November 11, 2009

"සුදු සීයා" දැයෙන් සමු ගනියි


හෙන්රි ජයසේන මහතා අද දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී අභවප්‍රාප්ත විය.

1931 ජූලි 6 වන දින ගම්පහ බැන්ඩියමුල්ලේදී උපත ලැබූ හෙන්රි ජයසේන මහතා ගම්පහ ලෝරන්ස් විද්‍යාලයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.ගම්පෙරලියේ "පියල්", හුණුවටයේ කථාවේ "අසඩක්" හා දූ දරුවෝහි "සුදු සීයා" ඔහු නිරූපණය කල ප්‍රධාන චරිත විය.

මිනිසුන් වූ දරුවෝ(1965), කරළියක කතාවක්(1995), නිම්නැති කතාවක් 1(1996), නි
ම්නැති කතාවක් 2(1996) හා ලාසරස්(1999) ඔහු රචනා කල නවකතා වෙයි.

ජනේලය(1964), කුවේනි(1964), තවත් උදෑසනක්(1964), හුණුවටයේ කතාව(පරිවර්තනය-1967), අපට පුතේ මහක් නැතේ(1968), දිරිය මව හා ඇගේ දරුවෝ(පරිවර්තනය-1972), මකරා(පරිවර්තනය-1972), දෙව් ලොව ගිය ශිෂ්‍ය භටයෝ(1991) ඔහු නිර්මාණය කල නාට්‍ය නිර්මාණ වෙයි.

හිතට හිතෙන කවි සින්දු(1972) හා කතන්දරේ හැංගිලා(1979) ඔහු රචනා කල ළමා සාහිත්‍ය ග්‍රන්ථ වෙයි.

ගැහැනු ගැට(1959), ශ්‍රී 296(1959), ගම්පෙරලිය(1963), වෙන ස්වර්ගයක් කුමටද(1963), සුහද සොහොයුරෝ(1963), හෙට ප්‍රමාද වැඩි(1964), දහසක් සිතුවිලි(1968), හන්සවිලක්(1980), බැද්දෙගම(1981), සොල්දාදු උන්නැහේ(1981), කලියුගය(1983), අම්මයි දුවයි(1984), සදකඩ පහන(1988) හෙන්රි ජයසේන මහතා රගපෑ චිත්‍රපටි වෙයි.

හෙන්රි ජයසේන මහතානෙනි, ඔබට නිවන් සුව ලැබේවා!!!!!


Monday, November 9, 2009

"සාතන් පලවා හැරීමට ජේසුස් කැදවීම"

මේ තියෙන්නෙ යාඤාවෙන් ලෙඩ සුව කිරීම ගැන සදහන් වීඩියෝ කීපයක්.තොරතුරු හොයා ගත්තෙ Gossip Lanka වල මෙන්න මෙතනින්.

පහුගිය දවස්වල මියගිය කාන්තාවන් දෙදෙනාත් මිය යන්න ඇත්තෙ මේ ආකාරයෙන් වෙන්න ඇති.මේක දැක්කම හිනත් යනව, මිනිස්සු මේ තරම් මෝඩ ද කියල හිතිල.ඒ වගේම හිතට දුකකුත් එනව, බයිබලේවත් නැති විදිහට ආගම් ප්‍රචාරනය කරන්න මේ වගේ වැඩ කරනව දැක්කම.

මේ වගේ වැඩ වලට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේත් ආශිර්වාදය ලැබෙන බව පහත පිංතූරෙන් පේනව.(ඡායාරූපය ලබා ගත්තේ Gossip Lanka වෙතින්.)ඒ වගේම තමා මානෙල් වානගුරුත් මේ යාඤාවලින් සුවය ලබා ගෙන තියෙන බව තව වීඩියෝ එකක තියෙනව.මේවයෙ ඇත්ත නැත්ත දන්නෙ මේව කරන අයම තමයි.


ප.ලි.-මමත් මේ දවස්වල හොදටම අසනීප වෙලා ඉන්නෙ.මටත් මේ වගේ short and sweet ක්‍රමේකින් සනීප වෙලා බලන්න ආසයි.ඒත් ඇදෙන් බැහැල ඔය වගේ තැනකට යන්න විදිහක් නැතුවයි ඉන්නෙ.





Friday, October 16, 2009

දුමට තිත ද? තිතට දුම ද?

ලංකාවෙ දැන් ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීම තහනම් කියල නීතියක් තිබුනට තාමත් නිදහසේ දුම් බොන්නන් ඕන තරම් දකින්න ඉන්නව.බස් රථවල දුම් බීම තහනම් කියල දැන්වීම් ගහල තිබ්බට බොහෝ වේලාවට කොන්දොස්තර හා රියදුරු බස් රථය ධාවනය කරද්දි දුම් පානය කරනව.

කියන්න ගියෙ බස් රථවල දුම් බීම ගැන නෙමේ.දැන් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවනෙ.ඉතින් ඒකට විවිධ දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න විවිධ ආයතනවලට ලබා දීල තියෙනව.ඉතින් කිලිනොච්චිය දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න "මතට තිත" තියපු රජයෙන් ලබා දීල තියෙන්නෙ "ලංකා දුම්කොළ සමාගමට".මේ ගැන විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

දුම්කොළ සමාගමත් මේකට ආයෝජනය කරන්නෙ පිං තකා නෙමේනෙ.දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරන ගමන්ම එහි වැඩ කරන සේවකයන්ටයි, ඒ අවට සිටින ජනතාවටයි නොමිලේ දුම් වැටි දීල දුම් බීමට කොහොම හරි පුරුදු කර ගනීවි.ඉස්සර යුධ හමුදාවෙ සේවය කරපු සොල්දාදුවන්ට නොමිලේ දුම් වැටිත් දුන්නෙ මේ සමාගමමනෙ.ඒ දවස්වල සොල්දාදුවන්ට දාව ලැබෙන දරුවන්ගෙ අඩුවකුත් දකින්නට ලැබුන කියල අහල තියෙනව.

දුම් වැටි විකුනල හම්බ වෙච්ච සල්ලි වලින් ලැබිච්ච ක්‍රිකට් ලෝක කුසලානෙකුත් තියෙන රටේ දුම් වැටි තහනම නියමාකාරයෙන් කෙරෙයි කියල නම් හිතන්න අමාරුයි.අඩු ගානෙ දුම්
වැටි භාවිතය නවත්වන්න සකස් කරපු වෙලෙද දැන්වීමක් වත් කිසිම රූපවාහිනී නාලිකාවක යන්නෙ නැහැනෙ.සමහර වෙලාවට එහෙම සකස් කරපු දැන්වීමක් දැම්ම වුනත් ඒව ඉක්මනින්ම අයින් කර ගන්නත් දුම් වැටි සමාගම් දක්ෂයිනෙ.

මේ තියෙන්නෙ වෙනත් රටවල් කීපයක දුම් වැටි භාවිතය නවත්වන්න සකස් කරපු දැන්වීම් කීපයක්.










Thursday, October 15, 2009

"වාසනා ලොවක්"

අහල තියෙනව නේද "වාසනා ලොවක්" කියන සිංදුව.දුෂ්‍යන්ත් වීරමන් "Dancing Star" චිත්‍රපටියෙ ගායනා කලේ.ඒත් මේ සිංදුව මුලින්ම ගායනා කරල තියෙන්නෙ අපි කවුරුත් දන්න "ති.නා."ඒ කියන්නෙ තිස්ස නාගොඩවිතාන මහත්මයා.තිස්ස නාගොඩවිතාන මහත්මයා ගැන "සරසවිය" පුවත් පතේ පල වෙච්ච ලිපියකයි මේ ගැන තිබ්බෙ.තිස්ස නාගොඩවිතාන මහත්මයගෙ මුල් ගීතය මෙතනින් අහන්න පුලුවන්.දුෂ්‍යන්ත් කියපු ගීතය බා ගත කරන්න මෙතනට යන්න.

පරණ ගීත නව පරපුරේ ගායකයින් ගායනා කරල මුල් ගීතය විනාශ කරනව කිව්වට මට නම් දුෂ්‍යන්ත්ගෙ මේ ගීතයෙ ගායනය ගැන වරදක් කියන්න බැහැ.අඩු ගානෙ මේ ගීතය මෙහෙම හරි අහන්න ලැබුනෙ දුෂ්‍යන්ත්ගෙ ගායනය නිසා.නැත්නම් මේ ගීතය කවුරුත් නොදැනම තියේවි.

මේ තියෙන්නෙ "Dancing Star" චිත්‍රපටියෙ "වාසනා ලොවක්" ගීතය තියෙන ජවනිකාව.




මේකත් අහල බලන්න.මේ වීඩියේ එකේ "ති.නා." ගැන සදහන් වෙලා තියෙනව.

Wednesday, October 14, 2009

අහෝ "තුෂාරා"

අද ගිහින් බැලුව නැවත නිෂ්පාදනය කරල තියෙන "තුෂාරා" චිත්‍රපටිය.ඇත්තම කියනවනම් යසපාලිත නානායක්කාර මහත්මය නිර්මාණය කරපු "තුෂාරා" චිත්‍රපටිය ලගින්වත් තියන්න බැහැ අලුත් චිත්‍රපටිය.

මීට කලින් පරණ චිත්‍රපටිය බලල තිබ්බ නිසා චිත්‍රපටි දෙකේ වෙනස හොදට තේරුන.මීට කලිනුත් මේ විදිහටම නැවත නිෂ්පාදනය කරපු "හතර දෙනාම සූරයෝ" චිත්‍රපටියෙයි, "තුෂාරා" චිත්‍රපටියේ කිසිම වෙනසක් නැහැ.දෙබස්, පසුතල ආදිය බොහෝ දුරට පරණ චිත්‍රපටියෙ ආකාරයටම යොදා ගෙන තියෙනව.වෙනසකට තියෙන්නෙ පරන කලු, සුදු චිත්‍රපටිය වෙනුවට මෙදා වර්ණ චිත්‍රපටියක් වීමත්, විජය කුමාරතුංග නම් සිංහල සිනමාවේ ජනප්‍රිය නලුවා වෙනුවට සාලිය සත්‍යජිත්වත්, මාලිනී ෆොන්සේකා වෙනුවට ශාලිකා එදිරිසිංහවත් යොදා ගැනීමයි.එදා සෝනියා රග පෑ චරිතය මෙදා රගපාන්නෙ පියුමි පුරසිංහ
යි.සෝනියා මෙම නව නිෂ්පාදනයේ සාලියගේ මව ලෙස කුඩා චරිතයක් රග පායි. තව වෙනසකට තියෙන්නෙ අලුත් ඇදුම්, පැලදුම් යොදා ගෙන තිබීමත්, පියුමි පුරසිංහගෙ ලස්සන කකුල් දෙක පුන පුනා පෙන්වීමත්ය. නව නිෂ්පාදනයෙ තියෙන, පරණ චිත්‍රපටියෙ නැති තවත් විශේෂ දෙයකට තියෙන්න ජංගම දුරකතන භාවිතයත්, sms පණිවිඩ යැවීමත්ය.

"තුෂාරා" චිත්‍රපටියෙහි තිබු සියලුම ගීත නව සංගීතය යොදා මෙහිදී යොදා ගෙන තියෙනව.ජෝතිපාල මහතා, ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හා සුජාතා අත්තනායක මහත්මිය මෙහි ගීත ගායනා කර තිබෙනව.

අන්තිමට කියන්න තියෙන්නෙ පරණ සිංහල චිත්‍රපටි නැවත නිෂ්පාදනය කරන්න කලින් අපේ අධ්‍යක්ෂකවරුන්ට ඉන්දියාවෙ කරපු "Don" චිත්‍රපටියෙ නව නිෂ්පාදනය හා පැරණි චිත්‍රපටියවත් බලල ඒකෙන් දෙයක් ඉගෙන ගන්න කියලයි.

"තුෂාරා" පැරණි චිත්‍රපටියෙ ගීත කිහිපයක්.












"තුෂාරා" නව නිෂ්පාදනයේ trailer එක.

Monday, September 28, 2009

මම ගත්තු පොත්

මේ අවුරුද්දෙ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ෂනයෙන් ගත්තු පොත් ටික ගැනයි ලියන්න යන්නෙ.පොත් ගන්න දවස් දෙකක්ම ගියා.පටන් ගත්තු සෙනසුරාද සහ බදාදා තමයි ගියෙ.

සෙනසුරාද ගිහින් ගත්තු පොත් ටික තමයි මේ පිංතූර වල තියෙන්නෙ.



"අටවකපුත්තු" පොත ගත්තෙ "ගුණසේන" එකෙන්."පොදු පුරුෂයා" පොත ගත්තෙ "සරසවි" එකෙන්.මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයගෙ "ශ්‍රී ලංකාවේ යාචකයා" පොතයි එස්.බී. දිසානායක මහත්මයගෙ පොතයි ගත්තෙ "ආරිය ප්‍රකාෂකයෝ" වෙතින්."Database Management Systems" පොත ගත්තෙ Expographic එකෙන්.





මම කලෙක ඉදන් ඉස්ලාම් ආගම ගැන ඉංග්‍රීසියෙන් ලියවෙච්ච පොත් ටිකක් හොය හොයා හිටිය.ඒ නිසයි මේ පොත් ටික ගත්තෙ.පොත් ගත්තෙ "Islamic Book House" එකෙන්.ශුද්ධ වූ කුරාණයේ ඉංග්‍රීසි පිටපතකුත් ගන්න මට එතනින් පුලුවන් වුනා.


මගෙ ගාව තියෙන බයිබලය දැන් ගොඩක් පරණ නිසාත්, දිනපතා භාවිතයට අලුත් බයිබලයක් අවශ්‍ය නිසාත් අලුත් බයිබල් දෙකක්ම ගත්ත.මීට කලින් මම භාවිතා කලේ ඉංග්‍රීසි බයිබලයක්.ඒ නිසා මේ පාර සිංහලෙන් ලියවෙච්ච බයිබලයකුත් ගත්ත.ශුද්ධ වූ බයිබල් දෙක මිලදී ගත්තෙ "Catholic Book Depot" වලින්.

සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ෂන මධ්‍යස්ථානයේ
British Council පුස්ථකාල සාමාජිකත්වය රුපියල් 1400කට දෙනව.ඉතින් හිත හිතා ඉන්නෙ නැතුව British Council පුස්ථකාල සාමාජිකත්වයත් එදාම ගත්ත.

මේ තියෙන්නෙ බදාදා මිලදී ගත්තු පොත්.



මේ ඔක්කොම පොත් ගත්තෙ "Sarath Books" කියන bargain පොත් කඩෙන්.පොත් ඔක්කොටම ගියෙ රුපියල් 1500ක් විතර.

කොච්චර පොත් ගත්තත් හිතට නම් මදි.ගත්තු පොත් ටික කියවන්න වෙන්නෙත් නොවැම්බර් මාසෙ ඉදල.ඔක්තෝම්බර් 19-29 වෙනකම් විභාගෙ නිසා ගත්තු එක පොතක්වත් අතින් වත් අල්ලන්න වෙන්නෙ නැහැ.

මේ පාර රුපියල් 8000ක විතර පොත් ගත්ත.ඒත් අවුලක් නැහැ.මොකද Sir Francis Bacon කියල තියෙන්නෙ "Reading makes a full man" කියලනෙ.

Monday, September 7, 2009

අසභ්‍ය වෙබ් අඩවි තහනම සැබෑ ලෙසම ක්‍රියාත්මක වේද?

මේක ගැන ගොඩක් දවස් ඉදන් ලියන්න හිතා ගෙන හිටියත් අද තමයි ලියන්න පුලුවන් වුනේ.මේ ගැන ගොඩක් බ්ලොග් සටහන් ලියවිලා තියෙනවත් දැක්ක.ඒත් තවමත් අපිට මෙවැනි වෙබ් අඩවි වලට proxy sites මාර්ගයෙන් කිසිම අවහිරයකින් තොරව යාමට ඕන තරම් පුලුවන් කමක් තියෙනව.ඒ වගේම මේවායේ ඇති වීඩියෝ දර්ෂන ආදියත් කිසිම අපහසුවකින් තොරව බා ගත කිරීමේ හැකියාවත් තවම තියෙනව.තවමත් මෙවැනි වෙබ් අඩවි වලට එන ලාංකිකයන්ගෙ අඩුවක් නැති බව මෙම වෙබ් අඩවි වල දක්වා ඇති ප්‍රතිචාර මගින් පෙනී යනව.

තමන්ගේ නිවසේ අන්තර්ජාල පහසුකම් ඇත්නම් මෙවැනි වෙබ් අඩවියක් එක් වරක් හෝ බැලූ අයෙක් නැති තරම්ය.නො බැලූ කෙනෙකු ඇත්නම් ඔහු හැගීම්, දැනීම් නැති මනුෂ්‍ය රොබෝවෙකු විය යුතුය.අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට කෑ ගැසූ අයත්, එය ක්‍රියාවේ යෙදවූ අයත් ඉද හිට හෝ මෙවැනි අඩවියකට ගොස් ඇතුවාට සැකයක් නැත.එනිසා රජය කල යුත්තේ මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම නොව කැමති අයට මේවා බැලීමටත්, අකමැති අය තමන් විසින්ම පනවා ගත් ස්වයං වාරණයක් මගින් මේවා නො බලා සිටීමත්ය.

Tuesday, September 1, 2009

කලකට පස්සෙ.....

මේ දවස්වල හරියට වැඩ.බ්ලොග් එකවත් ලියන්න වෙලාවක් නැහැ.ඒත් කොච්චර වැඩ තිබුනත් කාලය නාස්ති කරන එකෙත් ඉවරයක් නැහැ.

පහුගිය දවස්වල කලේ මෙන්න මේ දේවලුයි.අලුත් laptop එකක් ගත්ත.Acer Extensa 5630 එකක්.ගත්ත දවසෙම ගෙනත් දැම්ම Fedora 11.ඒත් පස්සෙ Windows Vistaත් දාගන්න සිද්ධ වුනා.මොකද අනිත් එවුන්ට තාමත් වෙනස් වෙන්න අමාරු නිසා.ඒත් laptop එක අරගෙන කෝච්චියෙ දවස ගානෙ ගෙනියන එක නම් එපා වෙලා තියෙන්නෙ.

අගෝස්තු හතර වෙනිද ඉදල හය වෙනිද වෙනකම් විභාගෙ තිබුන.හැමදාම ගියෙ මිනිත්තු 10ක් විතර පරක්කු වෙලා.පරක්කු වෙලා ගිය එකේ ප්‍රතිඵල ලබන සදුදට බලා ගන්න පුලුවන්.

විභාගෙ තිබ්බ දවසකමනෙ වාස්ගෙ පුතා නිපුනට ගැහුවෙත්.දැන් නම් ගුටි කාපු එකයි, ගහපු එකයි දෙන්නම ඉන්නෙ ඉස්පිරිතාලෙ නැවතිල.ආරංචි විදිහට දෙන්නවම තොරතුරු තාක්ෂණ ආයතනයෙන් අයින් කරල.මම නම් හිතුවෙ ඔය සිද්ධිය නිසා විභාගෙ කල් යයි කියල.ඒත් ඉතින් මගෙ කරුමෙට එහෙම දෙයක් වුනෙත් නැහැ.තව දවසක නිපුනට ගහපු එකට විරෝධය පාන්න බෝඩ් ටිකක් උස්සගෙන මාලබේ කට්ටිය පාරෙ හිටගෙනත් හිටියලු.තව මාලබේ හරියෙ පෝස්ටර් එහෙමත් අලවල තිබ්බ.ඒත් ඕව කලා කියල වැරදිකාරයින්ට දඩුවම් ලැබෙනවයැ.කාලෙ නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.හැබැයි මේකෙන් පත්තවලටයි, රූපවාහිනී නාලිකා වලටයි දාන්න හොද ප්‍රවෘත්ති ටිකක් හම්බ වුනා.ඒකනෙ දැන් ස්වර්ණවාහිනියෙත් "මාලබේ නඩුව" කියල ප්‍රවෘත්ති වලට දාන්නෙ.සමහර බ්ලොග් වල ලියල තිබුනනෙ නිපුනට ගහපු එක ගැන තොරතුරු තාක්ෂණ ආයතනයෙ ඉගෙන ගන්න අය ලියල තිබ්බෙ නැහැ කියල.ඔන්න අද මම දන්න ටික බ්ලොග් එකේ ලිව්ව.

අපිට මේ සමාසිකයෙ තියෙනව ව්‍යාපෘතියක් කරල බාර දෙන්න.(Information Technology Project)එක කණ්ඩායමකට දහ දෙනෙක් ඉන්නව.මම ඉන්න කණ්ඩායමේ 8ක් දෙමල.එකෙක් මුස්ලිම්.ඔක්කොම අය කථා කරන්නෙ දෙමලෙන්.මට දෙමල බැරි නිසා මම මුකුත් නොකර ඉන්න එකයි කරන්නෙ.අපේ අනුග්‍රාහකය එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කියවනම් client වෙන්නෙ කොලඹ තියෙන ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසලක්.මම කොන්ඩෙ ටිකක් දිගට වවල ඉන්න නිසා මට නම් ඔය ජාත්‍යන්තරයි කියල කියන පාසලට එන්න දෙන්නෙ නෑ.ඒත් ඕකෙ ඉගෙන ගන්න කොල්ලො, කෙල්ලො නම් කරන්නෙම international වැඩ විතරයි.ලංකාවෙ ඉගෙන ගත්තට තමන්ගෙ මවු භාෂාවවත් හරියට කථා කර ගන්න බැහැ.ඔය කොලඹ හතේ තියෙන පාසලේ අරමුණත් තමන් ඉපදිච්ච රටට, සංස්කෘතියට, භාෂාවට අගෞරව කරන පිරිසක් බිහි කරන එකම වෙන්න ඇති.

මේ සතියෙ දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා අපේ ගෙදර කට්ටිය කතරගම යන්න ලෑස්ති වෙනව.මට නම් යන්න වෙන්න නැහැ.ගෙදර බලා ගන්න කෙනෙක් නැති නිසා මට මුර කාරයගෙ රස්සාව කරන්න වෙලා තියෙනව.ඒ වගේම ගෙදර හුරතලේට ඇති කරන සතාට කන්න දෙන්නත් කෙනෙක් ඉන්න ඕනෙනෙ.

ඔන්න ඔච්චරයි අද ලියන්න ඉතුරු වෙලා තියෙන්නෙ.ඊලග මාසෙ ඉදලවත් සතියට එක දවසක්වත් බ්ලොග් එක ලියන්න ඕනෙ.ගිහින් එන්නම්.

Friday, July 31, 2009

අලි, ඇතුන්ට වධ දීම දැන්වත් නවත්වමුද?

දළදා මාලිගාවට පරිත්‍යාග කරපු ඇත් පැටවු දෙන්න ගැන ප්‍රවෘත්තිවල දැක්කට පස්සෙයි මේ සටහන ලියන්න හිතුනෙ.ආරංචි විදිහට නම් මේ අලි පැටවු දෙන්නව පින්නවලින් ගෙනිහින් තියෙන්නෙ යුධ හමුදාවත් මැදිහත් වෙලා රාත්‍රී කාලයේදී.අලි පැටවු දෙන්නව මෙල්ල කර ගන්න රත් කරපු යකඩ බට වලින් පහර දීපු බවකුත් ආරංචි වුනා.ඒත් දියවඩන නිලමේ තුමා නම් කියන්නෙ අලි පැටවු දෙන්න බොහොම සනීපෙන් ඉන්නවයි කියලයි.සමහර විට එතුමාට හිතෙන්නෙ නැතුව ඇති අලින්ටත් මවු සෙනෙහස අවශ්‍යයයි කියල.කිරි බොන වයසෙ පැටවුන්ට පොල් අතුයි, කිතුල් කොටයි කන්නට දීමෙන්ම නිලෙමෙ තුමාගෙ සත්ව කරුණාවෙ තරම පේනව.

මේ ප්‍රශ්නයට ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටුයුතු භාර ඇමතිවරය දීපු පිලිතුර වුනේ අලි පැටවුන් දෙදෙනාට තව දුරටත් මවු සෙනෙහස අවශ්‍ය නම් එම පැටවුන් දෙදෙනාගෙ මවු සතුන්ද දලදා මාලිගාවට ලබා දෙන බවයි.දැන් ඉතින් නිලමෙ තුමාගෙ අලි රෑනට තවත් බෝනස් ඇතින්නියො දෙන්නෙක්වත් එක් කර ගත්තෑකි අලි පැටවුන්ට දරු සෙනෙහස අවශ්‍යයයි කියල.

අලියෙක් කියන්නෙ ගෙදර ඇති කරන බල්ලෙක් වගේ කූඩුවක දාල ඇති කරන්න පුලුවන් සතෙක් කියලයි අපේ සමහර හාමුදුරුවරුයි, අලි හිමියනුයි හිතා ගෙන ඉන්නෙ.දෙහිවල සත්තු වත්තෙ ඉන්න අලියෙක්ගෙයි, ස්වභාවික වනාන්තරයක ඉන්න අලියෙක්ගෙයි හිසේ වෙනස දැක්කම කියන්න පුලුවන් මේ හීලෑ අලි, ඇතුන් ජීවත් වෙන්නෙ කොච්චර පීඩනයකින්ද කියල.අලියෙකු දිනකට ඇවිදිය යුතු දුර ප්‍රමානයෙන් හතරෙන් එකක්වත් ඇවිදින්න ලැබෙන්නෙ නැති මේ සත්තුන්ට කෑම, බීම ටික විතරක් වෙලාවට ලැබුනම ඔක්කොම හරි කියලයි සීත කාමරවල ඉන්න නිලධාරීනුයි, අලි හිමියනුයි, සමහර හාමුදුරුවරුයි හිතා ගෙන ඉන්නෙ.

හීලෑ අලි ගැන විතරක් කථා කරන නිලමෙ තුමා වනාන්තරවල වෙඩි තියල මරල දාන අලි ගැන නම් වචනයක්වත් කථා කරන්නෙ නැහැ.සමහර විට ඒ අලින්ගෙ කකුල් හතරම දම් වැල් වලින් ගැට ගහල පෙරහැරේ ගෙනියන්න බැරි නිසාත්, සුද්දන්ව කර උඩ තියාගෙන ගෙනි යන්න බැරි නිසාත් වෙන්න ඇති.

මෙච්චර දියුනු වෙලා තියෙන ලෝකෙ පෙරහරේ ගෙනියන්න අලියෙක් වෙනුවට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද?අලියෙක් වෙනුවට අලියෙකුගේ අනුරුවක් භාවිතා කරන්න බැරිද?පන්සල් වලට, දේවාල වලට, අලි හිමියන්ට ලබා දෙන පැටවුන් ලොකු වූ පසු එම සතුන්ගෙන් පැටවුන් ලබා නොගන්නේ මන්ද?එම හීලෑ අලි, ඇතුන්ට ප්‍රජනනය කිරීමට අලි හිමිකරුවන් ඉඩ ලබා නොදෙන්නේ මන්ද?දැනට ස්වභාවික වනාන්තර වල ඉතුරු වෙලා ඉන්න අලි ඇතුන්ව රැක බලා ගන්න ක්‍රියා නොකරන්නේ මන්ද?සතුන් ජීවත් විය යුතු වනාන්තර එලි පෙහෙලි කොට මිනිස් ජනාවාස ඇති කරන්නේ මන්ද?

මේ ප්‍රශ්න සියල්ලම විසදෙන කොට අලි, ඇතුන් පමනක් නොව ලංකාවේ සියලුම වනාන්තර හා සතුන් විනාශ වී, ගෙවල් වල ඇති කරන සුරතල් සතුන් හා මනු සතා පමනක් ජීවත් වන රටක් බවට ලංකාව පත් වනු ඇත.

මේ දවස්වල....

මේ මාසෙ ලියන එකම හා අන්තිම බ්ලොග් සටහන මේක.මේ දවස්වල හොදටම කාර්යබහුල වෙලා ඉන්නෙ.Project වැඩයි, assignment වැඩයි හැමදාම.කොච්චර කරත් ඉවර වෙන්නෙ නෑ.ඒ මදිවට එන සුමානෙ ඉදල විභාග....:(

කොච්චර වැඩ තිබ්බත් ගිය සුමානෙ ඉරිද ගිහින් "ජූලියා" බලල ආව.වෙලාවක් තිබ්බොත් ඒ ගැන විස්තරයක් ලියන්නම්.

මීට වඩා අද ලියන්න විෂේශ දෙයක් නැහැ.මේ දාල තියෙන වීඩියෝ එක බලල කැමති නම් "ජූලියා" බලන්න...:)


Thursday, June 25, 2009

අලුත් සමාසිකය

ජූනි 29 වෙනිද දෙවන වසරෙ, දෙවන සමාසිකය පටන් ගන්නව.මේ ලියල තියෙන්නෙ ඒ සමාසිකය අතර කාලයේදී කරන්න ඉන්න දේවල් වලින් ටිකක්.

1. Facebook භාවිතය සතියකට එක් දිනකට සීමා කිරීම.

2. දිනකට පැයකට වඩා අන්තර්ජාලය භාවිතා නොකිරීම.

3. දිනපතා දේශන සදහා සහභාගී වීම.

4. මසකට එක් චිත්‍රපටියක් පමණක් නැරඹීම.

5. රූපවාහිනිය නැරඹීමෙන් සම්පූර්නයෙන් වැලකීම.

6. අනවශ්‍ය යහලු, යෙහෙලියන් ආශ්‍රය කිරීමෙන් වැලකී සිටීම.

7. මගුල් ගෙවල්, මළ ගෙවල්, විනෝද චාරිකා ආදියට සහභාගී වීමෙන් වැලකී සිටීම.

8. දිනකට පැය 6ක් පමනක් නිදා ගැනීම.

9. යහලුවන් සමග පැය ගනන් චැට් කිරීමෙන් වැලකී සිටීම.

මේ ලියල තියෙන ඒවයින් කීයක් ඇත්තටම පිලිපදින්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.ඒත් මේ ලියල තියෙන ඒවයින් හතරක්, පහක්වත් හරියට පිලිපැද්දොත් විභාග හා assignment ටික ගොඩ දා ගන්න එක නම් අමාරු වෙන එකක් නැහැ.

Saturday, June 20, 2009

ලගදි ගත්ත පින්තූර ටිකක්

පහුගිය දවස් ටිකේ මම හිටියෙ ලංකාවෙ නෙමේ.කාටවත් නොකියම ගෙදර ගිහින් ආව.හොරෙන්ම ගියෙ රට යන බව ආරංචි වුනොත් හැමෝටම බඩු උස්සගෙන එන්න වෙන හින්ද.කියන්න බැරි වුනානෙ ගෙදර තියෙන්නෙ කොහෙද කියල.බංග්ලාදේශයෙ චිතගොං වලට ගියෙ.මේ තියෙන්නෙ මගෙ ගෙදර අවට ගත්තු පින්තූර කීපයක්.


මේ තියෙන්නෙ මස් මිලදී ගන්න පුලුවන් තැනක්.තමන්ට කැමති කුකුලව තෝරල එවෙලෙම මස් කර ගත්තෑකි.මේ විදිහට තමා එහෙ අය මස් මිලදී ගන්නෙ.ලංකාවෙ අය වගේ සුපිරි වෙලද සලකින් සීත කරපු මස් අරන් තවත් සති ගානක් සීත කර කර කෑමට ගන්න සිරිතක් එහෙ නෑ.සාමාන්‍යයෙන් එක කුකුලෙක් හතර දෙනෙකුට එක කෑම වේලකට ඇති.මේ වගේ තැන් ලංකාවෙත් කලාතුරකින් තියෙනව.ඒත් මේ කඩ වල තියෙන විශේෂත්වය තමයි තමන්ට ඕනෙ නම් හරකෙක්, එලුවෙක් වගේ සතෙක්ව උනත් තෝරගෙන මස් කර ගත හැකි වීම.හැබැයි ඌරු මස් නම් කොහෙවත් ගන්න නැහැ.ඌරන් ඇති කිරීම තහනම් නිසා.කුකුල් මස් 1kgක් 30Tkක්, ඒ කියන්නෙ රුපියල් 45ක් විතර වෙනව.හරක් මස් 1kgක් 25Tkක්, ඒ කියන්නෙ රුපියල් 38ක් විත වෙනව.එලු මස් 1kgක් 40Tkක්, ඒ කියන්නෙ රුපියල් 60ක් විතර වෙනව.හැමදාම එලු මස් කෑවත් පාඩු නෑ නේද?



ඊලගට තියෙන පින්තූර දෙකේ ඉන්නෙ භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයන් කීප දෙනෙක්.ඔය වගේ මනුස්සයෙක්ට සාමාන්‍යයෙන් 50kg-60kgක බරක් තමන්ගෙ බයිසිකලයට සවි කල ලෑල්ල උඩ තියාගෙන 10km-20kmක දුරක් වුනත් යන්න පුලුවන්.10kmක විතර දුරක් බඩු ගෙනියන්න මේ කෙනෙක් 30Tkක්, ඒ කියන්නෙ රුපියල් 45ක වගේ ගානක් අය කරනව.ලාබයි නේද?



මේ තියෙන්නෙ එහෙ ලාබම මගී ප්‍රවාහන ක්‍රම වලින් එකක්.කුඩා නගර දෙකක් අතර තමා මේව ධාවනය වෙන්නෙ.ඇතුලෙ වාඩි වෙලා 12ක් විතරත්, වාඩි වෙලා ඉන්න අයගෙ ඔඩොක්කු වලයි, වාහනෙ බිමයි වාඩි වෙලා 8ක් විතරත්, පින්තූරෙ ඉන්නව වගේ එල්ලිලා 5 දෙනෙක් විතරත්,රියදුරු අසුනෙ තවත් දෙන්නෙකුටත් වාඩි වෙලා යන්න පුලුවන්.නැවතුම් දෙකක් අතර ගාස්තුව වෙන්නෙ 2Tkක්, ඒ කියන්නෙ රුපියල් 3ක් විතර.මේකක නැගල යන එක ලංකාවෙ බස් එකක යනවට වඩා ලාබ නැද්ද?


මේ තියෙන්නෙ කුඩා කඩ කීපයක් තියෙන තැනක පොලිස් නිලධාරියෙක් වාඩි වෙලා පත්තරයක් කියවන අවස්ථාවක්.මේ කඩේ තියෙන අඹ ගෙඩියක් 5Tkක් විතර වෙන්නෙ.ඒ කියන්නෙ රුපියල් 8ක් විතර.කෙ
සෙල් නම් ගෙඩියක් 1Tkක්, ඒ කියන්නෙ රුපියල් 1.50ක් විතර වෙන්නෙ.හැබැයි කෙසෙල් වර්ගය අනුව මිල වෙනස් වෙනව.දොඩම් ගෙඩියක් 7Tkක්, ඒ කියන්නෙ රුපියල් 10.50ක් විතර වෙන්නෙ.


මේ ඉන්නෙ මගෙ නිවස ඉදිරිපිට පාරෙ වාහන හසුරුවන පොලිස් නිලධාරියෙක්.පිටිපස්සෙන් හංග ගෙන ඉන්නෙ බැටන් පොල්ලක්.වැරදි කාරයින්ට නඩු ඇසීමකින් තොරවම එතනදීම දඩුවම් ලැබෙනව.වාහනයක රියදුරෙක් වැරැද්දක් කලොත් වාහනේ නතර කරන්නෙ ඔය පොල්ලෙන් ගහල.ඒ නිසා වාහන වල පැති කණ්ණාඩි, විදුලි බල්බ එහෙම පොලු පාරට ඔරොත්තු දෙන්න වෙනම ආවරණයක් යොදලයි තියෙන්නෙ.තව ඉතින් වැරැද්දක් කරල ඒක පිලිගත්තෙ නැත්නම් වෙඩි තියල එතනම ප්‍රශ්නය විසදල දාන්නත් මේ පොලිස් නිලධාරීන්ට බලය තියෙනව.ඒ නිසා ලංකාවෙ වගෙ අවුරුදු ගනන් දිගට ඇදෙන නඩුත් මෙහෙ නැහැ.ඒ වගේම තමා මෙහෙ පොලිස් නිලධාරීන්ට කීයක් හරි දීල බේරිල යන්නත් බැහැ.මොකද පගාව ගැනීමට බොහෝ විට හිමි වන දඩුවම අතක් කපා දැමීම නිසා.


මේ තියෙන්නෙ ගෙවල් වල වැඩට එන කාන්තාවන් දෙදෙනෙක් ආපසු සවස තමන්ගෙ නිවස කරා යන ආකාරය.රෙදි සේදීම, කෑම ඉවීම, නිවස පිරිසිදු කිරීම ආදී හැම දෙයක්ම කෙරෙන්නෙ මේ ගොල්ලො අතින්.මාසෙකට 3000Tkක්, ඒ කියන්නෙ රුපියල් 4500ක් විතර ගෙවන්න ඕනෙ.අවුරුදු 15, 16 වගේ කාලෙදි තමයි මේ අය මේ රස්සාව කරන්න පටන් ගන්නෙ.උදේ ආහාරය හා දවල් ආහාරය නොමිලේ දෙන්න ඕනෙ.උදේ 8ට විතර වැඩට ආවම හවස 7 විතර වෙනකම් දිගටම වැඩ කරන්න ඕනෙ.ලංකාවෙ ඉන්න සේවකයො වගෙ හොරකම් නම් මේ ගොල්ලො අතින් සිද්ධ වෙන්නෙ නැහැ.

මේ පින්තූර ටික දකින ඕනෙම කෙනෙක්ට හිතෙන්නෙ බංග්ලාදේශය කියන්නෙ දුප්පත් රටක් කියලනෙ.ඒත් මේ අන්තිමට තියෙන ඩකා නගරයෙ පින්තූරෙ දැක්කම ඔය හැගීම වෙනස් වෙයි.හැබැයි මේක මම ගත්තු පින්තූරයක් නෙමේ.අන්තර්ජාලයෙනුයි හොයා ගත්තෙ.බංග්ලාදේශයෙ ගමෙයි, නගරෙයි වෙනස මේ පින්තූර වලින් තේරෙයි.

Thursday, June 18, 2009

Maghbazar rail accident

මේ කියන්න යන්නෙ ජූනි 17, ඒ කියන්නෙ ඊයෙ බංග්ලාදේශයේ ඩකා නගරයට ආසන්න නගරයක් වන "Maghbazar" කියන නගරයෙ සිදු වෙච්ච දුම්රිය අනතුරක් ගැන.

අනතුර සිදු වූ දුම්රියෙහි නම "Jamona" ය.ඉතාමත් කාර්යබහුල වේලාවක සිදු වූ මේ අනතුරින් කාර් 4ක් හා මෝටර් සයිකලයක් ද, බස් රථය ද හානියට පත් විය.කාරයක් තුල සිටි කාන්තාවන් දෙදෙනෙක් හා අවට සිටි පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලැබීය.බස් රථයේ සිටි මගීන් හා රියදුරු, දුම්රිය ඒමට පෙර බසයෙන් ඉවත් වූ නිසා බසයේ ගමන් ගත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැත.අනතුරින් කිසිවෙක් මරණයට පත් නොවීය.අනතුරට හේතුව වාහන තදබදය අධික වූ ඒ වේලාවේ බස් රථය ඉදිරියට ගත නොහැකි ලෙස බස් රථය ඉදිරියෙන් තවත් වාහන තිබීමයි.

මෙය රූපගත කර ඇත්තේ "Juwel Rahman" නම් තැනැත්තා වන අතර, මෙය
"ATN Bangla" රූපවාහිනී සේවයේ ප්‍රචාරය කරන ලදී.

Friday, June 12, 2009

අහිමි වූ දත

මීට ටික දවසකට කලින් මගේ උඩු ඇන්දෙ වම් පැත්තෙ අන්තිම දත ටික ටික එන්න පටන් ගත්ත.ඒත් ඉතින් ඒ දත ආවෙ නිකන්ම නෙමේ.අනිත් දත් වලටත් හොද වේදනාවක් දීගෙන.ඉතින් ඊයෙ පානදුරේ ඉන්න දන්ත වෛද්‍යවරයෙක් ලගට ගිහින් දත ගලවල අයින් කලා.

දත ගලවන්න හිරි වට්ටන කොට නම් මම මාලුවෙක් ගොඩට දාල වගේ දැගලුවෙ.ඒත් ඉතින් හිරි වැට්ටුවට පස්සෙ නම් දත් ටිකට මාර සනීපයක් දැනුනෙ.දත ගැලෙවුව බවවත් තේරුනේ නැහැ.දත ගලවල ඇවිල්ල, ඊයෙ රෑ නිරාහාරව ඉදල ඉක්මනටම නින්දට ගිය එක කලේ.

ඒත් දත ගලවපු එකේ වේදනාව ආවෙ අද උදේ නැගිට්ටම.ඔලුව උස්සන්න බැරි තරමටම උන හැදිල හිටියෙ.ආපහු අද උදෙත් දන්ත වෛද්‍යවරයා ලගට ගිහින් බේත් අරන් ආව.දැන් නම් ටිකක් සනීපයි.

ගලවපු දතත් ගෙදර අරන් එන්න මම අමතක කලේ නැහැ.මේ තියෙන්නෙ ඒ ගලවපු දතේ ඡායාරූපයක්.


Wednesday, June 10, 2009

එකමත් එක රටක


ඔන්න අද කොහොම හරි වෙලාවක් හොයා ගෙන ගියා සනත් ගුණතිලකගෙ ප්‍රථම සිනමා නිර්මාණය වන "එකමත් එක රටක" චිත්‍රපටිය බලන්න.චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ "Emile Zola" (1840-1902) නම් වන නවකතාකරුවාගේ ‘Pour une nuit d’amour’ නම් වන කතාව ඇසුරින්.

කතාව මෙන්න මේකයි.මුලින්ම පටන් ගන්නෙ කුඩා පිරිමි හා ගැහැනු ලමුන් දෙදෙනෙක් සෙල්ලම් කරන දර්ෂනයකින්.ගැහැනු ලමයාගේ පියාට මොවුන් සිටින විශාල නිවස අයිති වෙ
ව.පිරිමි ලමයා නිවසේ සේවිකාවගේ(චාන්දනී සෙනෙවිරත්න) දරුවායි.මොවුන් දෙදෙනාගෙන් ශක්තිවන්තයා හැටියට රූප රාමු වලින් පෙන්වන්නෙ ගැහැනු ලමයායි.දිනක් මේ පිරිමි ලමයා, ගැහැනු ලමයාව කර මත තබා ගෙන යන බව දකින ගැහැනු ලමයාගේ පියා, පසුදිනම එම නිවසින් තම බිරිදවද, දරුවා ද රැගෙන පිටත් වී යනව.

මේ සිද්ධියෙන් පස්සෙ අවුරුදු 15කට පස්සෙ සිදු වෙන දේවල් තමයි ඉන්පසු පෙන්වන්නෙ.එවිට මෙම ගැහැනු ලමයාගේ පවුල නැවතත් මුලින් පෙන්වූ නිවසට පදිංචියට පැමින සිටිනව.නමුත් මෙම ගැහැනු ලමයා එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට පිටවී ගිහින්.එමෙන්ම ඇයගේ මව පාදයේ ආබාධයක් නිසා රෝද පුටුවක එක් තැන් වී සිටිනව.පිරිමි දරුවා(රොෂාන් රවින්ද්‍ර) මෙම නගරයේ නීතිඥයෙක් විදිහට කටයුතු කරනව.

මෙම සුවිසල් නිවසේ ඉදිපස නිවසේ සිටින්නේ විරූපී මුහුණක් සහිත, කුදු වූ ශරීරයක් ඇති පුද්ගලයෙක්.(සනත් ගුණතිලක)මොහු ජීවත් වන්නේ ඔහුගේ සුරතලයට ඇති කරන බල්ලාත් සමගයි.මොහු කාර්යාලයට යන විට පාරේ හමු වන සියල්ලන්ටම "good morning"කියමින් යන්නේ.නමුත් අතරමදී ඇතැම් අයගේ උසුලු විසුලු වලට මොහු ලක් වෙනව.කාර්යාලයට යන අතරමග මොහු සංගීත භාණ්ඩ අලෙවිසලක් ලග නතර වී බට නලාවක් දෙස බලා සිටිනව.ඉන්පසු කාර්යාලයට යන මොහු එහි සේවය කරන්නන්ගේද විහිලු වලට ලක් වෙනව.එමෙන්ම මොහු තේ බොන අතරවාරයේදී කාර්යාලයේ බැල්කනියට වී කුනු ගෙනියන ලොරිය දෙස බලා සිටීම පුරුද්දක් කර ගෙන සිටිනවා.මොහුට සිටින හොදම මිතුරා වන්නේ ගොත ගසන මොහු වැනිම තවත් පුද්ගලයෙකුයි.

දිනක් මොහු බට නලාවක් මිලදී ගන්නවා.නමුත් මුලදී එය හරි හැටි වාදනය කිරීමට මොහු නොදන්නා නමුත් කිහිප දිනකට පසු එය වාදනය කිරීමට මොහු පුරුදු වෙනව.

මෙසේ ඔහු රාත්‍රී කාලයේදී බට නලාව වාදනය කරන අතරතුරේදී මුලින් සදහන් කල නිවසේ සිටි ගැහැනු ලමයා(නිරෝශා පෙරේරා) තම කාමරයේ ජනේලයෙන් එබී බලනවා බට නලාව වාදනය කරන පුද්ගලයාව.නමුත් එදින ඇය ඔහුව දකින්නේ නැහැ.නමුත් ඇයව දැකීමෙන් පසු මෙම විරූපී පුද්ගලයා ඇයට සිතින් ආදරය කරන්නට පටන් ගන්නව.එතැන් පටන් මොහුගේ හැසිරීමද වෙනස් වනව.

මේ අතරතුරේදී සේවිකාගේ පුතා මෙම තරුණියට පියානෝ වාදනය පුරුදු කිරීමට නිවසට පැමිනෙනව.එක් දිනක් උදෑසනක මිදුලේ පුටුවක වාඩි වී සිටින අතරතුර තරුණියව කර මත තබා ගෙන යන ලෙස තරුණයාට පවසනව.මෙවිට මොහු මෙම තරුණියව කර මත තබා ගෙන මඩුවකට ගෙන ගොස් ලිංගික ක්‍රියාවක යෙදෙනව.නමුත් එදින සවස තරුණයා පැමින ඇගෙන් සමාව ගන්නව.නමුත් මෙහිදී ඇය පවසන්නේ සිදු වූ දෙය ගැන ඇයට කණගාටුවක් නැති බවත්, සුලු මොහොතකට හෝ ඔහුට යටත් වීමට සිදු වීම ගැන ඇයට කණගාටුවක් ඇති බවත්ය.මින් පසු ඇය සමග සිටීමට අවශ්‍ය වූ විට පැමිනීමට නිවසේ පිටුපස වූ දොරක යතුරක් මොහුට ලබා දෙනව.මොවුන්ගේ මෙම ක්‍රියාව නිවසේ සේවිකාවද දන්නා නමුත් එය වැලැක්වීමට ඇය කටයුතු කරන්නේ නැහැ.

මෙසේ කාලය ගත වෙද්දී මෙම විරූපී පුද්ගලයාගේ හැගීමද ඇයට වැටහී යනව.නමුත් ඇය ඔහුට අකමැති බව ඇය හා ඇගේ පෙම්වතා දක්වන ප්‍රතිචාර වලින් පෙන්වනව.නමුත් එක් දිනක් ඇය මෙම විරූපී පුද්ගලයාට තම කාමරයට එන ලෙස පවසනව.එහිදී ඇය ඔහුව ගෙන්වන්නේ කාමරයේ සිදු වූ හදිසි අනතුරක් නිසා මිය ගිය තරුණයාව කාමරයෙන් ඉවත් කර ගැනීම සදහායි. ඉන්පසු මෙම තරුණයාව කර තබා ගෙන යන මෙම විරූපී පුද්ගලයා වැවක් අසල විවේක ගැනීමට මිය ගිය තරුණයාගේ සිරුර බිම තබා නිදා ගන්නව.මේ අතරතුර සිදු වූ හදිසි අනතුර නිසා සිහි මුර්ජා වී සිටි තරුණයා පියවි සිහිය ලැබ නැගිටිනව.මේ බව දුටු විරූපී පුද්ගලයා මොහුත් සමග පොර බදා ගැනීමේදී මොවුන් දෙදෙනාම වැවට වැටෙනව.පසුදා උදෑසන ගම්මුන් දකිනව මොවුන් දෙදෙනා පොර බදිමින් සිටි ආකාරයෙන්ම මිය ගොස් තිබෙන බව.මෙන්න මේකයි කතාවෙ සාරාංශය.

කතාව නම් කම්මැලි කමක් නැතිව දිගටම බලා ගෙන ඉන්න පුලුවනි.පොඩි පොඩි විහිලු කෑලි වගේකුත් තියෙනව.ඒවගේම තමා චිත්‍රපටියට උචිත විදිහට යොදා ගෙන තිබෙන පසුබිම් සංගීතයත්.සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා විසින්.ඒත් මෙම විරූපී පුද්ගලයා කාර්යාලයේ කෑම ගැනීමට ගෙනියන "හයිලන්ඩ් අයිස් ක්‍රීම්" පෙට්ටිය නිසා මෙම චිත්‍රපටියට අදාල කාලය සම්ග යම් නොගැලපීමක් දක්නට තියෙනව.ඒවගේම තමා "Lion Beer" වලටත් නොමිලේම ප්‍රචාරක අවස්තාවක් චිත්‍රපටියෙ ලබා දීල තියෙනව.

ලිංගිකව එක් වන දර්ශන කීපයක් හා සිප ගැනීම දක්වන දර්ශන කීපයක් පමණයි වැඩිහිටියන්ට පමනක් සුදුසුයි කියල හිතන්න පුලුවන්.(ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට අනුව වෙන්
ඇති.)ලිංගික දර්ශන වලදි වුනත් පෙන්වන්නෙ නිරෝශා පෙරේරගෙ සුදු පාට කකුල් දෙක විතරයි.ඒත් දැන් ඉන්න පොඩිහිටියොත් මීට වඩා ඒව බලන නිසා මේ වගේ චිත්‍රපටියක් "වැඩිහිටියන්ට පමණක් සුදුසුයි" ලේබලය යටතේ පෙන්වීම විහිලුවක් කියලයි මට හිතෙන්නෙ.

පහත පල කරල තියෙන්නෙ චිත්‍රපටියේ trailer
එක හා චිත්‍රපටිය සදහා පුහුනුවීම් හා රූගත කිරීම් සිදු කරන වීඩියෝ එකක් හා චිත්‍රපටියේ පින්තූර කීපයක්.
















Wednesday, June 3, 2009

මෙහෙමත් මෝඩයො

මේ තියෙන්නෙ මට අද එවපු e-mail එකක තිබුනු පින්තූරයක්.පින්තූරයත් එක්ක මෙන්න මේ විස්තරයත් සදහන් වෙලා තිබ්බ.

"Dear Friends,

Please see attached PICTURE carefully.

The President of Argentina received this picture and called it 'junk
mail.' ?Eight days later, his son died.

A man received this picture and immediately sent out copies. ?His surprise
was winning the lottery.

Alberto Martinez received this picture, gave it to his secretary to make copies
but they forgot to distribute it. ?She lost her job and he lost his family.

This picture is miraculous and sacred, don't forget to forward this within 13
days to at least 20 people.


Do Not Forget to forward and you will receive a huge surprise!!
"


මට හිතාගන්න බැරි මේ පින්තූරෙන් මනුස්සයකුට කරන්න පුලුවන් බලපෑම මොකද්ද කියල.කාලෙන් කාලෙට මේ වගේ දේවල් පැතිරිලා යන්නෙ මිනිස් මනසේ තියෙන මරණයට තිබෙන බිය නිසා කියලයි මට හිතෙන්නෙ.

ඔය තියෙන විස්තරේට සමාන විස්තරයක් අඩංගු වෙබ් අඩවියකුත් හොයා ගන්න ලැබුන.නමුත් එතන තියෙන්නෙ වෙනත් පින්තූරයක්.ඒ වෙබ් අඩවිය මෙතනින් බලන්න.

Monday, June 1, 2009

Chamari akki, hope your soul rest in peace

බංග්ලාදේශයේ University of Science and Technology, Chittagong විශ්ව විද්‍යාලයේ හතරවන වසරේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි චමරි ප්‍රේමරත්න සොයුරිය මීට ස්වල්ප මොහොතකට පෙර අපෙන් සමු ගත්තා.

Viral meningo encepahilitis රෝගයෙන් දින කිහිපයක් දැඩි ලෙස රෝගාතුර වී සිටි ඇය චිතගොං නගරයේ Holy Cresecnt නම් පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ අප අතරින් සමු ගත්තෙ.

වෛද්‍යවරියක වීමේ සිහිනය සැබෑ කර ගත නොහැකි වුවත්, මතු යම් භවයකදී හෝ ඔබට ඔබගේ සිහිනය සැබෑ කර කර ගැනීමට හැකි වේවා.

චමරි අක්කි, ඔබ විශ්වාස කල ධර්මය අනුව ඔබට නිවන් සුවයත්, මා විශ්වාස කරන ධර්මය අනුව මොක් සුවයත් පතමි.


IT'S HARD TO SAY GOODBYE.
BUT MEMORY LIVES ON....
MY PRAYERS WILL ALWAYS BE WITH YOU!!!!!

Wednesday, May 20, 2009

SLIIT showed their ultra super power thorughout Imagine Cup 2009


AKILA,MUGA,JUSTIN,LAKKANA .........proud of your great effort.......Never seen such competition .....how it was??......!!!!!!!

First time we won Imagine Cup Challenge Trophy.........

We had broken IT back bone in MORATUWA UNIVERSITY as well as another recorgnized universities.......

Hope they won't say "UPADI KADA, SALLI DEELA DEGREE GANNA OLA MOTTALAYO" such words here after.....


Thank you so much which was participated all SLIIT students as well as parents and family relatives for grand finals @ grand ballroom ,Galadari Hotel.......

Our special thanks ...........Max,Suguna,
Nadeesha(2007 imagine cup) and 2006 imagine cup 1st runner-up winners to participating memorable moment.....

We wish Akila and his crew a safe and winning end in Imagine Cup 2009 world competition in Egypt ......We say BON VOYAGE......


Cheers for ALL of U guys....go on....

Sunday, May 3, 2009

නිවාඩුව

අප්‍රේල් 30 වැනිද final exam එක ඉවර වෙච්ච හින්ද දැන් මාස 2ක් නිවාඩු හම්බ වුනා.ආපහු පටන් ගන්නෙ ජූනි 29 වෙනිද.දැන් ඉතින් කරන ලොකුම වැඩේ IPL මැච් බලන එකයි, චිත්‍රපටි බලන එකයි විතරයි.තව SCJP exam එකත් ජූනි මාසෙ කරන්න ඉන්නෙ.ඒකටත් පාඩම් කරනව.

විභාගෙ ඉවර වෙලා කලේ "සර් ලාස්ට් චාන්ස්" චිත්‍රපටිය බලන්න ගිය එක.ඉස්කෝලෙ ඉගෙන ගත්තු යාලුවෙක් බම්බලපිටියෙදි හම්බ වෙලා එයාගෙ බල කිරීමටයි බලන්න ගියෙ.කියල වැඩක් නැහැ.මම බලපු ජරාම සිංහල චිත්‍රපටිය කියන්න පුලුවන්.බලන් ඉන්න බැරිම තැන පැය භාගෙකින් විතර නැගිටල ආව.නිකන් ටිකට් එක අරන් දුන්නෙ නැත්නම් කවදාවත් "රෝයි ද සිල්වගෙ" චිත්‍රපටියක් නම් බලන්න යන්නෙ නැහැ.රෝයි ද සිල්වගෙ චිත්‍රපටි සේරම එකයි.තමන්ම කිති කවා ගෙන තමයි හිනා වෙන්න පුලුවන්.ඒත් කනගාටුවට කරුන තමයි විජය නන්දසිරි හා ලකී ඩයස් කියන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් දෙදෙනාත් දැන් විකටයන් දෙදෙනෙකු වී සිටීම.

අද ගිහින් ගෙනාව "Quarantine" කියන horror ෆිල්ම්එක.කථාව මේකයි.ඔන්න එක රූපවාහිනී සේවාවක නිවේදිකාවක් හා ඇගේ කැමරා ශිල්පියා යනව ගිනි නිවීමේ භටයන්ගේ දින චර්යාව ගැන වාර්තාමය වැඩ සටහනක් කරන්න.මේ අවස්ථාවේදී ඔවුන්ට දුරකථන ඇමතුමක් ලැබෙනව වයසක කාන්තාවක් නිවාස සංකීර්ණයක සිරවී සිටින බවට.ඇයව බේරා ගැනීමට පැමිනෙන ගිනි නිවීමේ භටයන් සමග නිවේදිකාවත්, කැමරා ශිල්පියාත් පැමිනෙනව.එහිදී ඇය එක් ගිනි නිවන භටයකු සපා කා මරා දමනවා.මේ ආකාරයට මිනිස්සුන් එක් වරම එකිනෙකා කා ගැනීමට පටන් ගන්නව.මේ අතරතුරේ මෙම නිවාස සංකීරණයෙන් කිසිවකුටත් ඉවත් විය නොහැකි පරිදි සීල් තබනව.මෙහි සිටින පශු වෛද්‍යවරයකු තුවාල වූවන්ට ප්‍රතිකාර කිරීමේදී සොයා ගන්නව මොවුන්ට වැලදී ඇත්තේ ජල භීතිකාව බවට.නමුත් මොවුන්ට වැලදී ඇත්තේ අසාමාන්‍ය ජල භීතිකා තත්වයක්.සාමාන්‍යයෙන් ජල භීතිකාව වැලදී දින කීපයක් හෝ මාස කීපයකට පසු රෝග ලක්ෂන පහල වුවත් මොවුන්ට වැලදී ඇත්තේ මිනිත්තු කීපයකින් රෝග ලක්ෂන පහල වන ජල භීතිකා රෝගයක්.අවසානයේ මොවුන් එකිනෙකා බල්ලන් මෙන් සපා කෑමට පටන් ගන්නව.නිවේදිකාව හා කැමරාකරු අවසාන මොහොත දක්වාම බේරී සිටින මුත් අවසන් මොහොතේ ඔවුන්ගේ අවසානයත් සිදු වෙනවා.මේ trailer එකත් බලලම කැමති අය මෙතනින් download කර ගන්න.


Thursday, April 23, 2009

මේ දවස්වල.....

මේ දවස් ටිකේම විභාග පැවැත්වෙනව.තාම විෂයයන් 2ක් විතරයි ඉවර.ආපහු සදුදා ඉදන් විභාගෙ.දැන් නම් පාඩම් කරල ඇති වෙලයි තියෙන්නෙ....:( 

සෙනසුරාදා බස්නාහිර පළාත් සභා ඡන්දෙත් පැවැත්වෙනව.මගේ කුලුදුල් ඡන්දය දාන්න ලැබිල තියෙන්නෙත් මේ පාර.ඒත් කාට දෙන්න ද කියල තාම තීරණයක් අරන් නැහැ.සමහර විට ඡන්දෙ නොදාත් ඉන්න පුලුවන්.මේ දවස්වල හැම රූපවාහිනී නාලිකාවකම වගේ ඡන්ද අපේක්ෂකයන්ගෙ දැන්වීම් ප්‍රචාරය වෙනව.සමහරු පැය 24ම නිදා ගන්නෙවත් නැතුව ජනතා සේවයට කැපවෙලාලු ඉන්නෙ.ඒත් මම ඉන්න කලුතර දිස්ත්‍රික්කයෙ අපේක්ෂකයන්ගෙ දැන්වීම් යන්නෙ නම් කලාතුරකින්.ඒ ගැන නම් පොඩි දුකක් තියෙනව.

කොළඹ දිස්ත්‍රික්ක්යෙන් ඡන්දෙ ඉල්ලන එක් අපේක්ෂකයෙක්ගෙ පියෙක්ගෙ දේශපාලන දිවියට පනස් වසරක් පිරීම නිසා එතුමාට තිස් තුන් කෝටියක් දෙවි වරුන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියල දැන්වීම් ගහල තියෙනව.ඒත් මේ දේශපාලඥයා අදහන්නෙ සර්ව බලධාරී දෙවි කෙනෙක්ව විතරයි.දැන් එක දෙවි කෙනෙක් මදි නිසා තිස් තුන් කෝටියක් දෙවි වරුන්ව ඕන වෙලා ඇති.ඒ වගේම තිස්තුන කියන එතුමාගෙ පුතාගෙ මනාප අංකය කැපිල පේන්න තමා මේ දැන්වීම ගහල තියෙන්නෙත්.

අද කොළඹ යද්දි තව දැන්වීමක් දැක්ක, ලලිත් කොතලාවල මහතාව නිදහස් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් හා අගවිනිසුරුතුමාගෙන් ඉල්ලා පල කරපු දැන්වීමක්.ලලිත් කොතලාවල මහතාව නිදහස් කල යුතු බවට හේතු ලෙස දක්වලා තිබ්බෙ තැන්පත්කරුවන්ගේ තැන්පතු ආපසු ලබා දීමටත්, සෙලිංකෝ සේවකයන්ගේ රැකියා අහිමි වී යාම වලක්වා ගැනීමටත් කියල.මේක නම් ලලිත් කොතලාවලම ගහ ගත්තු දැන්වීමක් වෙන්න ඇති.මෙයාව දැන් නිදහස් කලොත් වෙන්නෙ සක්විති වගේ රටින් කොහොම හරි පැන ගන්න එක තමා.

අදට මේ ලිව්ව ඇති.දැන් ඉතින් ආපහු ගිහින් පාඩම් කරන්න ඕනෙ....:)

Sunday, April 12, 2009

පරණ අවුරුද්දේ අන්තිම සටහන.....

හෙට අලුත් අවුරුද්දකුත් පටන් ගන්නව.ඒත් මට නම් අලුත් අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නෙ ගෙදරට වෙලා තනියම.අනිත් හැමෝම විදේශ සංචාරයකට ගිහිල්ල.මට මේ පාර යන්න බැරි වුනා.හේතු දෙකක් නිසා.එකක් විභාගය.අනික ගෙදර ඇති කරන සත්තුන්ව බලා ගන්න කෙනෙක් ඉන්න ඕන එක.

මොනව වුනත් තනියෙන් ගෙදරට වෙලා උයා ගෙන කන කොටත් පොඩි ගතියක් තියෙනව.මට ඕන විදිහට උයාගන්නත් පුලුවන්නෙ.මට ඉතින් කැවුම් හදන්න බැරි නිසා කීල්ස් එකෙන් තමා ගන්න වුනේ.හැබැයි ගෙදර හදන ඒව තරම්ම නම් රසයක් නැහැ.හෙට කිරිබත් ටිකකුත් හදන්නයි හිතා ගෙන ඉන්නෙ.ඒ නිසා අද උදේ කිරිබත් ටිකක් හදල පුරුදු වුනා.

අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර ආදිය නම් කෙරෙන්නෙ නැහැ.ඒකට හේතුව නැකැත් ආදිය විශ්වාස නොකිරීමත්, ආගමික පරිසරයත්.ඒත් හැම අවුරුද්දෙම කැවුම්, කොකිස්,කිරිබත් නම් අනිවාර්යයෙන්ම හදනව.ඒත් මේ අවුරුද්දෙ නම් කිරිබත් විතරයි හදන්න වෙන්නෙ.

අද දවල් මහාචාර්යය නලින් ද සිල්වා සමග "දෙරණ" රූපවාහිනී සේවය පැවැත්වූ සාකාච්ඡාවකුත් බලන්න ලැබුන.(නැවත විකාශය කරපු වැඩසහනක්.)එතුමාගේ චිංතනය අනුව ඔහු ජාතික ඇදුමෙන් සැරසිලා ආවෙ.වැදගත් දෙයක් නම් කිව්වෙ නැහැ.ඔහුට අනුව ඔහු විතරයි ලංකාවෙ නිවැරදිම චිංතනයක් සහිත පුද්ගලයා.හැබැයි කියපු සමහර කථා අහගෙන ඉන්න කොට නම් හිතෙන්නෙ මොහු මහාචාර්යයවරයෙක් වුනත් කොච්චර පටු විදිහට හිතන මානසිකත්වයක්ද මොහුට තියෙන්නෙ කියල.

තෙල් ප්‍රවාහනය කරන දුම්රියක් ගල්ගමුව හා තඹුත්තේගම අතරදි අනතුරකට පත් වෙලා තියෙනව ප්‍රවෘත්ති වලින් දැක්ක.ඒ පැත්තෙ මිනිස්සුන්ට නම් මේ පාර ජයට අවුරුදු කන්න පුලුවන් වෙයි.ප්‍රවෘත්ති වලින් දැක්ක විදිහට ඒ පැත්තෙ මිනිස්සු ඇවිත් නොමිලේම ඩීසල් හා පෙට්‍රල් අරන් යනව.දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඒ ප්‍රදේශවල ජනතාවට ලබා දීපු සහනාධාරයක් වෙන්න ඇති මේ අනතුර.නැත්නම් මිනිස්සු ඇවිල්ල තෙල් ටික අරන් යනකම් නිකන් බලන් ඉන්න එකක් නෑනෙ.

හැම පාරම වගේ ලබන්නා වූ අලුත් අවුරුද්දෙත් කරන්න දේවල් ගොඩක් හිතා ගෙන ඉන්නව.සිංහල බ්ලොග් ලියන එක අයිය කෙනෙක් හම්බවුනාම කිව්වෙ මම හැමතිස්සෙම ගෑනි මැරිච්ච මිනිහෙක් වගෙයි හැම තිස්සෙම ඉන්නෙ කියල.එහෙම ඉන්න ඉතින් හේතුවකුත් තියෙනවනෙ.ඔන්න අලුත් අවුරුද්දෙ ඉදල එයාවත් අමාරුවෙන් හරි සදහටම හිතින් අමතක කරල දාන්න හිතා ගත්ත.තව ඉතින් පොඩි පොඩි බලාපොරොත්තු තියෙනව.ඒවටත් ලොකුම බාධාව වෙලා තිබ්බෙ අර කියපු හේතුව.දැන් ඉතින් ඒ ප්‍රශ්නෙනුත් ගැලවුන නිසා හිත සම්පූර්නයෙන්ම නිදහස්.

ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, ආදායම් වැඩි, වියදම් අඩු, අපේ රටට සාමය උදාවන නව වසරක්ම වේවා!!!!!!

Tuesday, March 31, 2009

මේ දවස් වල......

මේ දවස් ටිකම ගෙවිල යන්නෙ assignment එක්ක.එකක් ඉවර වෙන කොට තව assignment එකක්.semester එකත් මේ සතියෙ ඉවර වෙනව.අප්‍රේල් 20ට කලින් assignment ටික submit කරන්න ඕනෙ.Final exam එකත් අප්‍රේල් 22 පටන් ගන්නව.ඊට කලින් මේ වැඩ ගොඩ ඉවර කරගන්නෙ කොහොමද කියලයි හැම තිස්සෙම කල්පනා වෙන්නෙ.හැබැයි ඉතින් වැරැද්ද තියෙන්නෙත් මගේ අතේම තමයි.අන්තිම දවස වෙනකම් ඉන්නව assignment කරන්න පටන් ගන්න.හැබැයි ඉතින් අන්තිමට වැඩ ගොඩ ගැහිල කරන කොට තමයි මට නම් පොඩි kick එකක් එන්නෙත්.කලින්ම assignment ඉවර කලා නම් කිසි ගතියකුත් නෑ.

අප්‍රේල් තුන් වැනිද අපි සංවිධානය කරල තියෙනව "Musical Stars" නමින් සංගීත ප්‍රසංගයක්.පැවැත්වෙන්නෙ SLIIT Auditorium හි.සවස 5.30ට ආරම්භ වන්නෙ.පහත පල කරල තියෙන්නෙ මේ සංගීත ප්‍රසංගය ගැන විස්තරයක්.




මේ ඉරිදා කාලෙකට පස්සෙ horror ෆිල්ම් එකක් බැලුව."Black Water".කථාව මේකයි.Grace, Lee හා Adam යන තිදෙනා කිඹුලන් බැලීමට කිඹුලන් සංරක්ෂණය කර ඇති ස්ථානයකට යනව.පසුදින මොවුන් ගගක මාලු බෑම සදහා පිටත්ව යනව.බොහෝ දුරක් ගගේ පැමිනි පසු කිඹුලෙකු විසින් මොවුන් පැමිණි බෝට්ටුව යටිකුරු වන සේ පෙරලා දමනවා.ඉන්පසු කිඹුලා මග පෙන්වන්නාව මරා දමනු ලබනව.අවසානයේ ඉතිරි වන්නේ Grace, Lee හා Adam යන තිදෙනා පමනයි.මොවුන් තිදෙනාගෙන් ද අවසානයේ ඉතිරි වන්නේ Lee පමනයි.පසුව Grace හා Adam වද කිඹුලා විසින් මරා දමනු ලබනවා.අවසානයේ Lee විසින් කිඹුලාව මරා දමනු ලබනවා.මේ චිත්‍රපටියේ කිඹුලා විසින් මිනිසුන් මරා දමන දර්ශණ හා කිඹුලා විසින් මරා දමනු ලැබූ මිනිසුන්ගේ ශරීර කොටස් ඇතුලත් දර්ශණ තිබෙනවා.ඒ නිසා මෙම චිත්‍රපටිය ටිකක් වැඩිහිටියන්ට සුදුසුයි කියල කියන්න පුලුවන්.

ඔන්න ඔය ටික තමා මේ සතියේ කරපු, කරන හා කරන්න තියෙන වැඩ වල විස්තර.අද බ්ලොග් සටහනට ලියන්න තියෙන්නෙ මේ ටික තමයි.හැමෝටම ජය වේවා!!!








Thursday, March 26, 2009

බංග්ලාදේශ 38වන නිදහස් දිනය

අද බංග්ලාදේශ 38වන නිදහස් දිනය ඩකා අගනුවරදී අභිමානවත් ලෙස සමරනු ලැබුවා.මීට සමගාමීව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද අද දින කොළඹදී බංග්ලාදේශ නිදහස් දිනය සමරනු ලැබුවා.ඩකා නගරයේ පසුගිය දිනවල ඇති වූ දේශ සීමා ආරක්ෂක බලකාය(රයිෆල් බලකාය) විසින් මෙහෙය වූ කැරැල්ල නිසා අද දින ඩකා නගරය පුරාත්, චිතගොං ඇතුලු අනෙකුත් ප්‍රධාන නගර වලත් ආරක්ෂාව තර කොට ඇති බව වාර්තා වුනා.

1947දී ඉන්දියාවෙන් පාකිස්ථානය නිදහස ලැබුවේ නැගෙනහිර පාකිස්ථානය හා බටහිර පාකිස්ථානය ලෙස ඉන්දියාව දෙපස මුස්ලිම් රාජ්‍යයන් 2ක් බිහි කරමිනි.මින් නැගෙනහිර පාකිස්ථානය 1971 වසරේ මාර්තු 26 වැනි දින බංග්ලාදේශය ලෙස පාකිස්ථානයෙන් නිදහස ලබා ගන්නා ලදී.

නිදහස ලබා ගත් විට ලොව තිබූ ඉතාමත් දුප්පත් රටක් වූ බංග්ලාදේශය මෑත කාලයේදී ඉතාමත් සීග්‍ර දියුණුවක් ලබා ඇත.ලොව වැඩිම ජනගහයක් ඇති රටවලින් සත් වැනි ස්ථානය ද, වැඩිම මුස්ලිම් ජනගහනයක් සහිත රටවලින් තුන් වැනි ස්ථානය ද බංග්ලාදේශයට හිමිවේ.

නිදහස ලැබීමේදී නිල නො වන වාර්තාවන්ට අනුව බංග්ලාදේශ ජනතාව මිලියන 3කගේ පමන ජීවිත අහිමි විය.ජනගනයෙන් 95%ක් පමන මුස්ලිම් වරුන් වන අතර සුලු ජාතීන් ලෙස හින්දුන්, බෞද්ධයන් හා ක්‍රිස්තියානි ධර්මය අදහන්නන් සුලු පිරිසක් එරටෙහි ජීවත් වෙති.එමෙන්ම පෘතුගීසි හා ලංදේසි ජාතීන්ගෙන් පැවතෙන්නන් සුලු පිරිසක්ද ඩකා හා චිතගොං නගර අශ්‍රිතව ජීවත් වෙති.ආදිවාසීන් ද ඉතාමත් සුලු කොටසක් චිතගොං කදුකර ප්‍රදේශ අශ්‍රිතව තවමත් ජීවත් වෙති.

රබින්ද්‍ර නාත් තාගෝර් තුමන් විසින් රචිත බංග්ලාදේශ ජාතික ගීතය.



බංග්ලාදේශ
ගැන කියවෙන ජාතිකාභිමානී බෙංගාලි ගීතයක්....Amar sonar bangla... ami tomai valobasi (My golden bengal... I love you)



නිදහස ලැබීමට පෙර 1971 දී පාකිස්ථානය යටතේ පාලනය වූ ඩකා නගරය.

Monday, March 23, 2009

පුද්ගලික විශ්ව විද්‍යාල - 2

පසුගිය දිනවල පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබදව පල වූ බ්ලොග් සටහන්වලට පිලිතුරක් ලෙස හා මා ලියූ බ්ලොග් සටහනට දැක්වූ අදහස් වලට පිලිතුරක් විදිහටයි මේ බ්ලොග් සටහන ලියන්නෙ.

පු.වි.වි. වලට එරෙහි වන්නන් බොහෝ විට කියනු ලබන්නේ පු.වි.වි. වලට ඇතුලු කරගනු ලබන්නේ උ.පෙ. අඩු සාමාර්ථ ලබා ගත් පිරිසක් බවය.මෙය බොහෝ දුරට පිලිගත හැකි මතයක් වනමුත් උ.පෙ. "S" 3ක් ගත් තැනැත්තාද වි.වි. ප්‍රවේශය ලබා ඇත යනුවෙන් උ.පෙ. ප්‍රතිඵල සහතිකයෙහි සදහන් වී ඇත.එසේ නම් වරද ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේය.උ.පෙ. සමත් වුවද වි.වි. ප්‍රවේශය ලැබී නැත යනුවෙන් උ.පෙ. සහතිකයෙහි සදහන් කල යුතුය.මෙසේ අඩු ප්‍රතිඵල මත බදවා ගන්නා සිසුන් සිටිනා පු.වි.වි. මගින් ලබා දෙන උපාධියද තත්වයෙන් බාල විය යුතුය.

මෙසේ තර්ක කරන්නන්ට කිව යුත්තේ විවෘත විශ්ව විද්‍යාලයට උ.පෙ. තබා සා.පෙ. වත් නැතිව සිසුන් බදවා ගන්නා බවය.එසේ නම් රාජ්‍ය වි.වි.ක් වන මෙහි උපාධිය පු.වි.වි. මගින් ලබා දෙන උපාධියටත් වඩා තත්වයෙන් බාල විය යුතුය.

එමෙන්ම මොවුන් නගන තවත් තර්කයක් වනුයේ පු.වි.වි. වලට ඇතුලත් කර ගනු ලබනුයේ මුදල් වියදම් කිරීමට හැකියාවක් ඇති දෙමාපියන්ගේ දරුවන් පමනක් බවය.මෙසේ කියන්නන් පු.වි.වි. කට ගොස් ඇත්නම් මෙහි සත්‍ය තත්වය බලා ගත හැකි වනු ඇත.පු.වි.වි. වලටද දුප්පත් සිසුන් ඇතුලත් කර ගනී.ශිෂ්‍යත්ව ක්‍රම, විවිධ ආයතන මගින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව මගින් මෙවැනි සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ වරම පු.වි.වි. තුලද ලබා දී ඇත.නමුත් මෙසේ ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ උ.පෙ. ඉහල ප්‍රතිඵල ලබා ගත් සිසුන්ටය.පු.වි.වි.ක් සෑම විටම උත්සාහ ගනු ලබන්නේ තම උපාධියේ ගුණාත්මක තත්වය ඉහල නංවා ගැනීමට නිසා මෙවැනි ක්‍රම ඔවුන් විසින් අනුගනය කරනු ලබයි.

නමුත් පු.වි.වි.ක් ආරම්භ කල පමනින් මෙවැනි ශිෂ්‍යත්ව ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.ඔවුන් ආයෝජනය කල මුදලින් කිසියම් ලාබයක් ලැබිය යුතුය.ඉන්පසු මෙවැනි ශිෂ්‍යත්ව ක්‍රම ඔවුන්ට ක්‍රියාත්මක කල හැක.

තවත් සමහරෙක් තමා ර.වි.වි.කින් උපාධිය ලබා ගත්තද පු.වි.වි. ආරම්භ කරනවාට කැමති යයි කියා නැවතත් සෑම දෙනාටම එහි ඉගෙන ගත නොහැකි නිසා පු.වි.වි. වලට විරුද්ධ බව කියයි.මොවුන් පු.වි.වි. වලට අකමැත්තකුත් නැත.නමුත් පු.වි.වි. ආරම්භ කරනවාට අකමැතිය.මෙවැනි නපුංසක ගති ඇත්තවුන්ගෙන් අපේ රටට වන සේවය කුමක්ද?සෑම දෙයකටම විරුද්ධ වනවා හැරෙන්නට ඔවුන් කරන දෙයකුත් නැත.

තවත් සමහරෙක් බාහිර උපාධි මෙයට පිලියමක් ලෙස යෝජනා කරයි.නමුත් මෙම බාහිර උපාධි කිරීමට වසරකට එක් වන ප්‍රමානයෙන් අවසානයේ උපාධිය නිම කරන්නේ කීයෙන් කී දෙනාද?ටියුෂන් ගෙන ඉගෙන ගන්නා ඔවුන්ගේ උපාධියේ ගුණාත්මක තත්වය කෙබදු විය යුතුද?

අප රටට අවශ්‍ය වෛද්‍ය, ඉංජිනේරු ආදී විෂයයන් සහිත නවීන ලෝකයට සරිලන පු.වි.වි. පද්ධතියක් මිස වර්තමානයේ පවතින කට පාඩම් කරන විෂයයන් සහිත(සෑම උපාධියක්ම නොවේ.), අහිංසක, ප්‍රේමණීය, සහෝදරත්වයෙන් පිරි රැග් එකක් දෙන වි.වි. පද්ධතියක් නොවේ.මොවුන් පුද්ගලික අධ්‍යාපන ආයතනවලට බියය.ඒ ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වේය යන බියෙනි.නමුත් විය යුත්තේ තරගකාරීත්වයකින් යුත් වි.වි. පද්ධතියක් අපේ රටේ ඇති කිරීමය.නමුත් එසේ කරනවිට සෑම අයකුටම සාධාරණයක් ඉටු නොවේ.සැමටම සාධාරනයක් සිදු වන අධ්‍යාපන පද්ධතියක් ලොව කොතනක වත් නැත.පු.වි.වි. වලට විරුද්ධවන මොවුන් පුද්ගලික ආයතනවල වැඩි පඩියකට රැකියා කිරීම සදහා යාමට නම් කැමතිය.මෙම පු.වි.වි. පිලිබදව ලියවුනු බ්ලොග් සටහන් වල ර.වි.වි. වල ආචාර්යය, මහාර්යය වරුන්ගේද පැටිකිරිය හෙලිවූ නිසා ඒවාද මහජන මුදල් ගසා කන ආයතන බවට පත් වී ඇති බව පෙනේ.

විශ්ව විද්‍යාල පිං හෝ පව් ලෙස එක්තරා "රාජකීය උගුඩුවකු" පවසන ලෙස බෙදා වෙන් කල නොහැක.විශ්ව විද්‍යාල පුද්ගලික හෝ රජයේ වුවත් ඒවායින් සිදු විය යුත්තේ රටට අවශ්‍ය පර්යේෂන ආදිය සිදු කිරීම හා අධ්‍යාපනය ලබා දීම මිස ආත්මාරක්ෂක සටන් ඉගැන්වීම හෝ පොලිසියෙන් කුනු වතුර නා, කදුලු ගැස් කෑමට ඉගැන්වීම හෝ මාස ගනන් වි.වි. වසා තැබීම නොවේ.එමෙන්ම නවක සිසුන්ට අති ප්‍රේමණීය ලෙස, සහෝදරත්වයෙන් රැග් කිරීම නොවේ.එමෙන්ම විරුද්ධ මතයක් බ්ලොග් එකෙහි සටහන් වන විට රිදුනු "රාජකීය උගුඩුවා" කල යුත්තේ එය ලියූ තැනැත්තාට e-mail එවමින් බ්ලොග් එකෙහි ලිවිය යුතු දේ ඉගැන්වීම හෝ Google Talk මගින් බැන වැදීම නොවේ.අවශ්‍ය නම් තම මතය මෙහි පල කිරීමට කිසිම බාධාවක් නැත.විරුද්ධ මත කිසි විටෙකත් මෙහි ඉවත් කර ද නැත.නමුත් "රාජකීය උගුඩුවා" දන්නේ "බට්ට, ගොන් බට්ට" යයි කියමින් බ්ලොග් කරුට බනිමින් සිටීමය.මෙයයි රාජකීය විදුහලෙහි අධ්‍යාපනය ලැබූ දැන් වි.වි. අධ්‍යාපනය ලබන "උගුඩුවාගේ" තත්වය.විකල්ප මතධාරීන්ට වි.වි. තුල සලකනු ලබන්නේ මෙයාකාරයට විය යුතුය.ඔවුන්ගේ අති සුන්දර වූ රැග් එකේදී මේ කරුනු කියා දෙනු ලබනවා විය යුතුය.

අවසන් වශයෙන් කිව යුත්තේ අපේ රටෙහි උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමට නම් කල යුත්තේ පු.වි.වි.ක් ඇරඹීම බවය.

Friday, March 20, 2009

පුද්ගලික විශ්ව විද්‍යාල

ලංකාවෙහි පුද්ගලික විශ්ව විද්‍යාල හෝ වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීමට විරුද්ධව පල වෙච්ච බ්ලොග් සටහන් කීපයකට පිලිතුරක් විදිහටයි මේ බ්ලොග් සටහන ලියන්නෙ.

ලංකාවෙහි බහුතරයක් ශිෂයයන් හට උසස් පෙලින් පසු වි.වි. වරම් හිමි නොවේ.මෙයට එක් හේතුවක් ලෙස වි.වි. සදහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය සීමිත වීමත්, රජය උසස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය අවම වීමත් දැක්විය හැකිය.මෙයට යෙදිය හැකි එකම පිලියම වන්නේ පුද්ගලික අංශයට ඒ සදහා අවස්ථාවක් ලබා දීම වේ.

මෙවිට තවත් පිරිසක් දුප්පත් ලමයින් හට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව අහිමි වන බව කිව හැක.නමුත් ඔවුන් හට අධ්‍යාපනය ලැබීමට ර.වි.වි. වලින් පුලුවන.රටේ බහුතරයකට මුදල් නැතැයි කියා අනෙක් අයට ඇති අවස්ථාව අහිමි නොකල යුතුය.

ර.වි.වි. වලට සිසුන් බදවා ගැනීමේදී උසස් පෙල ඉහල ප්‍රතිඵල ලබා ගත් කොටසකටත් දිස්ත්‍රික්ක කුසලතා මත බදවා ගැනීම නිසා අසාධාරණයක් සිදුවේ.කොලඹ දිස්ත්‍රික්කයෙන් A 3ක් ගෙන වෛද්‍ය විද්‍යාලයකට යා නොහැකි සිසුන් සිටිද්දී අධ්‍යාපන පහසුකම් අතින් දුෂ්කර යයි සලකනු ලබන දිස්ත්‍රික්කයක සිසුන් අඩු ප්‍රතිඵල ගෙන වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වෙයි.මෙය අසාධාරණයක් නොවේද?එසේ නම් එම සිසුන්ට කල හැකි එකම පිලියම වන්නේ නැවත උ.පෙ. කිරීම හෝ වෙනත් පාථමාලාවක් සදහා ඇතුලත් වීම හෝ විදේශ රටක වි.වි.ක වෛද්‍ය විද්‍යාව හැදෑරීම පමනි.මෙවැනි සිසුන් සුලුතරයකට හෝ යම් පමනක අවස්ථාවක් පු.වි.වි. පිහිටුවීමෙන් නොලැබේද?එමෙනම ලංඩන් උ.පෙ. කල සිසුන්ට ර.වි.වි.
ලට ඇතුලත් විය නොහැකි නිසා ඔවුන්ට මෙරට සිට උසස් අධ්‍යාපනය ලැබීමේ හැකියාවක් නැත.එසේ නම් ඔවුන්ටද ඇති එකම පිලියම පු.වි.වි. නොවේද?

විවෘත වි.වි. හා නීති විද්‍යාලය මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය යුතු ආයතන වේ.විවෘත විශ්ව විද්‍යාලයට සා.පෙ. සමත් නොවී වුවද ඇතුලක් විය හැක.පු.වි.වි. පිහිටුවීමට විරුද්ධ වන්නන් මෙම ආයතන දෙකට විරුද්ධ නොවන්නේ ඇයි?ඔවුන් කියන ආකරයට මෙයින්ද දිය යුත්තේ නොමිලේ අධ්‍යාපනය නොවේද?

පුද්ගලික අංශය සෑම විටම ක්‍රියා කරන්නේ ලාබ ලැබීමේ අපේක්ෂාවෙනි.එම නිසා පු.වි.වි. පිහිටු වුවහොත් ඒවායේ අධ්‍යාපනය ලැබීමට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු බව සැබෑවක්ය.බහුතර කොටසකට අසාධාරණයක් වන බව ද සැබෑවක්ය.නමුත් සමාජවාදී රටවල් වන චීනය, වෙනිසියුලාව, කියුබාව වැනි රටවල් වලද පු.වි.වි. තිබේ.එසේ නම් අප රටෙහි පු.වි.වි. ඇරඹීමට විරුද්ධ වන්නේ අප ඔවුන්ටත් වඩා සමාජවාදී විය යුතු නිසාද?

පු.වි.වි. පටන් ගත හොත් ර.වි.වි. වලට ඒවා සමග තරග කල නොහැකි නිසා වැසී යන බව තවත් සමහරුන්ගේ මතයකි.එසේ නම් කල හැක්කේ ර.වි.වි. වලටද වෙනත් ආදායම් මාර්ග සාදා ගැනීමයි.මුදල් ගෙවා ර.වි.වි. කින් අධ්‍යාපනය ලැබීමට කැමති කොටසකට එම අවස්ථාව සලසා දීමෙන් යම් ආදායමක් ලබා ගත හැක.බාහිර උපාධි එක් විසදුමකි.

පු.වි.වි. ආරම්භ කල හොත් ඒවායෙහි සේවය කිරීමට ර.වි.වි. වල ආචාර්යයවරුන් යා හැකි යයි කියන නිසා ර.වි.වි. වැසී යන බව තවත් පිරිසක් කියයි.නමුත් මෙම ආචාර්යයවරුන්ද අධ්‍යාපනය ලබා ඇත්තේ ර.වි.වි. වලම නිසා ඔවුන්ටත් පු.වි.වි. වලට විරුද්ධ වන්නන්ගේම චිංතනය පිහිටා තිබිය යුතුය.එක්කෝ විශ්ව විද්‍යාලයෙන් පිට වන විට එම අදහස් නැති වී ගොස් ඇත.වැඩි පඩියක් දෙන්නේ නම් ඔවුන් පු.වි.වි.ක සේවය කිරීමට අකමැති නොවේ.දැන්ද පශ්චාත් උපාධි සදහා විදේශ ගත වන ර.වි.වි. වල ආචාර්යයවරුන් බොහෝ විට එම රටවලම නැවතී වැඩි පඩියකට සේවය කරයි.මෙයට විසදුම ර.වි.වි. වල ආචාර්යයවරුන්ගේ පඩි වැඩි කිරීම මිස පු.වි.වි. විවෘත කිරීමට විරුද්ධ වීම නොවේ.එමෙන්ම කලක් පු.වි.වි. වලට විරුද්ධව හඩක් නැගූ ආචා
ර්යය, මහාචාර්යය වරුන්ම දැන් පු.වි.වි. ඇරඹීමට විරුද්ධ නොවන්නේ ඔවුන්ගේ අදහස් වෙනස් වී ඇති නිසා නොවේද?

ලොව තිබෙන සෑම පලමු පෙලේ වි.වි. කම අධ්‍යාපනය ලැබීමට නම් ඒවාට මුදල් ගෙවිය යුතුවේ.නමුත් එම රටවල මුදල් නොමැති ජනතාව ඒවාට විරුද්ධව වසා දැමිය යුතු යයි කියා හෝ නිදහස් අධ්‍යාපනය දිය යුතු යැයි කියන්නේද?අපේ රටෙහි කිසිදු වි.වි.ක් ආසියාවෙහි හොදම වි.වි. 100 අතර හෝ නොමැත.එසේ නම් කල යුත්තේ පු.වි.වි. ක් හෝ මෙරට ආරම්භ කිරීමට ඉඩදී එය හොදම වි.වි. 100 අතරට හෝ ගෙන ඒම නොවේද?

පු.වි.වි ආරම්භ කල හොත් ඒවායෙහි අධ්‍යාපනය ලැබීමට විදේශ රටවල සිසුන්ද මෙරටට පැමිනේ.එමගින් අප රටට විදේශ විනිමයද උපයා ගත හැක.

මැලේසියාව, වියට්නාමය වැනි රටවල වෙනත් රටවල් වල ඇති විශ්ව විද්‍යාලවල ශාඛා ආරම්භ කර තිබේ.මේවායෙහි ලාංකීය සිසුන්ද විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි.මෙවැනි ක්‍රමයක් මගින් හෝ අධ්‍යාපනය ලැබීමේ වරම අප රටෙහි නැත.මෙවැනි ආයතන කිහිපයක් ලංකාවෙහි ඇතත් ඒවායින් බොහොමයක අධ්‍යාපනය ලැබිය හැකි වන්නේ සීමිත පාථමාලා කීපයක් සදහා පමනි.

දැන් ලංකාවෙහි ඇති තත්වය අනුව ආණ්ඩුව හට අධ්‍යාපනය වෙනුවෙන් වැය කල හැකි මුදල සීමා වෙමින් පවතී.එයට කල හැකි එකම පිලියම වන්නේ පුද්ගලික අංශය සදහාද අවස්ථාවක් ලබා දීම පමනි.නමුත් එම අවස්ථාව හිමි විය යුත්තේ "ජාවා කඩයකට" හෝ මැර දේශපාලඥයන්ට ආචාර්යය උපාධි පිරිනමන වි.වි. කට නොවිය යුතුය.

Saturday, March 14, 2009

"Dancing Star"



විභාගෙ ඉවරවෙච්ච සතුටත් එක්ක අද ගිහින් බලල ආව සිරසෙන් කරපු "Dancing Star" චිත්‍රපටිය.කාලෙකින් බලන්න ලැබිච්ච හොද සිංහල චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්.

කථාව මේකයි.ශිරෝෂි රොමේෂිකයි, දුෂ්මන්ත් වීරමනුයි තමයි ප්‍රධාන චරිත රග පාන්නෙ.මොවුන් ජීවත් වන්නෙ බේරෙ වැව අසල තියෙන "ලේක් වත්ත" නම් ප්‍රදේශයේ.දුෂ්මන්ත් විසින් පවත්වාගෙන යන "Street Dance" කණ්ඩායමේ කෙනෙක් තමයි ශිරෝෂි.ශිරෝෂිගෙ පියාට අයත් තැබෑරුමක්ද මේ වත්තේ පිහිටල තියෙනව.

දවසක් මොවුන් පාරේ තම නැටුම් ඉදිරිපත් කරන අතරතුර වැස්සක් පතිත වෙනව.ඒත් ශිරෝෂි දිගටම වැස්සේ නටනව.මෙය රවින්ද්‍ර රන්දෙනිය දකිනව.ඉන්පසු ඔහු ඇයට "Dancing Star" තරගයට ඉදිරිපත් වන්නැයි ඉල්ලනව.නමුත් මෙයට දුෂ්මන්ත් විරුද්ධ වෙනව.තරගයට ඉදිරිපත් වන නැටුම් කණ්ඩායමේ සිටින අනිත් අයගේ කෙනෙහිලිකම් මැද ඇය තරගයට ඉදිරිපත් වෙනව.මේ අතර දුෂ්මන්ත් හදිසි අනතුරකින් පාදයේ ආබාධයකට ලක් වෙනව.තරගයේ සිටින තවත් තරගකාරියකගේ පියෙක් විසින් දේශපාලඥයකු ලවා මෙම "ලේක් වත්ත" කඩා ඉවත් කරනව.මෙය සිරසේ "Braking News" තුලින් දකින ශිරෝෂි තරගය අතරමග නවතා දමා තම නිවාස පිහිටා තිබූ තැනට පැමිනෙනව.මෙහිදී ඇය තමන් ජීවත් වන ප්‍රදේශයට සිදු වී තිබෙන හානිය "Braking News" ඔස්සේ කියා සිටිනව.එතනට පැමිනෙන අනෙකුත් තරගකරුවන් "ලේක් වත්ත" යලි ගොඩ නැගීමට උදවු වනව.ඔය සිද්ධිය තමයි මේ චිත්‍රපටියෙ සිද්ධ වෙන්නෙ.චිත්‍රපටියෙන් කියවෙන දේ තමයි තමන් ඉන්න තැන ඉදිරියට යාමට බාධාවක් නොවන බවයි.

දැන් හැදෙන සිංහල චිත්‍රපටිත් එක්ක බලන කොට මේක ගොඩක් ඉදියෙන් තියෙනවයි කියල කියන්න පුලුවන්.සංගීතය, නැටුම් ජවනිකා යොදා ගෙන තියෙන ආකාරයත් ඉතාමත් හොද මට්ටමක තියෙනව.දුෂ්මන්ත් හා ශිරෝෂි නවක රංගන ශිල්පීන් වුනත් ඔවුන්ගේ රංගනයත් ඉතාමත් ඉහල මට්ටමක තියෙනව කියල කියන්න පුලුවන්.

වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් බලා ගන්න පුලුවන්.http://www.dancingstarmovie.com/

Tuesday, March 10, 2009

විභාගෙ අස්සේ.....

සතියකින් පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ.මොකුත් ලියන්න බැරි වුනේ මේ දවස් ටිකේ විභාග පැවැත්වෙන නිසා.අද තමයි විභාගෙ තියෙන අන්තිම දවස.පාඩම් කරන ගමන් කම්මැලි හිතුන නිසයි බ්ලොග් එකේ මොකුත් ලියන්න හිතුනෙ.

සෙනසුරාදයි, ඉරිදයි, අදයි දවස් තුනේම නිදා ගන්නෙ නැතුව පාඩම් කරපු එක තමා කලේ....:D තේ හැන්දක් විතර කෝපි දාලා කෝපි එකක් හදා ගත්තම හොදට ඇහිරිලා ඉන්න පුලුවන්.යන්තම් හරි නිදි මතක් ආවොත් සින්දුවක් අහනව.නැත්නම් skype හරි FaceBook හරි GoogleTalk වලට හරි log වෙලා කවුරු හරි එක්ක ටිකක් වෙලා chat කරනව.එතකොට කම්මැලි කමත් නිකන්ම නැති වෙලා යනව....:D

ඊයෙ මාතර, අකුරැස්සෙදි බෝම්බයෙන් තුවාල ලබපු අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.ඒ වගේම මිය ගිය අයගේ ඥාතීන්ටත් කනගාටුව පල කරනව.ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ.මේ වගේ හදිසි අනතුරකින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට රෝහලකට ගෙන ගියාම ඔවුන්ව ගිලන් රථයෙන් පිටතට ගැනීමටත් ඉස්සෙල්ල මාධ්යවේදියො පොර කනව රෝගීන්ගෙ පින්තූර ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට.මේකෙන් වෙන්නෙ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගත වන කාලය වැඩි වීම.මාධ්යවේදීන්ගෙ පැත්තෙන් ඔවුන් කරන දේ හරි වෙන්න පුලුවන්.නමුත් මේ වගේ වෙලාවකදි වෙන්න ඕනෙ හදිසි අනතුරට පත් වෙලා ඉන්න රෝගියාගෙ පින්තූර ගැනීම හෝ ඔහුව වීඩියෝ ගත කිරීම නෙවෙයි.ඉක්මන් ප්‍රතිකාර ලබා දීමයි.ඒත් ඉතින් අපේ රටේ මාධ්යවේදීන්ට ඔය වගේ දේවල් කියල දෙන්න ගියොත් කියයි මාධ්ය මර්ධනය කරන්න හදනව කියල....:)

හෙට අපේ ඉස්කෝලෙ Big Match එකත් පටන් ගන්නව."Battle of the Blues".130 වෙනි වරට මෙවර පවත්වන්නෙ.මේ පාර දවස් තුනේම මැච් එක බලන්න යන්නයි හිතාගෙන ඉන්නෙ.මගේ සහෝදරයත් අද කොඩි වගයක් මහ ගත්ත ගෙනි යන්න.ඉස්සර නම් මාත් ඔය වගේ ඒව කලා.ඒත් දැන් නම් ඕවට ආසාවක් නැහැ.මම ගියෙ රාජකීය විද්යාලයට.මල්ලියි, මමයි එකම පාසලක නොවන නිසා දෙපැත්තට වෙලයි බලන්නෙ....:D වැස්සෙන් බාධා නොවී, කුමන හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කරන්න ලැබෙන්නයි කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නෙ.ජය පරාජයෙන් තොරව අවසන් වෙනවට වඩා කුමන හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කරන එක හොදයි කියලයි මට හිතෙන්නෙ.

තව දෙයක් කියන්න ඕනෙ.මේ කාලෙට තමයි ගොඩක් පාසල් ලමුන් "මත්පැන් හා දුම් වැටි" ඉදුල් කට ගාන්නෙ.එදාට සිගරට් එකක් යාලුවො කියන නිසා බොන කෙනා අන්තිමට ජීවිත කාලෙටම ඒකට ඇබ්බැහි වෙනව.බියර් ටිකක් බොන කෙනා අන්තිමට බේබද්දෙක් වෙලා නවතින්නෙ.හැබැයි මේ කියන දේ හැමෝටම අදාල වෙන්නෙ නැහැ.නමුත් මාත් එක්ක එකට ඉගෙන ගත්තු අයගෙන් ගොඩක් අය මත්පැන් වලට හා දුම් පානයට පුරුදු වුනේ big match එක නිසා කියල නම් කියන්න පුලුවන්.

දැන් ඉතින් ආපහු ගිහින් පාඩම් කරන්න ඕනෙ.රාජකීය විද්යාලයට මෙවර ජය ගැනීමට ලැබේවායි පතමින් අද සටහන නිමා කරන්ව.