Wednesday, February 4, 2009

61 වන නිදහස් දිනය



අද දින 61 වන නිදහස් දිනය අභිමානවත් ආකාරයෙන් ගාලු මුවදොර පිටිය අභියසදී පැවැත්වුනා.නමුත් මීට වසර දෙකකට ඉහතදී මම නිදහස් දිනය සැමරුවේ බංග්ලාදේශයේ Chittagong නගරයේ සිටයි.ඒ අතීත මතක සටහනක් තබන්න ඕන කියල මට හිතුන.

එදින නිදහස් දිනය අප සැමරුවේ 500ක් පමණ වන ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හා අනෙකුත් ශ්‍රී ලාංකිකයගේ සහභාගීත්වයෙන්.එමෙන්ම එදින අප රටේ ඉගෙනුම ලැබූ බංග්ලාදේශ ජාතික ස්වාමීන්වහන්සේලා කිහිප නමක් ද වැඩම කොට සිටියා.

එදින අප හට රසවත් ලාංකික කෑම වේලක රස බැලීමටද ලැබුන.බංග්ලාදේශයේ පොල් කිරි භාවිතා කිරීම නොකරන නිසා එදින අපට ලැබුන දහවල් කෑම වේල නම් කවදාවත් අමතක වන්නේ නැහැ.ඒ ලාංකික කෑම වේලක රස බැලීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසා.

එදින ජාතික සමගිය දක්නට ලැබුන හොදම දවසක් කියලත් කියන්නත් පුලුවන්.උතුරු, නැගෙනහිර ප්‍රදේශ වලින් පැමිණි දෙමළ හා මුස්ලිම් ජාතික වෛද්‍ය සිසුනුත් සමග කාලය ගත කිරීමට ලැබුන.ඔවුන් එදා ජාති බේද අමතක කර එකා වන්ව නිදහස් දිනය සැමරුව.

අප ලංකාවේ ඉන්න කොට හිතෙන්නේ වෙනත් රටක ජීවත් වන්න ලැබුනනම් හොදයි කියල.නමුත් අප වෙනත් රටක ජීවත් වෙනකොට හිතෙන්නෙ ලංකාව කියන්නෙ ජීවත් වෙන්න හොදම රට කියල.අනිත් රටවල වගේ අපේ රටේ අධික ශීත කාලවත්, උෂ්ණත්වය අධික කාලයක්වත් නැහැ.එමෙන්ම ස්වභාවික විපත් ද අවම රටක්.සිවිල් යුද්ධයක් නැත්නම් අපේ රට මීටත් වඩා දියුණුවට පත් වෙලා ඉවරයි.

ඒ වගේම තව දෙයක් කියන්න ඕන.Facebook වෙබ් අඩවියේ තියෙනව අලුත් group එකක් "Burn Sri Lanka Flag Feb.4..." නමින්.මම දන්නෙ නැහැ මෙවැනි දේවලට විරුද්ධව කල හැකි නීතිමය ක්‍රියාමාර්ගයක් තියෙනවද කියල.ත්‍රස්තවාදීන් යුධමය වශයෙන් පරාජය කරමින් පැවතුනත් තවමත් ඔවුන්ගේ ප්‍රකාෂණ ජාලය හොදින් ක්‍රියාත්මක වන බවයි මට නම් මෙයින් හැගී යන්නෙ.එමෙන්ම YouTube වෙබ් අඩවියේත් ත්‍රස්තවාදීන් විසින් එක් කල video තවමත් තිබෙනව.මෙවැනි දේවල් වැලැක්වීමට රජය යම් ක්‍රියාමාර්ගයක් ගනීවි යයි බලාපොරොත්තු වෙනව.එසේ නොකලහොත් යුද්ධය ජයග්‍රහණය කලත් ත්‍රස්තවාදී ක්‍රියා මතු යම් දිනෙක නැවතත් මතු විය හැකියි.

61 වන නිදහස් දිනය සැමරූ මේ වසරේදීම අප රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන අප රට තුල සාමය, සමගිය ඇති වෙවායි පතමින් මේ සටහන නිමා කරනව.

4 comments:

  1. චරිත් මහත්මයා කොයි රටේ ඉඳන් බැලුවත් අපේ රටේ නිදහස් උත්සවය නරඹන එක හරිම සතුටක් ගෙන දෙන දෙයක්. 1948 පෙබරවාරි 4 මට යාන්තම් මතකයි. 1957 නිදහස් උත්සවයට මම ආනන්ද විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය භටයෙක් හැටියට සහභාගි වුනා. ඒ කාලෙ ලංකාව හරිම සාමකාමී රටක්. යුද හමුදාව අද වගේ විශාල නැහැ. බණ්ඩාරනායක අගමැති තුමා සහ චීනයේ අගමැති තුමා (අමුත්තෙක් හැටියට ) ආචාරය පිලිගත්තා. ඉස්කෝලෙ ඉන්න කල් නිදහස් උත්සවය බැලුවා. ඊට පස්සෙ බැරි වුනා. (අපට රූපවාහිනී තිබුනෙ නැහැ නේ!) ගිය අවුරුද්දෙ නම් මම youtube එකෙ ඔක්කොම බැලුවා. 2004 දි මම ලංකාවෙ. TV එකේ බැලුවා. හෙට අනිද්දා වෙන කොට ‍you tube එකට වැටෙයි. එතකොට බලනවා.

    ReplyDelete
  2. > සිවිල් යුද්ධයක්...

    ඒ කියන්නේ ලංකාවෙ මහජනයා අතර ගැටුම් ඇති වෙනවද ? ඒකියන්නේ සිංහල මිනිහෙක්ව දැක්කම දෙමළ මිනිස්සුන්ටයි, දෙමළ මිනිහෙක් දැක්කම සිංහල මිනිස්සුන්ටයි එයාව මරන්න හිතෙනව ද ?

    මම හිතුවෙ ලංකාවෙ තියෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් මර්දනය කරන්න රජයෙන් ගෙනයන මෙහෙයුමක් කියලා.

    වචන වල තේරුම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුනොත් කොහොම ද ?

    ReplyDelete
  3. අපේ රටේ තියෙන්නේ ත්‍රස්තවාදයකි...

    ReplyDelete
  4. ත්‍රස්තවාදයක් වුණත් සිවිල් යුද්ධයක් වුණත් ඒක මහ පරිමාණයේ එකක් වුණත් මැරෙන්නෙ ඇට ලේ මස් තියන අපි අපිම නේද? මේකට දේශපාලන අර්ථකථන දෙන්නෙ නැතුව මානුශීය රාමුවක් ඇතුලෙ ඉඳලා දෙන විසඳුමකට හැමෝම සහය දක්වන්න ඕනි.මං හිතන්නෙ දැං අපි හරි පාරෙ යනවා කියලා.

    ReplyDelete