Thursday, February 26, 2009

සක්විති, දඩුවම්, කොතලාවල......ඉන්පසු සක්කරයගෙ පුතා වයිමාද?

අද හවස ප්‍රවෘත්ති වලින් දැන ගන්න ලැබුන සෙලින්කෝ සමූහ වි‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහත්මයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහාධිකරණයෙන් නියෝගයක් ලැබුන කියල.ඒ "Golden Key" ක්‍රෙඩිට් කාඩ් වංචාව සම්බන්ධයෙන්.

ලංකාවේ කාලයෙන් කාලයට එක එක නම් වලින් පෙනී සිටින හොරුන් බිහිවේ.සක්විති නම් හොරා ආ ගිය අතක් නැත.ඔහු ලග මුදල් තැන්පත් කල පුද්ගලයන් සමහර විට ගේ දොර අහිමි වී මහ මගට වැටී සිගමන් යදිනවා විය හැකිය.එක්තරා දෑස් අන්ධ පුද්ගලයෙක් සක්විති ලග මුදල් තැන්පත් කර ඇත්තේ ඔහුගේ නිවස හා ඉඩම උගස් කොටය.ඔහුට ලැබෙන පොලී මුදලින් ඔහුගේ දරුවා ජාත්‍යන්තර පාසලකට යවා අධ්‍යාපනය ලබා දී ඇත.නමුත් දැන් ඔහුට නිවසත්, ඉඩමත්, දරුවාගේ අධ්යාපනයත් නැති වී මහ මග සිගමන් යදිනවා විය හැක.

සක්විති බස්නාහිර පලාතින් බිහි වන විට දකුණු පලාතින් දඩුවම් මුදලාලි බිහි විය.ඔහු මුදල් භාර ගත්තේ තම ගම් පලාතේම අහිංසක මිනිසුන්ගෙනි.පසුව මොහුගේ "දඩුවම්" යන නම භාවිතා කරමින් "දැඩි දඩුවම්", "මරණ දඩුවම්" ආදී නම් වලින් පෙනී සිටින තවත් හොර මූල්‍ය ආයතන බිහි විය.දඩුවම් මුදලාලි "රිවිර" පුවත් පතෙහි පල වූ ලිපියකට කල ප්‍රකාශයකට අනුව ඔහු මෙසේ ලබා ගත් මුදල් ආයෝජනය කර ඇත්තේ කොටස් වෙලද පොලොහි හා වෙනත් වියාපාර කටයුතු සදහාය.නමුත් අන්තිමට ඔහු අතුරුදහන් වූ පසු, ඔහු විසූ සුවිසල් මාලිගාව ගම්මුන් විසින්ම කඩා විනාශ කර දමන ලදී.නමුත් ඔවුන් විසින් දඩුවම් මුදලාලි හට භාර දුන් මුදල් නම් ආපසු ලැබුනේ නැත.

සක්විති ලබා ගත් මුදල් වලින් ලංකාවෙහි සිටින විට කර ඇත්තේ රාත්‍රී සමාජ ශාලාවලට ගොස් කැසිනෝ ගැසීමය.නැත්නම් සුරූපී තරුණියන්ගේ පහස ලබා ගැනීමය.අහිංසක දුප්පත් මිනිසුන් මෙන්ම වංචාවෙන්, දූෂණයෙන් මුදල් උපයා ගත් දේශපාලුවන්ගේ සිට රාජ්ය සේවකයා දක්වා වූ සියල්ලන් ඔහු ලග මුදල් තැන්පත් කලේ ඔහු ලබා දුන් අධික පොලී මුදල නිසාය.එමෙන්ම මොහු ඉංග්‍රීසි උපකාරක ගුරුවරයෙකු ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිට ලබා ගත් ප්‍රතිරූපයද මෙම වංචාව කර ගෙන යාමට මොහුට උපකාරී විය.නමුත් මොහුගේ මවට සැලකීමට මොහු ලග මුදල් තිබී නැත.අදටත් ඇය කුඩා නිවසක තනිව දිවි ගෙවයි.(මේ ගැන විස්තරයක් "රිවිර" පුවත් පතෙහි පල විය.)

"ඔකද ෆිනෑන්ස්" නමින් තවත් මෙවැනි හොර මූල්‍ය ආයතනයක් පවතී.ඔවුන් ලක්ෂයකට රුපියල් විසිපන්දහසක් දෙන බව කියමින් රූපවාහිනියේ හා පුවත් පත් වල දැන්වීම් පල කරයි.එමෙන්ම තේක්ක වගාවකට මුදල් ආයෝජනය කිරීමක් ගැනද දැන්වීම් පල කරයි.තමන්ගේ නිවසෙහි මිරිස් පැලයක් පැල කිරීමට කාලය නැතැයි කියන්නන් ඔවුන් ලග තේක්ක සිටවීමට මුදල් ආයෝජනය කරති.නමුත් මොවුන් ලග මුදල් තැන්පත් කරන්නන් කෙදිනක වත් තමන්ට අයත් තේක්ක පැලයක් තිබේ දැයි කියාවත් සොයා නොබලති.

දැන් කරලියට විත් සිටින්නේ ලලිත් කොතලාවල මහතාය.බැංකු, ෆිනෑන්ස්, රක්ෂණ, අධ්‍යාපන, රෝහල් ආදී බොහෝ ක්ෂේත්‍රවලට විහිදී ගිය වියාපාර ගනනාවක් මොහු සතුය.නමුත් තමන්ගේ ජීවිතයේ සැදෑ සමයෙහිදී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදු වී ඇත.යන්තම් "සේලාං බැංකුව", "ලංකා බැංකුවට" පවරා ගැනීම නිසා තැන්පතු කරුවන්ගේ මුදල් ආරක්ෂා වී ඇත.මූල්‍ය වංචාව නිසා අහිමි වූ මුදල් තැන්පත් කරුවන්හට තමාගේ සියලු දේපල විකුනා නැවත ලබා දෙන බව කීවත් තවමත් එම මුදල් ලබා දී නැත.එසේ ලබා දේ යැයි විශ්වාස කලද නොහැක.මන්ද ඔහු විශාල ලෙස මුදල් ගෙවා නීතීඥ සහාය ලබා ගෙන මෙම නඩුවෙන් නිදහස් විය හැකි බැවිනි.එසේ වුවහොත් මොහුද සක්විති කලාක් මෙන් ගණුදෙනු කරුවන් අතරමන් කොට රටෙන් පැන ගනු ඇත.තමන්ගෙන් පසු ඔහුට අයත් මෙම විශාල වි‍යාපාර සමූහය පවරා දීමට දරුවන්ද නොමැති නිසා, කොතලාවල මහතා දැන් කල යුතු හොදම දෙය නම් ඔහුට අයත් වියාපාර විකුණා දමා හෝ මෙම මුදල් ආපසු තැන්පත් කරුවන් හට ලබාදීමය.

කොතරම් මෙවැනි හොරකම් සිදු වූවත් තවත් වසර කිහිපයකින් තවත් හොරෙකු බිහි වනු ඇත.මහ බැංකුවේ ලියාපදිංචි වී තිබූ ප්‍රමුඛ බැංකුව වසා දැමුනි.එමෙන්ම සක්විති, දඩුවම් මුදලාලි වැනි හොර මූලය ආයතන තවත් ලංකාවෙහි තිබිය හැක.ඉදිරියටත් බිහි වනුද ඇත.සක්විතිගේ පුතා "වයිමා" නමින් ද මූලය ආයතන බිහි වූ වත් පුදුම විය යුතු නැත.මිනිසුන්ද මොවුන්ගේ වෙළද ප්‍රචාරන වලට රැවටී තව තවත් මුදල් තැන්පත් කරනු ඇත.නමුත් මොවුන් මුදලුත් සමග රටින් පැන ගත් පසු මුදල් නැවත ඉල්ලීමට සිදු වන්නේ කාගෙන්ද?

12 comments:

  1. මේ නිකම්ම නිකම් ලලිත් කොතලාවල නොවෙයි."දේශමාන්‍ය" ලලිත් කොතලාවල.මහා ප්රතිරූප විදිහට පෙනී සිටින බහුතරයක් මූල්‍ය ධනපතීන් වූ කලී හොරුන් සහ ගසාකන්නන් කියන එක අමුතු දෙයක් නෙමෙයි.ඒක තමයි ඇත්ත.නමුත් ප්රශ්නය මොවුන්ට දේශමාන්‍ය පට්ටම් දෙමින් ඔවුන්ගේ අනුග්රහය ලබන්නේ කවුද?පාතාලයේ පාදඩයන්ව රට යවන්න වැර දරපු බුකී හිමියන්ට නාම යෝජනා දෙන්නෙ කවුද?
    මොවුන්ව පමනක් නොවෙයි මොවුන්ට පහසුකම් සපයමින් ඒ මත යැපෙන දේශපාලන අධිකාරියත් දඩුවම් ලැබිය යුතුයි

    ReplyDelete
  2. අර තේක්ක වගාවට නම් මේ මම දන්න කෙනෙකුත් අහුවෙලා තියෙනවා. ;)

    ඔක්කෝටම එකම තේක්ක වගාව පෙන්නලා සල්ලි අරන් තියෙන්නේ. මිනිහත් දැන් එවුවා අමතක කරලා ඉන්නේ... :D

    ReplyDelete
  3. හොඳ මාතෘකාවක්, ඔහේ වල් පල් කතා කරන ඇත්තන් අතරේ මේ වැන්නක් කතා කිරිම වටිනා කටයුත්තකි. රාම චන්ද්‍ර කියන කතාවත් ඇත්තකි.

    ReplyDelete
  4. දේශමාන්‍ය නාමය ගැන කිව්වාම මතක් වුණේ... ඩී. කේ. උදයසිරි තවත් එක්කෙනෙක්. කාට හරි මතකද මිනිහගෙ මූල්‍ය ආයතනය තහනම් කළාම පත්තර පිටු බාගයක් පුරවල දාපු දැන්වීම. මහා උද්ධච්ච කතාවක් කියල තිබුණ. ව්‍යාපාරය නවත්තන්නෙ ඒක තහනම් වුණු නිසා නෙමෙයිලු එහෙම නවත්තන්න එයාට හිතුණු නිසාලු. හරියටම මතක නෑ... කාට හරි මතක නම් කියන්න. :)

    ReplyDelete
  5. ඔය කියන්නේ අපේ මින්දදය ගැනනේ. සේරම ඒකයි හැබැයි හෙට එකක් දැම්මත් ආයි මිනිස්සු අහු වෙනවා

    ReplyDelete
  6. කොතලාවල කියන්නේ හුඟක් පරණ ව්‍යාපාරිකයෙක්. මේ සටහනේ තියෙනවා වගේම විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පුරා ගිය ව්‍යාපාරයක්. මට නම් හිතාගන්න බැරි Credit Card සමාගමක් කොහොමද මේ තත්වෙට වැටුණෙ කියන එක. තමුන්ගේ සියළු දේපල විකුණලා හරි සල්ලි දෙනවා කිව්වට මේ හැම එකක්ම වෙන වෙනම සමාගම් හැටියට තියෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාර හැටියට නෙවෙයි. මට බනින්න එපා සුදු හුණු ගානවා කියලා. පුළුවන්නම් සමාගම් පනත හොයාගෙන බලන්න. කොහොමත් ලංකාවේ ඕනැම නීතියක රිංගන්න තැනක් තියෙනවානේ.

    ReplyDelete
  7. සියලු සමාගම් වල ඔහුට අයත් කොටස් විකිණීමට සිදුවේවි.

    ReplyDelete
  8. මට හිතෙන්න මේකත් ලෝක ආර්ථික අර්බුධයේ තවත් එක් ප්‍රතිපලයක්....
    ලෝකයේ අතිවිශාල බැංකු මුල්‍යසමාගම් කඩා වැටෙද්දී ලංකාව වගේ රටටක එය අපට දක්කනට ලැබෙන්නෙ මෙවැනි තත්වයන් ලෙස.කවුරු කිව්වත් කොතලාවලගේ මුල්‍ය සමාගම ලංකාවේ තිබුනු ප්‍රධාන මුල්‍ය සමාගම් වලින් එකක්..
    සමහර විට ඉදිරියේදී තවත් ඒවා කඩා වැටෙන්න පුළුවන්.එහෙම වුනොත් අපි නොදනීම ලොකු අර්බුදයකට මුහුණ දෙනවා..මෙවට හිනා වෙන්නෙ නැතුව පව්පින් කතා කියන්නෙ නැතිව ටිකක් හොයලා බැලුවොත් හොදයි යතාර්ථය..

    ReplyDelete
  9. නිකං ඉදන් සල්ලි හොයන්න බෑ කියලා මිනිස්සු ටිකක් මොලේ පාවිච්චි කරලා හිතුවා නම් ඔය කිසි ගැටළුවක් නෑ

    ReplyDelete
  10. මේක ලලිත් කොතලාවලගේ වැඩක් නෙවී නේද? අධ්‍යක්ෂ කෙනෙක්ගේ වැඩක් නේද? මහබැංකුව කියනවා දේපල විකුණලා සල්ලි දෙන්න ගත්තොත් මුළු ආර්ථිකයම බිඳ වැටෙනවා කියලා. මොකද එතකොට හැමොම සල්ලි ගන්න පටන් ගත්තම සංචිත බිඳ වැටෙනවා. ඒක නිසා තමයි කලින්ම ලංකා බැංකුව යටතට සෙලාන් පැටෙව්වේ.

    ReplyDelete
  11. @ Ramachandra - ඔක්කොම දේශමාන්යල, දේශමාමකල හොරු තමයි.සල්ලි ටිකක් විසි කලාම දේශමාන්ය පට්ටමක් හරි ආචාර්ය කමක් හරි අරගෙන කරන හොර වැඩ ඔක්කොම වහ ගන්නව.

    @ ගයන්ත - ඔච්චර තේක්ක වලට මිනිස්සු ආස නම් තමන්ම තේක්ක පැලයක් හිටව ගත්ත නම් ඉවරනෙ.එතකොට සල්ලිත් ඉතුරුයි, ගහත් ඉතුරුයි.

    @ බින්කු - මේ වගේ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන අයට දෙන්න ඕන රජ කාලෙ දඩුවම්.

    @ ශාකුන්තල - ඩී. කේ. උදයසිරි පත්තරවල දැන්වීම් දැම්මෙ තමන් නලුවෙකු බවත් සදහන් කරමින්.මිනිහ කරපු වැඩෙන් නම් මිනිහට හොදට රග පාන්න පුලුවන් බව පෙනුන.

    ම - මිනිහ සෙට් කරපු මගුල් වලට මොකක් වුනාද දන්නෑ.....:P

    හෙට තවත් හොර මූල්ය ආයතනයක් පටන් ගත්තත් අපේ මිනිස්සු ආපහු ගිහින් ඕවයෙ මුදල් තැන්පත් කරනව.එච්චරටම අපේ මිනිස්සු මෝඩයි.

    @ චරිත - අපේ රටේ නීති හදල තියෙන්නෙ තෝරු, මෝරු වගේ ලොකු මාලුන්ට රින්ගල යන්නයි හාල්මැස්සො, සාලයො වගේ පොඩි මාලුවො අහු වෙන්නයිනෙ.ඒ නිසා මොන වැරැද්ද කලත් ලොකු මිනිස්සු නිදහස් වෙනව.හිරේ ගියොත් බොරුවට අසනීප වෙලා රෝහල් ගත වෙනව.ඕකනෙ අපේ රටේ හැටි.

    @ ඩනිෂ්ක - එහෙමවත් කරල ඔය සල්ලි ටික දුන්නොත් ලොකු දෙයක්.

    @ malee - අපේ මිනිස්සුන්ගෙ තියෙන කම්මැලි කමයි, සල්ලි වලට තියෙන තණ්හාවයි, මෝඩ කමයි නිසානෙ ඔහොම වෙන්නෙ.ඒ වගේම අපේ රටේ මිනිස්සු රෑ වැටුනු වලේ දවල් වැටෙන්නත් බය නැහැනෙ...:D

    @ අමල් - මේකට ලලිත් කොතලාවලත් වග කියන්න ඕනනෙ.එයානෙ ඔය ඔක්කොම සමාගම් වල සභාපති.සියලු සමාගම් විකුනුවොත් ආර්ථිකය බිද වැටෙන්න පුලුවන් බව ඇත්ත.ඒ වගේම තමා දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි ආපහු නොදුන්නොත් ඒ මිනිස්සු වැටෙන්නෙ පාරට.

    @ Anonymous - සක්විති, දඩුවම් කරපු දේවල් වලින් වුනේ එක පාරම අපේ රටේ තිබිච්ච මූල්ය සංචිත රටෙන් එක් වරම ඉවත් වී යාමයි.එතකොට එක පාරම මූල්ය අර්බුධයක් ඇති වෙන්න පුලුවන්.ඒකට ලෝක ආර්ථික අර්බුධයම හේතුව කියල කියන්න බැහැ.

    ReplyDelete
  12. ආ.... ඩීකේ උදයසිරි‍ට මේ ලගදි පිහියෙන් ඇනලලු. මිනිහ පොලිසියට ගියහම පොලිසියෙ අයත් ගනන්වත් අරන් නෑ. දැන් මෑන්ගෙ කුරුණෑගල කාර්යාලය තිබ්බ තැනක්වත් නෑ.

    ආ.... තව එකක්, මේකෙන් අපිට ඉගනගන්න දෙයක් තියනව පොඩි මිනිහෙක් රු 10/- හොරකම් කලත් ‍කූඩුවෙ. ඒත් ලක්ෂ, මිලියන ගනනින් හොරකම් කලාම නියමෙට ඉන්නව. කූඩුවට දානව කියල කියනව විතරයි. ඉතින් ආයෙ හොරකම් කරද්දි ලක්ෂ ගනින් හොරකම් කරන්න පුරුදුවෙන්න ඕනි

    ReplyDelete