Sunday, April 12, 2009

පරණ අවුරුද්දේ අන්තිම සටහන.....

හෙට අලුත් අවුරුද්දකුත් පටන් ගන්නව.ඒත් මට නම් අලුත් අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නෙ ගෙදරට වෙලා තනියම.අනිත් හැමෝම විදේශ සංචාරයකට ගිහිල්ල.මට මේ පාර යන්න බැරි වුනා.හේතු දෙකක් නිසා.එකක් විභාගය.අනික ගෙදර ඇති කරන සත්තුන්ව බලා ගන්න කෙනෙක් ඉන්න ඕන එක.

මොනව වුනත් තනියෙන් ගෙදරට වෙලා උයා ගෙන කන කොටත් පොඩි ගතියක් තියෙනව.මට ඕන විදිහට උයාගන්නත් පුලුවන්නෙ.මට ඉතින් කැවුම් හදන්න බැරි නිසා කීල්ස් එකෙන් තමා ගන්න වුනේ.හැබැයි ගෙදර හදන ඒව තරම්ම නම් රසයක් නැහැ.හෙට කිරිබත් ටිකකුත් හදන්නයි හිතා ගෙන ඉන්නෙ.ඒ නිසා අද උදේ කිරිබත් ටිකක් හදල පුරුදු වුනා.

අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර ආදිය නම් කෙරෙන්නෙ නැහැ.ඒකට හේතුව නැකැත් ආදිය විශ්වාස නොකිරීමත්, ආගමික පරිසරයත්.ඒත් හැම අවුරුද්දෙම කැවුම්, කොකිස්,කිරිබත් නම් අනිවාර්යයෙන්ම හදනව.ඒත් මේ අවුරුද්දෙ නම් කිරිබත් විතරයි හදන්න වෙන්නෙ.

අද දවල් මහාචාර්යය නලින් ද සිල්වා සමග "දෙරණ" රූපවාහිනී සේවය පැවැත්වූ සාකාච්ඡාවකුත් බලන්න ලැබුන.(නැවත විකාශය කරපු වැඩසහනක්.)එතුමාගේ චිංතනය අනුව ඔහු ජාතික ඇදුමෙන් සැරසිලා ආවෙ.වැදගත් දෙයක් නම් කිව්වෙ නැහැ.ඔහුට අනුව ඔහු විතරයි ලංකාවෙ නිවැරදිම චිංතනයක් සහිත පුද්ගලයා.හැබැයි කියපු සමහර කථා අහගෙන ඉන්න කොට නම් හිතෙන්නෙ මොහු මහාචාර්යයවරයෙක් වුනත් කොච්චර පටු විදිහට හිතන මානසිකත්වයක්ද මොහුට තියෙන්නෙ කියල.

තෙල් ප්‍රවාහනය කරන දුම්රියක් ගල්ගමුව හා තඹුත්තේගම අතරදි අනතුරකට පත් වෙලා තියෙනව ප්‍රවෘත්ති වලින් දැක්ක.ඒ පැත්තෙ මිනිස්සුන්ට නම් මේ පාර ජයට අවුරුදු කන්න පුලුවන් වෙයි.ප්‍රවෘත්ති වලින් දැක්ක විදිහට ඒ පැත්තෙ මිනිස්සු ඇවිත් නොමිලේම ඩීසල් හා පෙට්‍රල් අරන් යනව.දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඒ ප්‍රදේශවල ජනතාවට ලබා දීපු සහනාධාරයක් වෙන්න ඇති මේ අනතුර.නැත්නම් මිනිස්සු ඇවිල්ල තෙල් ටික අරන් යනකම් නිකන් බලන් ඉන්න එකක් නෑනෙ.

හැම පාරම වගේ ලබන්නා වූ අලුත් අවුරුද්දෙත් කරන්න දේවල් ගොඩක් හිතා ගෙන ඉන්නව.සිංහල බ්ලොග් ලියන එක අයිය කෙනෙක් හම්බවුනාම කිව්වෙ මම හැමතිස්සෙම ගෑනි මැරිච්ච මිනිහෙක් වගෙයි හැම තිස්සෙම ඉන්නෙ කියල.එහෙම ඉන්න ඉතින් හේතුවකුත් තියෙනවනෙ.ඔන්න අලුත් අවුරුද්දෙ ඉදල එයාවත් අමාරුවෙන් හරි සදහටම හිතින් අමතක කරල දාන්න හිතා ගත්ත.තව ඉතින් පොඩි පොඩි බලාපොරොත්තු තියෙනව.ඒවටත් ලොකුම බාධාව වෙලා තිබ්බෙ අර කියපු හේතුව.දැන් ඉතින් ඒ ප්‍රශ්නෙනුත් ගැලවුන නිසා හිත සම්පූර්නයෙන්ම නිදහස්.

ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, ආදායම් වැඩි, වියදම් අඩු, අපේ රටට සාමය උදාවන නව වසරක්ම වේවා!!!!!!

3 comments:

  1. තනියම ඉන්න එක මරු වැඩේ. මටනම් කලාතුරකින් ඔය වගේ චාන්ස් එකක් හම්බ වෙන්නේ . හැබැයි ඉතින් එදාට පාටි තමා. ගේ දෙක කරනවා.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  2. @ ම - ඔබටත් සුභ නව වසරක් වේවා!!!!!

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා චරිත් !

    හෆ්ෆට හුඩු.. ගෙදර කවුරුත් නෑහෑ ! විනාසයී

    නිවාඩුව ඉවරවෙද්දි ඈග කෙට්ටුවෙලා තියෙවි නේද ?

    ReplyDelete