Tuesday, September 1, 2009

කලකට පස්සෙ.....

මේ දවස්වල හරියට වැඩ.බ්ලොග් එකවත් ලියන්න වෙලාවක් නැහැ.ඒත් කොච්චර වැඩ තිබුනත් කාලය නාස්ති කරන එකෙත් ඉවරයක් නැහැ.

පහුගිය දවස්වල කලේ මෙන්න මේ දේවලුයි.අලුත් laptop එකක් ගත්ත.Acer Extensa 5630 එකක්.ගත්ත දවසෙම ගෙනත් දැම්ම Fedora 11.ඒත් පස්සෙ Windows Vistaත් දාගන්න සිද්ධ වුනා.මොකද අනිත් එවුන්ට තාමත් වෙනස් වෙන්න අමාරු නිසා.ඒත් laptop එක අරගෙන කෝච්චියෙ දවස ගානෙ ගෙනියන එක නම් එපා වෙලා තියෙන්නෙ.

අගෝස්තු හතර වෙනිද ඉදල හය වෙනිද වෙනකම් විභාගෙ තිබුන.හැමදාම ගියෙ මිනිත්තු 10ක් විතර පරක්කු වෙලා.පරක්කු වෙලා ගිය එකේ ප්‍රතිඵල ලබන සදුදට බලා ගන්න පුලුවන්.

විභාගෙ තිබ්බ දවසකමනෙ වාස්ගෙ පුතා නිපුනට ගැහුවෙත්.දැන් නම් ගුටි කාපු එකයි, ගහපු එකයි දෙන්නම ඉන්නෙ ඉස්පිරිතාලෙ නැවතිල.ආරංචි විදිහට දෙන්නවම තොරතුරු තාක්ෂණ ආයතනයෙන් අයින් කරල.මම නම් හිතුවෙ ඔය සිද්ධිය නිසා විභාගෙ කල් යයි කියල.ඒත් ඉතින් මගෙ කරුමෙට එහෙම දෙයක් වුනෙත් නැහැ.තව දවසක නිපුනට ගහපු එකට විරෝධය පාන්න බෝඩ් ටිකක් උස්සගෙන මාලබේ කට්ටිය පාරෙ හිටගෙනත් හිටියලු.තව මාලබේ හරියෙ පෝස්ටර් එහෙමත් අලවල තිබ්බ.ඒත් ඕව කලා කියල වැරදිකාරයින්ට දඩුවම් ලැබෙනවයැ.කාලෙ නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.හැබැයි මේකෙන් පත්තවලටයි, රූපවාහිනී නාලිකා වලටයි දාන්න හොද ප්‍රවෘත්ති ටිකක් හම්බ වුනා.ඒකනෙ දැන් ස්වර්ණවාහිනියෙත් "මාලබේ නඩුව" කියල ප්‍රවෘත්ති වලට දාන්නෙ.සමහර බ්ලොග් වල ලියල තිබුනනෙ නිපුනට ගහපු එක ගැන තොරතුරු තාක්ෂණ ආයතනයෙ ඉගෙන ගන්න අය ලියල තිබ්බෙ නැහැ කියල.ඔන්න අද මම දන්න ටික බ්ලොග් එකේ ලිව්ව.

අපිට මේ සමාසිකයෙ තියෙනව ව්‍යාපෘතියක් කරල බාර දෙන්න.(Information Technology Project)එක කණ්ඩායමකට දහ දෙනෙක් ඉන්නව.මම ඉන්න කණ්ඩායමේ 8ක් දෙමල.එකෙක් මුස්ලිම්.ඔක්කොම අය කථා කරන්නෙ දෙමලෙන්.මට දෙමල බැරි නිසා මම මුකුත් නොකර ඉන්න එකයි කරන්නෙ.අපේ අනුග්‍රාහකය එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කියවනම් client වෙන්නෙ කොලඹ තියෙන ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසලක්.මම කොන්ඩෙ ටිකක් දිගට වවල ඉන්න නිසා මට නම් ඔය ජාත්‍යන්තරයි කියල කියන පාසලට එන්න දෙන්නෙ නෑ.ඒත් ඕකෙ ඉගෙන ගන්න කොල්ලො, කෙල්ලො නම් කරන්නෙම international වැඩ විතරයි.ලංකාවෙ ඉගෙන ගත්තට තමන්ගෙ මවු භාෂාවවත් හරියට කථා කර ගන්න බැහැ.ඔය කොලඹ හතේ තියෙන පාසලේ අරමුණත් තමන් ඉපදිච්ච රටට, සංස්කෘතියට, භාෂාවට අගෞරව කරන පිරිසක් බිහි කරන එකම වෙන්න ඇති.

මේ සතියෙ දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා අපේ ගෙදර කට්ටිය කතරගම යන්න ලෑස්ති වෙනව.මට නම් යන්න වෙන්න නැහැ.ගෙදර බලා ගන්න කෙනෙක් නැති නිසා මට මුර කාරයගෙ රස්සාව කරන්න වෙලා තියෙනව.ඒ වගේම ගෙදර හුරතලේට ඇති කරන සතාට කන්න දෙන්නත් කෙනෙක් ඉන්න ඕනෙනෙ.

ඔන්න ඔච්චරයි අද ලියන්න ඉතුරු වෙලා තියෙන්නෙ.ඊලග මාසෙ ඉදලවත් සතියට එක දවසක්වත් බ්ලොග් එක ලියන්න ඕනෙ.ගිහින් එන්නම්.

No comments:

Post a Comment