Thursday, February 26, 2009

සක්විති, දඩුවම්, කොතලාවල......ඉන්පසු සක්කරයගෙ පුතා වයිමාද?

අද හවස ප්‍රවෘත්ති වලින් දැන ගන්න ලැබුන සෙලින්කෝ සමූහ වි‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහත්මයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහාධිකරණයෙන් නියෝගයක් ලැබුන කියල.ඒ "Golden Key" ක්‍රෙඩිට් කාඩ් වංචාව සම්බන්ධයෙන්.

ලංකාවේ කාලයෙන් කාලයට එක එක නම් වලින් පෙනී සිටින හොරුන් බිහිවේ.සක්විති නම් හොරා ආ ගිය අතක් නැත.ඔහු ලග මුදල් තැන්පත් කල පුද්ගලයන් සමහර විට ගේ දොර අහිමි වී මහ මගට වැටී සිගමන් යදිනවා විය හැකිය.එක්තරා දෑස් අන්ධ පුද්ගලයෙක් සක්විති ලග මුදල් තැන්පත් කර ඇත්තේ ඔහුගේ නිවස හා ඉඩම උගස් කොටය.ඔහුට ලැබෙන පොලී මුදලින් ඔහුගේ දරුවා ජාත්‍යන්තර පාසලකට යවා අධ්‍යාපනය ලබා දී ඇත.නමුත් දැන් ඔහුට නිවසත්, ඉඩමත්, දරුවාගේ අධ්යාපනයත් නැති වී මහ මග සිගමන් යදිනවා විය හැක.

සක්විති බස්නාහිර පලාතින් බිහි වන විට දකුණු පලාතින් දඩුවම් මුදලාලි බිහි විය.ඔහු මුදල් භාර ගත්තේ තම ගම් පලාතේම අහිංසක මිනිසුන්ගෙනි.පසුව මොහුගේ "දඩුවම්" යන නම භාවිතා කරමින් "දැඩි දඩුවම්", "මරණ දඩුවම්" ආදී නම් වලින් පෙනී සිටින තවත් හොර මූල්‍ය ආයතන බිහි විය.දඩුවම් මුදලාලි "රිවිර" පුවත් පතෙහි පල වූ ලිපියකට කල ප්‍රකාශයකට අනුව ඔහු මෙසේ ලබා ගත් මුදල් ආයෝජනය කර ඇත්තේ කොටස් වෙලද පොලොහි හා වෙනත් වියාපාර කටයුතු සදහාය.නමුත් අන්තිමට ඔහු අතුරුදහන් වූ පසු, ඔහු විසූ සුවිසල් මාලිගාව ගම්මුන් විසින්ම කඩා විනාශ කර දමන ලදී.නමුත් ඔවුන් විසින් දඩුවම් මුදලාලි හට භාර දුන් මුදල් නම් ආපසු ලැබුනේ නැත.

සක්විති ලබා ගත් මුදල් වලින් ලංකාවෙහි සිටින විට කර ඇත්තේ රාත්‍රී සමාජ ශාලාවලට ගොස් කැසිනෝ ගැසීමය.නැත්නම් සුරූපී තරුණියන්ගේ පහස ලබා ගැනීමය.අහිංසක දුප්පත් මිනිසුන් මෙන්ම වංචාවෙන්, දූෂණයෙන් මුදල් උපයා ගත් දේශපාලුවන්ගේ සිට රාජ්ය සේවකයා දක්වා වූ සියල්ලන් ඔහු ලග මුදල් තැන්පත් කලේ ඔහු ලබා දුන් අධික පොලී මුදල නිසාය.එමෙන්ම මොහු ඉංග්‍රීසි උපකාරක ගුරුවරයෙකු ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිට ලබා ගත් ප්‍රතිරූපයද මෙම වංචාව කර ගෙන යාමට මොහුට උපකාරී විය.නමුත් මොහුගේ මවට සැලකීමට මොහු ලග මුදල් තිබී නැත.අදටත් ඇය කුඩා නිවසක තනිව දිවි ගෙවයි.(මේ ගැන විස්තරයක් "රිවිර" පුවත් පතෙහි පල විය.)

"ඔකද ෆිනෑන්ස්" නමින් තවත් මෙවැනි හොර මූල්‍ය ආයතනයක් පවතී.ඔවුන් ලක්ෂයකට රුපියල් විසිපන්දහසක් දෙන බව කියමින් රූපවාහිනියේ හා පුවත් පත් වල දැන්වීම් පල කරයි.එමෙන්ම තේක්ක වගාවකට මුදල් ආයෝජනය කිරීමක් ගැනද දැන්වීම් පල කරයි.තමන්ගේ නිවසෙහි මිරිස් පැලයක් පැල කිරීමට කාලය නැතැයි කියන්නන් ඔවුන් ලග තේක්ක සිටවීමට මුදල් ආයෝජනය කරති.නමුත් මොවුන් ලග මුදල් තැන්පත් කරන්නන් කෙදිනක වත් තමන්ට අයත් තේක්ක පැලයක් තිබේ දැයි කියාවත් සොයා නොබලති.

දැන් කරලියට විත් සිටින්නේ ලලිත් කොතලාවල මහතාය.බැංකු, ෆිනෑන්ස්, රක්ෂණ, අධ්‍යාපන, රෝහල් ආදී බොහෝ ක්ෂේත්‍රවලට විහිදී ගිය වියාපාර ගනනාවක් මොහු සතුය.නමුත් තමන්ගේ ජීවිතයේ සැදෑ සමයෙහිදී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදු වී ඇත.යන්තම් "සේලාං බැංකුව", "ලංකා බැංකුවට" පවරා ගැනීම නිසා තැන්පතු කරුවන්ගේ මුදල් ආරක්ෂා වී ඇත.මූල්‍ය වංචාව නිසා අහිමි වූ මුදල් තැන්පත් කරුවන්හට තමාගේ සියලු දේපල විකුනා නැවත ලබා දෙන බව කීවත් තවමත් එම මුදල් ලබා දී නැත.එසේ ලබා දේ යැයි විශ්වාස කලද නොහැක.මන්ද ඔහු විශාල ලෙස මුදල් ගෙවා නීතීඥ සහාය ලබා ගෙන මෙම නඩුවෙන් නිදහස් විය හැකි බැවිනි.එසේ වුවහොත් මොහුද සක්විති කලාක් මෙන් ගණුදෙනු කරුවන් අතරමන් කොට රටෙන් පැන ගනු ඇත.තමන්ගෙන් පසු ඔහුට අයත් මෙම විශාල වි‍යාපාර සමූහය පවරා දීමට දරුවන්ද නොමැති නිසා, කොතලාවල මහතා දැන් කල යුතු හොදම දෙය නම් ඔහුට අයත් වියාපාර විකුණා දමා හෝ මෙම මුදල් ආපසු තැන්පත් කරුවන් හට ලබාදීමය.

කොතරම් මෙවැනි හොරකම් සිදු වූවත් තවත් වසර කිහිපයකින් තවත් හොරෙකු බිහි වනු ඇත.මහ බැංකුවේ ලියාපදිංචි වී තිබූ ප්‍රමුඛ බැංකුව වසා දැමුනි.එමෙන්ම සක්විති, දඩුවම් මුදලාලි වැනි හොර මූලය ආයතන තවත් ලංකාවෙහි තිබිය හැක.ඉදිරියටත් බිහි වනුද ඇත.සක්විතිගේ පුතා "වයිමා" නමින් ද මූලය ආයතන බිහි වූ වත් පුදුම විය යුතු නැත.මිනිසුන්ද මොවුන්ගේ වෙළද ප්‍රචාරන වලට රැවටී තව තවත් මුදල් තැන්පත් කරනු ඇත.නමුත් මොවුන් මුදලුත් සමග රටින් පැන ගත් පසු මුදල් නැවත ඉල්ලීමට සිදු වන්නේ කාගෙන්ද?

Monday, February 23, 2009

මම "ලීඩර්" බැලුවෙමි

ඔන්න අද කොහොම හරි වෙලාවක් හොයා ගෙන ගියා රන්ජන් රාමනායකගෙ "ලීඩර්" චිත්‍රපටිය බලන්න.ඉස්සෙල්ල රන්ජන් කරපු චිත්‍රපටි වල DVD මිලදී අරගෙන බැලුව.ඒත් ඒවයෙත් "ලීඩර්" වලත් කිසිම වෙනසක් තිබුනෙ නැහැ.ඔක්කොම එක වගේ.

චිත්‍රපටිය පටන් ගන්නෙ ගීතමය ජවනිකාවකින්.ඒ ගීතයෙන් කියල තිබ්බ දේශපාලනමය දේවල් නම් ඇත්ත.සමහර විට අර චිත්‍රපටි මණ්ඩලයෙන් වාරණය කෙරුවයි කිව්වෙ ඔය ගීතමය ජවනිකාවෙ තිබ්බ ඒවද දන්නෙ නැහැ.

කදිරගාමර් නමැති මහාචාර්යවරයෙක් දේශපාලනයට පිවිසීමට නාම යෝජනා බාර දෙනව.ඉන්පසු ඔහු පල්ලියකට පැමිණෙනව පියතුමාගෙන් ආශිර්වාදය ලබා ගැනීමට.පල්ලියට යන අතර මගදී ඔහුගේ දියණියට කථා කොට පල්ලියට පැමිනෙන්න යයි පවසනව.මේ අතරතුර තවත් මැරයෙක් නාම යෝජනා බාර දෙනව.ඉන්පසු ඔහුත් පල්ලියට පැමින මහාචාර්යවරයාවත්, පියතුමාවත් මරා දමනව.මෙය මහාචාර්යවරයාගේ දියණිය දකිනව.ඉන්පසු මේ මැරයා වෙහෙසෙන්නේ මේ දියණිය මරා දැමීමට.මෙම කාන්තාවගේ ආරක්ෂාවට පොලිසිය විසින් යොදවන්නේ රන්ජන්වය.අවසානයේදී අනෙක් සෑම චිත්‍රපටියකදී මෙන්ම මොවුන් දෙදෙනා ආදරයෙන් බැදෙනව.ඔන්න ඕක තමා කථාවෙ වෙන්නෙ.

රන්ජන් මේක හදල තියෙන්නෙ ඉන්දියාවෙ ප්‍රේක්ෂකයන් ඉලක්ක කර ගෙන කියලයි මට නම් හිතෙන්නෙ.මෙහි තිබෙන මංගල උත්සවයත් ඉන්දියානු ක්‍රමයේ එකක්.එමෙන්ම සටන් ජවනිකා ආදියත් දෙමළ චිත්‍රපටි වල දක්නට ලැබෙන ඒවයි.ඉන්දියාවෙ රූපගත කිරීම් කල නිසාත්, ඉන්දියානු නිලියක් යොදා ගත් නිසාත්, දකුණු ඉන්දියාවේ ප්‍රදර්ෂනය කරන නිසාත් මෙය ඉන්දියාවට ගැලපෙන ආකාරයට කලා කියලයි හිතෙන්නෙ.

කලින් රන්ජන්ගෙ චිත්‍රපටි දෙක වගේම මේකෙදිත් නපුංසක යයි සිතිය හැකි චරිත හතරක් යොදා ගෙන තියෙනව.ඔවුන් හතර දෙනා රග පාන්නෙ ප්‍රධාන නිලියට සිටින ආරක්ෂකයින් වශයෙන්.නමුත් මොවුන්ගේ රගපෑම් දකින ඕනෑම අයකුට හිතෙන්නෙ ඔවුන් නිකම්ම නිකන් ජෝකර්ල හතරදෙනෙකු වශයෙන් පමණයි.

රන්ජන් කොහොමත් තමන් කරන චිත්‍රපටි වලදි කාන්තා ඇදුම් වලට එතරම් වියදම් නොකරන කෙනෙකු නිසා මෙවරත් ප්‍රධාන නිලියගේ අත්යවශයම ස්ථාන හැර අනෙකුත් සියලුම ශරීර කොටස් ප්‍රේක්ෂකයාට නැරඹීමේ අවස්ථාව උදා දීල කරල තිබ්බ.කොහොමත් සිංහල සිනමාවට ආපු නවක ඉන්දියානු නිලියක් නිසා ඇයගේ ශරීරය දැක ගැනීමට රන්ජන් නොමිලේම අවස්ථාවක් ප්‍රේක්ෂයාට දීල තියෙනව.ඒ වගේම තවත් පියවරක් ඉදිරියට තබමින් මෙම නිලියගේ යට ඇදුම්වල පාට බලා ගැනීමේ අවස්ථාවත් රන්ජන් උදා කරල දීල තියෙනව.සමහර විට රන්ජන්ගෙ ඊලග චිත්‍රපටියෙදි ප්‍රධාන නිලිය නිරුවතින් ඉන්නා දර්ශනයකුත් ඇතුලත් කරන්න පුලුවන් කියල මේ චිත්‍රපටිය දැක්කම මට හිතුන.

අන්තිමට හිතුනෙ ආයි කවදාවත් මේ වගේ චිත්‍රපටියක් බලන්නෙ නැහැ කියලයි.අන්තිමට මේක බලල ලබා ගත්ත දේකුත් නැහැ.වියදම් කරපු රුපියල් සියය ගැනයි, විභාගයක් අත ලග තියාගෙන නාස්ති කරපු කාලය ගැන කනගාටුවකුයි විතරයි ඉතිරි වුනේ.

Thursday, February 19, 2009

උබුන්ටු පිහිටුවීම

ඔන්න අද කාලෙකට පස්සෙ නිවාඩුවක් ලැබුන.ඒ මම ඉගෙන ගන්න ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි ප්‍රධානෝත්සවය පැවතිච්ච නිසා.උපාධි ලබා ගත් සියලුම අයියල, අක්කලාට ඔන්න මමත් මගේ බ්ලොග් එකෙන් සුභ පැතුව.

ඔන්න ඉතින් අද නිවාඩු දවස නිසා උදෙන්ම නැගිටල movie එකක් බලන්න හිතා ගෙන පරිගණකය දැම්ම.ඔන්න message එකක් ආවා "NTLAB is missing. Press Ctrl+Alt+Delete to restart" කියල. Restart කලත් ඔය message එකම තමා ආවෙ.XP අල වෙච්ච බව තේරුනා. Format කරන්නත් බැහැ. Backup එකක් තියා ගෙන නැති නිසා.

ඔය වෙලාවෙදි තමයි උබුන්ටු පිහිටට ආවෙ.ආපහු උබුන්ටු දාල restart කලා.ඊට පස්සෙ ඒ මාර්ගයෙන් external hard disk එකකට backup එකක් ගත්ත.යන්තම් උබුන්ටු පිහිටෙන් ගොඩ ගියා.ඒත් තිබිච්ච ඔක්කොම චිත්‍රපටි, සින්දු ආදිය නම් ගන්න බැරි වුනා.ඒත් කමක් නැහැ, අත්‍යවශ්‍ය ඒව බේර ගත්තනෙ.

ඔන්න ඉතින් ඊට පස්සෙ මම OS එක විදිහට උබුන්ටුම ස්ථාඵනය කර ගත්ත. Virus එන්නෙත් නැහැ, virus guard ඕනෙත් නැහැනෙ. VirtualBox අධාරයෙන් XPත් පිහිටව ගත්ත.දැන් ඉතින් අවුලක් නැතුව වැඩ....:D

ස්තූති කරන්නත් දෙන්නෙක් ඉන්නව.ඒ තමයි ප්‍රබුද්ධයි, රුකෂාන් මල්ලියි.ඔන්න ඔය දෙන්න ගැනත් බ්ලොග් එකේ ලිව්ව....:D

අද වෙච්ච මේ සිද්ධිය නිසා වැදගත් තීරණ දෙකක් ගත්ත.එකක් තමයි external hard disk එකක් වහාම මිලදී ගැනීම.අනෙක තමයි මින් මතු දිගටම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම.

අපේ බ්ලොග් ලියන ප්‍රියංකර මල්ලි ගෙනත් දුන්න ඔක්කොම movies ටිකත් දැන් නැහැ.ඒ නිසා ඒ ටික ආපහු ගෙනත් දෙන්න කියලත් කාරුණිකව මල්ලිගෙන් ඉල්ලනව.මල්ලිට ඉතින් pen drive එකකිනුත් වාසියක් වුනානෙ ලගදි...:P

අද දවසෙ කරන්න හිතන් හිතපු වැඩ එකක් වත් කරන්න වුනේ නැහැ මේ කරදරේ නිසා.විභාගෙත් මාර්තු 9.ඉතින් අද ඉදන් පාඩම් කරන්න පටන් ගන්නයි හිතන් හිතියෙ.හැමදේම වගේ ඒකත් හෙටටම කල් ගියා.....:D

අන්තිමට ඉතින් අද උපාධි ලබා ගත්ත අපේ සහෝදර, සහෝදරියන්ට නැවතත් සුභ පතමින් අද සටහන නිමා කරනව.

Tuesday, February 10, 2009

ටෙලිනාට්‍යය හා රූපවාහිනිය බැලීම

ඔන්න අද තිබ්බ 20-20 තරගයත් සුපුරුදු විදිහටම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුනා.ඒත් අද හොද තරගයක් ඉන්දීය කණ්ඩායමට දෙන්න ලැබිච්ච එක ගැන නම් සංතෝෂයි.ඒ වගේම පොඩි දුකකුත් තියෙනව අද තරගය බලන්න යන්න බැරි වෙච්ච එක ගැන.අද ඔක්කොම යාලුවො match එක බලන්න යද්දි මම විතරක් හවස lecture එකට හිටපු නිසා ඒ අවස්ථාව මග හැරුන.ඒත් ඉතින් හවස ගෙදර ඇවිත් ඔක්කොම තරගය රූපවාහිනියෙන් බැලුව.කොහොම බැලුවත් එකයිනෙ.....:D

අද ලියන්න හිතා ගෙන ආවෙ ජාතික රූපවාහිනියෙන් මේ දවස් වල රාත්‍රී 9ට පෙන්වන පරණ ටෙලිනාට්‍යය ගැන ලියන්න.ඇත්තටම මට නම් හිතෙන්නෙ කාලෙකට පස්සෙ හොද ටෙලිනාට්‍යයක් බලන්න ලැබෙන්නෙ දැන් තමයි කියලයි.නැත්නම් හැමදාම බලන්න ලැබෙන්නෙ මෙගා නාට්‍යයනෙ.ඒවයිනුත් ගොඩක් ඒව ඉන්දියාවෙ හදපු නාට්‍යයවල කොපි.නැත්නම් හඩ කවල පෙන්වනව.

මම හිතන්නෙ ඔය ඉන්දීය නාට්‍යය පෙන්වීම මුලින්ම පටන් ගත්තෙ "සිරස" නාලිකාව කියලයි.ඊට පස්සෙ ඒක අනිත් නාලිකා වලටත් බෝ වුනා.දැන් ශ්‍රී ලාංකීය අභිමානය ගැන කථා කරන ස්වර්ණවාහිනියෙත් ඉන්දීය නාට්‍යයක් යනව.ඒ වගේම අනිත් නාලිකා වලත් මෙගා නාට්‍යය ඕන තරම් පෙන්වනව.

දැන් දැන් ලාංකීය නිෂ්පාදකයනුත් මෙගා නාට්‍යය නිපදවන්න පටන් අරන්.ඒ ගොල්ලො නම් කියන්නෙ අපේ රටේ ගැමි පරිසරය, සමාජ අසාධාරණයට විරුද්ධව නැගී සිටින කාන්තාවන් ගැන මේ නාට්‍යය වලින් පෙන්වනවාය කියල.නමුත් අවසානයට මොවුන් බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ රසවින්දනය මොට කිරීම විතරයි.

මෙගා නාට්‍යය ගැන කථා කරන කොට සිරසෙ "රන් දෙපැය" ගැනත් කථා නොකරම බැහැ.මේ දෙපැයෙන් වෙලා තියෙන්නෙ මාපිය, දූදරු සබධතා කැඩී යාම විතරයි.බලන මිනිස්සු හිතන්නෙ මේව ඇත්තටම ලෝකෙ සිද්ධ වෙන දේවල් කියල.අන්තිමට ඔවුනුත් නාට්‍යය වල වගේම අනියම් සම්බන්ධතා ආදිය පවත්වා ගනිමින් තමන්ගේ පවුල් ජීවිතය කඩා කප්පල් කර ගන්නව.අන්තිමට ඉතුරු වෙන්නෙ මනෝ ලෝකෙක ඉතුරු වෙච්ච පවුල් ප්‍රශ්ණ ටිකක් විතරයි.

ඒත් මේ දැන් පෙන්වන නාට්‍යය වලට වඩා කොච්චර හොද නාට්‍යය රූපවාහිනිය බිහි වෙච්ච මුල් යුගයේ නිර්මාණය වුනාද කියල ඒව දැක්කම හිතෙනව."කන්දෙ ගෙදර", "අසල්වැසියො", "පලිගු මැණිකෙ" ආදිය මීට නිදසුන් කීපයක්.දැන් ඔයවගේ නාට්‍යය බිහි නොවන්නෙ නිර්මාණකරුවන්ගෙ තියෙන බංකොලොත්භාවය නිසාද, එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාගෙ රස වින්දනය අඩු වී තිබීමද කියල හිතෙනව.ඒත් මෑත කාලයෙ නිර්මාණය වෙච්ච "ඉසුරු යෝගය", "බෝගල සවුන්දරිස්" වගේ නාට්‍යය වලට ලැබිච්ච ප්‍රතිචාර දැක්කම හිතෙන්නෙ තවමත් හොද රස වින්දනයක් සහිත දේවලට අපේ රටේ තැනක් තියෙන බවයි.

අන්තිමට කියන්න තියෙන්නෙ තමන්ට වැදගත් වෙන දේවලට විතරක් රූපවාහිනිය නැරඹීමට යොදා ගන්නා ලෙසයි.

Wednesday, February 4, 2009

61 වන නිදහස් දිනය



අද දින 61 වන නිදහස් දිනය අභිමානවත් ආකාරයෙන් ගාලු මුවදොර පිටිය අභියසදී පැවැත්වුනා.නමුත් මීට වසර දෙකකට ඉහතදී මම නිදහස් දිනය සැමරුවේ බංග්ලාදේශයේ Chittagong නගරයේ සිටයි.ඒ අතීත මතක සටහනක් තබන්න ඕන කියල මට හිතුන.

එදින නිදහස් දිනය අප සැමරුවේ 500ක් පමණ වන ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හා අනෙකුත් ශ්‍රී ලාංකිකයගේ සහභාගීත්වයෙන්.එමෙන්ම එදින අප රටේ ඉගෙනුම ලැබූ බංග්ලාදේශ ජාතික ස්වාමීන්වහන්සේලා කිහිප නමක් ද වැඩම කොට සිටියා.

එදින අප හට රසවත් ලාංකික කෑම වේලක රස බැලීමටද ලැබුන.බංග්ලාදේශයේ පොල් කිරි භාවිතා කිරීම නොකරන නිසා එදින අපට ලැබුන දහවල් කෑම වේල නම් කවදාවත් අමතක වන්නේ නැහැ.ඒ ලාංකික කෑම වේලක රස බැලීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසා.

එදින ජාතික සමගිය දක්නට ලැබුන හොදම දවසක් කියලත් කියන්නත් පුලුවන්.උතුරු, නැගෙනහිර ප්‍රදේශ වලින් පැමිණි දෙමළ හා මුස්ලිම් ජාතික වෛද්‍ය සිසුනුත් සමග කාලය ගත කිරීමට ලැබුන.ඔවුන් එදා ජාති බේද අමතක කර එකා වන්ව නිදහස් දිනය සැමරුව.

අප ලංකාවේ ඉන්න කොට හිතෙන්නේ වෙනත් රටක ජීවත් වන්න ලැබුනනම් හොදයි කියල.නමුත් අප වෙනත් රටක ජීවත් වෙනකොට හිතෙන්නෙ ලංකාව කියන්නෙ ජීවත් වෙන්න හොදම රට කියල.අනිත් රටවල වගේ අපේ රටේ අධික ශීත කාලවත්, උෂ්ණත්වය අධික කාලයක්වත් නැහැ.එමෙන්ම ස්වභාවික විපත් ද අවම රටක්.සිවිල් යුද්ධයක් නැත්නම් අපේ රට මීටත් වඩා දියුණුවට පත් වෙලා ඉවරයි.

ඒ වගේම තව දෙයක් කියන්න ඕන.Facebook වෙබ් අඩවියේ තියෙනව අලුත් group එකක් "Burn Sri Lanka Flag Feb.4..." නමින්.මම දන්නෙ නැහැ මෙවැනි දේවලට විරුද්ධව කල හැකි නීතිමය ක්‍රියාමාර්ගයක් තියෙනවද කියල.ත්‍රස්තවාදීන් යුධමය වශයෙන් පරාජය කරමින් පැවතුනත් තවමත් ඔවුන්ගේ ප්‍රකාෂණ ජාලය හොදින් ක්‍රියාත්මක වන බවයි මට නම් මෙයින් හැගී යන්නෙ.එමෙන්ම YouTube වෙබ් අඩවියේත් ත්‍රස්තවාදීන් විසින් එක් කල video තවමත් තිබෙනව.මෙවැනි දේවල් වැලැක්වීමට රජය යම් ක්‍රියාමාර්ගයක් ගනීවි යයි බලාපොරොත්තු වෙනව.එසේ නොකලහොත් යුද්ධය ජයග්‍රහණය කලත් ත්‍රස්තවාදී ක්‍රියා මතු යම් දිනෙක නැවතත් මතු විය හැකියි.

61 වන නිදහස් දිනය සැමරූ මේ වසරේදීම අප රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන අප රට තුල සාමය, සමගිය ඇති වෙවායි පතමින් මේ සටහන නිමා කරනව.