Monday, September 28, 2009

මම ගත්තු පොත්

මේ අවුරුද්දෙ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ෂනයෙන් ගත්තු පොත් ටික ගැනයි ලියන්න යන්නෙ.පොත් ගන්න දවස් දෙකක්ම ගියා.පටන් ගත්තු සෙනසුරාද සහ බදාදා තමයි ගියෙ.

සෙනසුරාද ගිහින් ගත්තු පොත් ටික තමයි මේ පිංතූර වල තියෙන්නෙ.



"අටවකපුත්තු" පොත ගත්තෙ "ගුණසේන" එකෙන්."පොදු පුරුෂයා" පොත ගත්තෙ "සරසවි" එකෙන්.මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයගෙ "ශ්‍රී ලංකාවේ යාචකයා" පොතයි එස්.බී. දිසානායක මහත්මයගෙ පොතයි ගත්තෙ "ආරිය ප්‍රකාෂකයෝ" වෙතින්."Database Management Systems" පොත ගත්තෙ Expographic එකෙන්.





මම කලෙක ඉදන් ඉස්ලාම් ආගම ගැන ඉංග්‍රීසියෙන් ලියවෙච්ච පොත් ටිකක් හොය හොයා හිටිය.ඒ නිසයි මේ පොත් ටික ගත්තෙ.පොත් ගත්තෙ "Islamic Book House" එකෙන්.ශුද්ධ වූ කුරාණයේ ඉංග්‍රීසි පිටපතකුත් ගන්න මට එතනින් පුලුවන් වුනා.


මගෙ ගාව තියෙන බයිබලය දැන් ගොඩක් පරණ නිසාත්, දිනපතා භාවිතයට අලුත් බයිබලයක් අවශ්‍ය නිසාත් අලුත් බයිබල් දෙකක්ම ගත්ත.මීට කලින් මම භාවිතා කලේ ඉංග්‍රීසි බයිබලයක්.ඒ නිසා මේ පාර සිංහලෙන් ලියවෙච්ච බයිබලයකුත් ගත්ත.ශුද්ධ වූ බයිබල් දෙක මිලදී ගත්තෙ "Catholic Book Depot" වලින්.

සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ෂන මධ්‍යස්ථානයේ
British Council පුස්ථකාල සාමාජිකත්වය රුපියල් 1400කට දෙනව.ඉතින් හිත හිතා ඉන්නෙ නැතුව British Council පුස්ථකාල සාමාජිකත්වයත් එදාම ගත්ත.

මේ තියෙන්නෙ බදාදා මිලදී ගත්තු පොත්.



මේ ඔක්කොම පොත් ගත්තෙ "Sarath Books" කියන bargain පොත් කඩෙන්.පොත් ඔක්කොටම ගියෙ රුපියල් 1500ක් විතර.

කොච්චර පොත් ගත්තත් හිතට නම් මදි.ගත්තු පොත් ටික කියවන්න වෙන්නෙත් නොවැම්බර් මාසෙ ඉදල.ඔක්තෝම්බර් 19-29 වෙනකම් විභාගෙ නිසා ගත්තු එක පොතක්වත් අතින් වත් අල්ලන්න වෙන්නෙ නැහැ.

මේ පාර රුපියල් 8000ක විතර පොත් ගත්ත.ඒත් අවුලක් නැහැ.මොකද Sir Francis Bacon කියල තියෙන්නෙ "Reading makes a full man" කියලනෙ.

Monday, September 7, 2009

අසභ්‍ය වෙබ් අඩවි තහනම සැබෑ ලෙසම ක්‍රියාත්මක වේද?

මේක ගැන ගොඩක් දවස් ඉදන් ලියන්න හිතා ගෙන හිටියත් අද තමයි ලියන්න පුලුවන් වුනේ.මේ ගැන ගොඩක් බ්ලොග් සටහන් ලියවිලා තියෙනවත් දැක්ක.ඒත් තවමත් අපිට මෙවැනි වෙබ් අඩවි වලට proxy sites මාර්ගයෙන් කිසිම අවහිරයකින් තොරව යාමට ඕන තරම් පුලුවන් කමක් තියෙනව.ඒ වගේම මේවායේ ඇති වීඩියෝ දර්ෂන ආදියත් කිසිම අපහසුවකින් තොරව බා ගත කිරීමේ හැකියාවත් තවම තියෙනව.තවමත් මෙවැනි වෙබ් අඩවි වලට එන ලාංකිකයන්ගෙ අඩුවක් නැති බව මෙම වෙබ් අඩවි වල දක්වා ඇති ප්‍රතිචාර මගින් පෙනී යනව.

තමන්ගේ නිවසේ අන්තර්ජාල පහසුකම් ඇත්නම් මෙවැනි වෙබ් අඩවියක් එක් වරක් හෝ බැලූ අයෙක් නැති තරම්ය.නො බැලූ කෙනෙකු ඇත්නම් ඔහු හැගීම්, දැනීම් නැති මනුෂ්‍ය රොබෝවෙකු විය යුතුය.අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට කෑ ගැසූ අයත්, එය ක්‍රියාවේ යෙදවූ අයත් ඉද හිට හෝ මෙවැනි අඩවියකට ගොස් ඇතුවාට සැකයක් නැත.එනිසා රජය කල යුත්තේ මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම නොව කැමති අයට මේවා බැලීමටත්, අකමැති අය තමන් විසින්ම පනවා ගත් ස්වයං වාරණයක් මගින් මේවා නො බලා සිටීමත්ය.

Tuesday, September 1, 2009

කලකට පස්සෙ.....

මේ දවස්වල හරියට වැඩ.බ්ලොග් එකවත් ලියන්න වෙලාවක් නැහැ.ඒත් කොච්චර වැඩ තිබුනත් කාලය නාස්ති කරන එකෙත් ඉවරයක් නැහැ.

පහුගිය දවස්වල කලේ මෙන්න මේ දේවලුයි.අලුත් laptop එකක් ගත්ත.Acer Extensa 5630 එකක්.ගත්ත දවසෙම ගෙනත් දැම්ම Fedora 11.ඒත් පස්සෙ Windows Vistaත් දාගන්න සිද්ධ වුනා.මොකද අනිත් එවුන්ට තාමත් වෙනස් වෙන්න අමාරු නිසා.ඒත් laptop එක අරගෙන කෝච්චියෙ දවස ගානෙ ගෙනියන එක නම් එපා වෙලා තියෙන්නෙ.

අගෝස්තු හතර වෙනිද ඉදල හය වෙනිද වෙනකම් විභාගෙ තිබුන.හැමදාම ගියෙ මිනිත්තු 10ක් විතර පරක්කු වෙලා.පරක්කු වෙලා ගිය එකේ ප්‍රතිඵල ලබන සදුදට බලා ගන්න පුලුවන්.

විභාගෙ තිබ්බ දවසකමනෙ වාස්ගෙ පුතා නිපුනට ගැහුවෙත්.දැන් නම් ගුටි කාපු එකයි, ගහපු එකයි දෙන්නම ඉන්නෙ ඉස්පිරිතාලෙ නැවතිල.ආරංචි විදිහට දෙන්නවම තොරතුරු තාක්ෂණ ආයතනයෙන් අයින් කරල.මම නම් හිතුවෙ ඔය සිද්ධිය නිසා විභාගෙ කල් යයි කියල.ඒත් ඉතින් මගෙ කරුමෙට එහෙම දෙයක් වුනෙත් නැහැ.තව දවසක නිපුනට ගහපු එකට විරෝධය පාන්න බෝඩ් ටිකක් උස්සගෙන මාලබේ කට්ටිය පාරෙ හිටගෙනත් හිටියලු.තව මාලබේ හරියෙ පෝස්ටර් එහෙමත් අලවල තිබ්බ.ඒත් ඕව කලා කියල වැරදිකාරයින්ට දඩුවම් ලැබෙනවයැ.කාලෙ නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.හැබැයි මේකෙන් පත්තවලටයි, රූපවාහිනී නාලිකා වලටයි දාන්න හොද ප්‍රවෘත්ති ටිකක් හම්බ වුනා.ඒකනෙ දැන් ස්වර්ණවාහිනියෙත් "මාලබේ නඩුව" කියල ප්‍රවෘත්ති වලට දාන්නෙ.සමහර බ්ලොග් වල ලියල තිබුනනෙ නිපුනට ගහපු එක ගැන තොරතුරු තාක්ෂණ ආයතනයෙ ඉගෙන ගන්න අය ලියල තිබ්බෙ නැහැ කියල.ඔන්න අද මම දන්න ටික බ්ලොග් එකේ ලිව්ව.

අපිට මේ සමාසිකයෙ තියෙනව ව්‍යාපෘතියක් කරල බාර දෙන්න.(Information Technology Project)එක කණ්ඩායමකට දහ දෙනෙක් ඉන්නව.මම ඉන්න කණ්ඩායමේ 8ක් දෙමල.එකෙක් මුස්ලිම්.ඔක්කොම අය කථා කරන්නෙ දෙමලෙන්.මට දෙමල බැරි නිසා මම මුකුත් නොකර ඉන්න එකයි කරන්නෙ.අපේ අනුග්‍රාහකය එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කියවනම් client වෙන්නෙ කොලඹ තියෙන ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසලක්.මම කොන්ඩෙ ටිකක් දිගට වවල ඉන්න නිසා මට නම් ඔය ජාත්‍යන්තරයි කියල කියන පාසලට එන්න දෙන්නෙ නෑ.ඒත් ඕකෙ ඉගෙන ගන්න කොල්ලො, කෙල්ලො නම් කරන්නෙම international වැඩ විතරයි.ලංකාවෙ ඉගෙන ගත්තට තමන්ගෙ මවු භාෂාවවත් හරියට කථා කර ගන්න බැහැ.ඔය කොලඹ හතේ තියෙන පාසලේ අරමුණත් තමන් ඉපදිච්ච රටට, සංස්කෘතියට, භාෂාවට අගෞරව කරන පිරිසක් බිහි කරන එකම වෙන්න ඇති.

මේ සතියෙ දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා අපේ ගෙදර කට්ටිය කතරගම යන්න ලෑස්ති වෙනව.මට නම් යන්න වෙන්න නැහැ.ගෙදර බලා ගන්න කෙනෙක් නැති නිසා මට මුර කාරයගෙ රස්සාව කරන්න වෙලා තියෙනව.ඒ වගේම ගෙදර හුරතලේට ඇති කරන සතාට කන්න දෙන්නත් කෙනෙක් ඉන්න ඕනෙනෙ.

ඔන්න ඔච්චරයි අද ලියන්න ඉතුරු වෙලා තියෙන්නෙ.ඊලග මාසෙ ඉදලවත් සතියට එක දවසක්වත් බ්ලොග් එක ලියන්න ඕනෙ.ගිහින් එන්නම්.