Friday, October 16, 2009

දුමට තිත ද? තිතට දුම ද?

ලංකාවෙ දැන් ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීම තහනම් කියල නීතියක් තිබුනට තාමත් නිදහසේ දුම් බොන්නන් ඕන තරම් දකින්න ඉන්නව.බස් රථවල දුම් බීම තහනම් කියල දැන්වීම් ගහල තිබ්බට බොහෝ වේලාවට කොන්දොස්තර හා රියදුරු බස් රථය ධාවනය කරද්දි දුම් පානය කරනව.

කියන්න ගියෙ බස් රථවල දුම් බීම ගැන නෙමේ.දැන් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවනෙ.ඉතින් ඒකට විවිධ දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න විවිධ ආයතනවලට ලබා දීල තියෙනව.ඉතින් කිලිනොච්චිය දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න "මතට තිත" තියපු රජයෙන් ලබා දීල තියෙන්නෙ "ලංකා දුම්කොළ සමාගමට".මේ ගැන විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

දුම්කොළ සමාගමත් මේකට ආයෝජනය කරන්නෙ පිං තකා නෙමේනෙ.දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරන ගමන්ම එහි වැඩ කරන සේවකයන්ටයි, ඒ අවට සිටින ජනතාවටයි නොමිලේ දුම් වැටි දීල දුම් බීමට කොහොම හරි පුරුදු කර ගනීවි.ඉස්සර යුධ හමුදාවෙ සේවය කරපු සොල්දාදුවන්ට නොමිලේ දුම් වැටිත් දුන්නෙ මේ සමාගමමනෙ.ඒ දවස්වල සොල්දාදුවන්ට දාව ලැබෙන දරුවන්ගෙ අඩුවකුත් දකින්නට ලැබුන කියල අහල තියෙනව.

දුම් වැටි විකුනල හම්බ වෙච්ච සල්ලි වලින් ලැබිච්ච ක්‍රිකට් ලෝක කුසලානෙකුත් තියෙන රටේ දුම් වැටි තහනම නියමාකාරයෙන් කෙරෙයි කියල නම් හිතන්න අමාරුයි.අඩු ගානෙ දුම්
වැටි භාවිතය නවත්වන්න සකස් කරපු වෙලෙද දැන්වීමක් වත් කිසිම රූපවාහිනී නාලිකාවක යන්නෙ නැහැනෙ.සමහර වෙලාවට එහෙම සකස් කරපු දැන්වීමක් දැම්ම වුනත් ඒව ඉක්මනින්ම අයින් කර ගන්නත් දුම් වැටි සමාගම් දක්ෂයිනෙ.

මේ තියෙන්නෙ වෙනත් රටවල් කීපයක දුම් වැටි භාවිතය නවත්වන්න සකස් කරපු දැන්වීම් කීපයක්.










Thursday, October 15, 2009

"වාසනා ලොවක්"

අහල තියෙනව නේද "වාසනා ලොවක්" කියන සිංදුව.දුෂ්‍යන්ත් වීරමන් "Dancing Star" චිත්‍රපටියෙ ගායනා කලේ.ඒත් මේ සිංදුව මුලින්ම ගායනා කරල තියෙන්නෙ අපි කවුරුත් දන්න "ති.නා."ඒ කියන්නෙ තිස්ස නාගොඩවිතාන මහත්මයා.තිස්ස නාගොඩවිතාන මහත්මයා ගැන "සරසවිය" පුවත් පතේ පල වෙච්ච ලිපියකයි මේ ගැන තිබ්බෙ.තිස්ස නාගොඩවිතාන මහත්මයගෙ මුල් ගීතය මෙතනින් අහන්න පුලුවන්.දුෂ්‍යන්ත් කියපු ගීතය බා ගත කරන්න මෙතනට යන්න.

පරණ ගීත නව පරපුරේ ගායකයින් ගායනා කරල මුල් ගීතය විනාශ කරනව කිව්වට මට නම් දුෂ්‍යන්ත්ගෙ මේ ගීතයෙ ගායනය ගැන වරදක් කියන්න බැහැ.අඩු ගානෙ මේ ගීතය මෙහෙම හරි අහන්න ලැබුනෙ දුෂ්‍යන්ත්ගෙ ගායනය නිසා.නැත්නම් මේ ගීතය කවුරුත් නොදැනම තියේවි.

මේ තියෙන්නෙ "Dancing Star" චිත්‍රපටියෙ "වාසනා ලොවක්" ගීතය තියෙන ජවනිකාව.




මේකත් අහල බලන්න.මේ වීඩියේ එකේ "ති.නා." ගැන සදහන් වෙලා තියෙනව.

Wednesday, October 14, 2009

අහෝ "තුෂාරා"

අද ගිහින් බැලුව නැවත නිෂ්පාදනය කරල තියෙන "තුෂාරා" චිත්‍රපටිය.ඇත්තම කියනවනම් යසපාලිත නානායක්කාර මහත්මය නිර්මාණය කරපු "තුෂාරා" චිත්‍රපටිය ලගින්වත් තියන්න බැහැ අලුත් චිත්‍රපටිය.

මීට කලින් පරණ චිත්‍රපටිය බලල තිබ්බ නිසා චිත්‍රපටි දෙකේ වෙනස හොදට තේරුන.මීට කලිනුත් මේ විදිහටම නැවත නිෂ්පාදනය කරපු "හතර දෙනාම සූරයෝ" චිත්‍රපටියෙයි, "තුෂාරා" චිත්‍රපටියේ කිසිම වෙනසක් නැහැ.දෙබස්, පසුතල ආදිය බොහෝ දුරට පරණ චිත්‍රපටියෙ ආකාරයටම යොදා ගෙන තියෙනව.වෙනසකට තියෙන්නෙ පරන කලු, සුදු චිත්‍රපටිය වෙනුවට මෙදා වර්ණ චිත්‍රපටියක් වීමත්, විජය කුමාරතුංග නම් සිංහල සිනමාවේ ජනප්‍රිය නලුවා වෙනුවට සාලිය සත්‍යජිත්වත්, මාලිනී ෆොන්සේකා වෙනුවට ශාලිකා එදිරිසිංහවත් යොදා ගැනීමයි.එදා සෝනියා රග පෑ චරිතය මෙදා රගපාන්නෙ පියුමි පුරසිංහ
යි.සෝනියා මෙම නව නිෂ්පාදනයේ සාලියගේ මව ලෙස කුඩා චරිතයක් රග පායි. තව වෙනසකට තියෙන්නෙ අලුත් ඇදුම්, පැලදුම් යොදා ගෙන තිබීමත්, පියුමි පුරසිංහගෙ ලස්සන කකුල් දෙක පුන පුනා පෙන්වීමත්ය. නව නිෂ්පාදනයෙ තියෙන, පරණ චිත්‍රපටියෙ නැති තවත් විශේෂ දෙයකට තියෙන්න ජංගම දුරකතන භාවිතයත්, sms පණිවිඩ යැවීමත්ය.

"තුෂාරා" චිත්‍රපටියෙහි තිබු සියලුම ගීත නව සංගීතය යොදා මෙහිදී යොදා ගෙන තියෙනව.ජෝතිපාල මහතා, ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හා සුජාතා අත්තනායක මහත්මිය මෙහි ගීත ගායනා කර තිබෙනව.

අන්තිමට කියන්න තියෙන්නෙ පරණ සිංහල චිත්‍රපටි නැවත නිෂ්පාදනය කරන්න කලින් අපේ අධ්‍යක්ෂකවරුන්ට ඉන්දියාවෙ කරපු "Don" චිත්‍රපටියෙ නව නිෂ්පාදනය හා පැරණි චිත්‍රපටියවත් බලල ඒකෙන් දෙයක් ඉගෙන ගන්න කියලයි.

"තුෂාරා" පැරණි චිත්‍රපටියෙ ගීත කිහිපයක්.












"තුෂාරා" නව නිෂ්පාදනයේ trailer එක.