Wednesday, March 17, 2010

නීති විරෝධී ගබ්සාවන් සීග්‍රයෙන් වැඩි වන්නේ ඇයි?

උපදෙස් - වෛද්‍ය නිලංග සමරසිංහ.

කලකට උඩදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නගරයක ගබ්සා මධ්‍යස්ථානයක් වැටලීම සදහා අදාළ ප්‍රදේශය භාර මූලස්ථාන පොලිසියේ කැදවීම මත අපට ද යාමට සිදු විය.අප යන විටත් එහි ගබ්සාවන් කර ගැනීම සදහා කාන්තාවෝ පස් දෙනෙක් සිටියහ.

මෙම ගබ්සා මධ්‍යස්ථානය වටලන්නට මූලස්ථාන පොලිසියත් සමග අප සහභාගී වූයේ හතර වන වාරයටය.එහෙත් ඒ මොහොතේදීත් ගබ්සා මධ්‍යස්ථානයේ හිමිකරු සිටියේ බොහෝ සැහැල්ලු ලෙසය.තව කී වාරයක් වැටලුවත්, තමාට ඇප ලබා පහසුවෙන් ආපසු පැමිණ යලිත් මේ ව්‍යාපාරයම සුවසේ කර ගත හැකි බව ඔහු දැන සිටියේය.ඊට බලපෑ ලොකුම හේතුව ඔහු ප්‍රදේශයේ පොලිසියේ ලොක්කන්ට මාස්පතා රුපියල් තිස්දහස බැගින් අල්ලස් පිරිනැමීම බව නිල නොලත් ආරංචි මාර්ග මගින් දැන ගත හැකි විය.

මේ පුද්ගලයා සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරයි.ගබ්සා මද්‍යස්ථානයේ වෛද්‍යවරයාත් ඔහුය.නමුත් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මළ පොතේ අකුරක් හේ නොදනියි.ඔහුට දවසට ලැබෙන ආදායම මනින්නට බාහිර තොරතුරු කිසිවක් අවශ්‍ය නොවේ.ඔහුගේ එදිනෙදා ගණන් හිලව් බැලීමම ප්‍රමාණවත්ය.මෙම වැටලීම සිදු වූයේ උද‍ය වරුවේය.එදින ඒ පැය කිහිපයක කාලය තුළ ඔහුගෙන් ගබ්සාවන් කර ගෙන ගිය කාන්තාවන්ගේ ප්‍රමාණය 12ක් බව පොතේ සටහන් වී තිබිණි.තව පස් දෙනෙක් ගබ්සාවන් අපේක්ෂාවෙන් එතැන රැදී සිටියහ.දවසකට කොපමණ ගබ්සාවන් ප්‍රමාණයක් කරන්නේද යන්න වටහා ගන්නට මීට වඩා තොරතුරු නැතුවත් කමක් නැත.

අප මේ පැවසුවේ කටුනායක නිදහස් වෙළෙද කලාපයට තරමක් ආසන්නයේ පිහිටි එක් ගබ්සා මධ්‍යස්ථානයක් පිළිබදවය.මේ ප්‍රදේශයේ තිබෙන හැම ගබ්සා මධ්‍යස්ථානයක්ම මීට දෙවෙනි නැත.මේ ඊට එක් උදාහරණයක් පමණි.

ගබ්සාවක් ඉබේ කිසියම් හේතුවක් මත සිදු නොවුණොත් එය හිතා මතා කර ගැනීම නීති විරෝධීය.නවීන විද්‍යාවේ දියුණුව අනුව මවකගේ කුසේ පිහිටි කළලයෙහි ජාන පරීක්ෂාවක් මගින් එම දරුවා අඩුපාඩු සහිත විකෘති දරුවෙක්ද, මන්ද මානසික දරුවෙක්ද යන්න කලින් දැන ගැනීමේ හැකියාව තිබේ.නමුත් අපේ රටේ නීතියට අනුව එවැනි දරු කළලයක් වුවත් ගබ්සා කිරීමට අවසරයක් නැත.ගබ්සාවක් කර ගැනීම නීතියට එකග වන්නේ එම ගැබ මගින් මවගේ ජීවිතය අවදානමකට ලක් වීමක් සිදුවන්නේ නම් පමණි.එයද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු විසින් සහතික කළ යුතුය.නමුත් අපේ රටේ දළ වශයෙන් දිනකට ගබ්සාවන් 700ක් පමණ සිදු වෙයි.ඒ වාර්තා වී ඇති ප්‍රමාණයයි.වාර්තා නොවූ ප්‍රමාණය මීට වඩා කිහිප ගුණයකින් ඉහළ වීමට ඉඩ තිබේ.

සංඛ්‍යා ලේඛන වලට අනුව නීති විරෝධී ගබ්සාවන් කරවා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගෙන් 60%ක් විවාහක අය වෙති.අවිවාහක කතුන්ගේ ප්‍රමාණය ඒ අනුව 40% කි.වයස් ප්‍රමාණය අනුව බැලුවොත් වැඩිපුරම නීති විරෝධී ගබ්සාවන් වලට යොමු වන්නේ වයස 20ට අඩු තරිණියන් හා 35ට ඉහළ කතුන්ය.අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් බොහෝ විට ප්‍රේමය යනු කායික සම්බන්ධතා ලෙස වරදවා වටහා ගත් සහ අධ්‍යාපන මට්ටමින් අඩු අයයි.35ට වැඩි කතුන් අනපේක්ෂිත ලෙස ගැබ්ගත් අය වන අතර ඔවුහු තවත් දරුවකු අවශ්‍ය නොවන අය වෙති.

මේ කාණ්ඩවලට අයත් නොවන අනෙකුත් වයස්වල කාන්තාවන් අතර නීති විරෝධී ගබ්සා අඩු වීමට හේතුව ඔවුන් දැන උගත්, සදාචාර සම්පන්න
ය වීමම නොවේ.මේ වයස් වල අය බොහොමයක් උපත් පාලන ක්‍රම අනුගමනය කරන බව පෙනේ.උපත් පාලන පෙති, එන්නත, සැක සහිත එක් වීමකින් පසුව පැය 72ක් ඇතුළත ගන්නා පෙති, පිරිමින් කොණ්ඩම භාවිතා කිරීම මේ අතර සුලබය.මින් වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ එන්නත සහ පැය 72ක් ඇතුළත ගන්න පෙති වර්ගයයි.පෙති කෙසේ වෙතත් ඩිපෝප්‍රොවේරා එන්නත සාමාන්‍යයෙන් දෙනු ලබන්නේ දරුවකු බිහි කළ කාන්තාවකට පවුල සැලසුම් කිරීම සදහාය.නමුත් අවිවාහක, එකම දරුවකුවත් බිහි නොකළ කතුන් දැන් බහුල ලෙසම මේ එන්නත ලබා ගන්නා බව වාර්තා වෙයි.මෙසේ වී තිබෙන්නේ දැන් බොහෝ තරුණියන් විවාහයට පෙර පෙම්වතුන් හා කායික සම්බන්ධතා පැවැත්වීම බහුල බැවිනි.විශේෂයෙන් පිට පළාත්වලින් පැමිණ නගර ආසන්නයේ නැවතී රැකියා කරන තරුණියන් පෙම්වතුන් සමග එකට ජීවත් වීම වර්තමානයේ වැඩි වී ඇත.මේ තත්වය වඩාත් බහුල ලෙසම වර්ධනය වී තිබෙන්නේ නිදහස් වෙළෙද කලාපයේය.අප කළ සමීක්ෂණයකට අනුව කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පිහිටුවා ඇති වෛද්‍ය මධ්‍යස්ථාන වලට ඩිපෝප්‍රොවේරා පවුල් සැලසුම් එන්නත් සපයනු ලබන අලෙවි නියෝජිතයෙකු හෙලි කර සිටියේ තමා වැඩිම ආදායමක් ලබනුයේ වෙළෙද කලාපයේ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් බවය.ඔහු සදහන් කර සිටි අන්දමට කටුනායක වෙළෙද කලාපයේ වෛද්‍ය මධ්‍යාස්ථාන වලට පමණක් මෙම තුන් මාසයේ පවුල් සැලසුම් එන්නත් ඔහු විසින් බෙදා හරින ප්‍රමාණය මසකට පහලොස් දහසකි.ඒ අනුව කොපමණ සංඛ්‍යාවක් මාස තුනකට වතාවක් මෙම එන්නත විද ගන්නේද යන්න දළ වශයෙන් සිතා ගත හැකිය.ඊට අමතරම පැය 72කට වරක් ගනු ලබන පෙති ද බොහෝ ජනප්‍රිය වී තිබේ.මේ එන්නත් හා පෙති ලබා ගන්නා අයගෙන් විශාල ප්‍රමාණයක් අවිවාහක තරුණියන් වීම මෙහි ඇති බරපතලම ඛේදවාචකයයි.අපේ රටේ සදාචාරය පහල බැස ඇති තරම කොතෙක්ද යන්න ගණනය කිරීම මෙමගින් අසීරු නොවේ.

සදාචාරය පහල බසින වේගයට සාපේක්ෂව ගබ්සා මධ්‍යස්ථාන ඉදිවන වේගයද ඉහළ යයි.එනිසා ගබ්සා මධ්‍යස්ථාන අතර ඇත්තේ ලොකු තරගයකි.ඉහත සදහන් කල ගබ්සා මධ්‍යස්ථානයත් ඊට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි තවත් ගබ්සා මධ්‍යස්ථානයකත් දෙපිරිස අතර ඊට ටික කලකට උඩදී ගුටි කෙළියක් ගිය බවටද දැන ගන්නට ලැබිණ.ඊට හේතුව එක ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුව අනෙක් ගබ්සා මධ්‍යස්ථානයෙන් සන්තෝෂම් මුදල් ලබන ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු විසින් හරවා අනික් ගබ්සා මධ්‍යස්ථානයට යැවීමය.ගබ්සා මධ්‍යස්ථාන වලට කාන්තාවන් රැගෙන ඒමේදී ත්‍රීරෝද රථ රියදුරන්ට සන්තෝෂම් මුදලක් ලැබේ.විශේෂයෙන් අනෙක් ගබ්සා මධ්‍යස්ථානයෙන් සූක්ෂම ලෙස හරවා ගෙන ගනුදෙනු කරුවකු රැගෙන ආවොත් සන්තෝෂම් මුදල වැඩිය.මේ නිසා මේ පිරිස් අතර නිතර ගැටුම් හට ගැනීමද බොහෝ සාමාන්‍ය තත්වයකි.

ඇතැම් සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ද තමා ලගට පැමිණෙන කාන්තාවකට ගබ්සාවක් නොකරම බැරි අවස්ථාවක් යෙදුණොත්, එය අපේ රටේ නීතියට එකග නැත්නම් මානුෂීය හේතූන් මත සලකා රහසේම මෙවැනි ස්ථානවලට එම කතුන් යොමු කරන්නේ වෙන කරන්නට දෙයක් නැති තැනය.මේ අනුව එම වෛද්‍යවරුන්ට මු
ල් ත්‍යාග, වර්ෂාවසානයේ තෑගි භාණ්ඩ වැනි දෑ ගබ්සා මධ්‍යාස්ථාන පවත්වා හෙන යන්නවුන් වෙතින් හිමි වෙයි.

කෙසේ වුවද අපේ රටේ ගබ්සා සිදු වන ප්‍රමාණය අනුව අවිවාහක කතුනට වඩා විවාහක කතුන්ගේ එය වැඩි බව සංඛ්‍යාලේඛන මගින් පැහැදිලිවේ.අවිවාහක කතුන්ට වඩා විවාහක කතුන්ගේ ගබ්සා කිරීම් වැඩි වීමට හේතු කීපයක්ම තිබේ.

විශේෂයෙන් මැදි වයසට එනවිට ඔවුන් කායික එක් වීම් සිදු වන වාර ගණන අඩුය.එවිට අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවීමට ඉඩ තිබේ.

එසේම වයස 40 ඉක්ම වූ කතුන් උපත් පාලන ක්‍රම ගැන දක්වන්නේ ද අඩු උනන්දුවකි.මේ නිසා ද අනපේක්ෂිත ගැබ් ගැනීම් ඇති විය හැකිය.

දරුවන් ලැබෙන වයසේ සිටින තරුණ කාන්තාවන් අනපේක්ෂිත ලෙස ගැබ් ගැනීමට බලපාන වෙනත් හේතු තිබේ.

දරුවකු බිහි කළ පසු බොහෝ කාන්තාවන්ට නැවත ඔසප් සෑදීම මාස කිහිපයක්ම ප්‍රමාද විය හැකිය.මේ නිසා බොහෝ කාන්තාවෝ උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන්නට ඔසප් සෑදෙන තුරුම බලා සිටිති.නමුත් ඔසප් නොසෑදුනාට එම කාලයේ ගැබ් ගැනීමේ හැකියාව නැතිවී යන්නේ නැත.එක්වීම අනාරක්ෂිත නම් නිසැක වශයෙන්ම ගැබක් හට ගැනීමට අවකාශ තිබේ.

අලුත උපන් බිළිදකු මව් කිරි බොන විටද දරු ගැබක් හට ගැනීම වළකින බවට මතයක් තිබේ.මේ මතයෙහි සත්‍යතාවය පවතින්නේ යම් දුරකටය.එනම් දරුවාගේ වයස මාස එකහමාරක් පමණ වනතුරු මේ ආරක්ෂාව තිබේ.ඉන් එහාට ඉබේ උපත් පාලනය වීමේ හැකියාවක් නොමැත.මේ පිලිබද නොදැනීම නිසාද කාන්තාවන් යළිත් ඉක්මණින් ගැබ් ගැනීම සිදු වෙයි.

දරුවා ලැබී මාස 3-4 කින් ඩිපෝප්‍රොවේරා එන්නත ලබා ගන්නට එන සමහර මවුවරුන් එම කාලයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වා තිබූ අයයි.නමුත් වැඩි දෙනෙක් ඒ බව වෛද්‍යවරයාට පවසන්නේ නැත.මේ නිසා එන්නත් විද ගත්තත් සමහරුන් ඒ වන විටත් ගැබ් ගෙන හමාරය.ඉන්පසු ඔසප් නොසෑදෙන විට එය ලගදී දරුවකු ප්‍රසූත කල නිසා සිදු වන්නක්ද නැතහොත් ගැබ් ගෙන දැයි වෛද්‍යවරයාට වුව කිව නොහැකි වෙයි.එම කා
න්තාවගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කළොත් ගැබ් ගෙන ඇති, නැති බව අනාවරණය කර ගත හැකිය.

ගබ්සාවක් කර ගැනීමට එන විවාහක කතුන් අතරින් අනෙකුත් කොටස වන්නේ අනියම් සම්බන්ධතා නිසා ගැබ්ගත් අයයි.

ගබ්සාව නීති විරෝධී වුවද රට පුරා හොර රහසේ පවත්වා ගෙන යන ගබ්සා මධ්‍යස්ථානවල සංඛ්‍යාව ඉහළ යාමක් මිස පහළ බැසීමක් නැත.නීතිය කරවන ඇතැම් නිලධාරීන් තුළ පවත්නා දුර්වලතා හේතුවෙන් මේ මධ්‍යස්ථා
ද යහතින් වැජඹෙයි.නමුත් මේ සමහර ගබ්සා මධ්‍යස්ථාන මස් කඩවලට දෙවෙනි නැත.

පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වරක් අප රෝහල වෙත පැමිණ තිබුණේ ඉතාම අසාධ්‍ය තත්වයෙනි.සෙප්ටිසීමියා රෝගයේ කම්පන තත්වය දක්වාම වර්ධනය වී තිබූ ඇය සිටියේ අසාධ්‍ය තත්වයේය.දින 12ක් දැඩි සත්කාර ඒකකයේ තබා ගෙන ප්‍රතිකාර කිරීමෙන් පසු ඇගේ තත්වය යහපත් අතට හැරිනි.ඇගෙන් කට උත්තරයක් ගන්නට ලැබුනේත් ඉන්පසුවය.

මේ කාන්තාව එක් දරු මවකි.දරුවාගේ වයස අවුරුදු එකහමාරක්වත් නැත.ඒ අතර ඇය අනපේක්ෂිත ලෙස යළි ගැබ් ගෙන තිබේ.ඇගේ ඥාති සොයුරියක් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ රැකියාව කරයි.මේ කාන්තාවගේ දරු ගැබ නැති කර ගන්නට උපදෙස් දුන්නේ එම ඥාති සොයුරියයි.ඒ අනුව ඇය තම බෝඩිමට මේ කාන්තාව ගෙන්වා ගෙන එම ප්‍රදේශයේ පිහිටි ගබ්සා මධ්‍යස්ථානයකට එක්කරගෙන ගොස් තිබුනි.ඉන්පසු ගබ්සාව සිදු කරන අතර ඇයට ප්‍රතිජීවක ඔසු ද ලබා දෙන ලදී.නමුත් දින කිහිපයකින් වෙව්ලමින් උණ ගැනීම හේතු කොටගෙන යළි ඇය ඒ තැනැත්තා වෙතම ගියාය.එහිදී ඔහු ඉන්ජෙක්ෂන් එකක් ලබා දී යළි ප්‍රතිජීව
ද දී තිබිණි.

එහෙත් තත්වය එන්න එන්නම නරක අතට හැරීම නිසා සුවයක් නම් තිබුණේ නැත.ඇය සිහි මද තත්වයට පත් වූ අතර කෙටි හුස්ම ගැනීම, ඇග සුදු මැලි වීම, සිහින් දහඩිය දැමීම වැනි ලක්ෂණ ද පල කළාය.මේ නිසා බියට පත් ඥාති සොහොයුරිය වහාම ඇය රෝහල් ගත කරන ලදී.මේ කාන්තාව සිටියේ සෙප්ටිසීමියා කම්පන තත්වයට ආසන්නවය.ඊට හේතුව ගබ්සා කිරීමේදී කළලයේ කොටස් ඉතිරි වී තිබීමය.ඒවා පැසවා ඇයට සෙප්ටිසීමියා තත්වය වැළදී තිබිණි.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තබාගෙන දින 12ක් ප්‍රතිකාර ලබා දීමට තරම් අසාධ්‍ය තත්වයක හිදීමෙන් එම ගබ්සාවේ බරපතලකම වටහා ගැනීමට හැකි වේයැයි සිතමු.ඒ කාන්තාව ඒ අයුරින් හෝ එම මොහොතේ මරණයෙන් මිදුණාය.එසේ වුවද මෙබදු අනාරක්ෂිත ගබ්සාවන් නිසා දිවි තොර වන කතුන්ගේ ප්‍රමාණය සුලුපටු නැත.නමුත් නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන එදා මෙන්ම අදත් සුවසේ වැරඹෙයි.හෙටත් එය එසේම වනු ඇත.

3 comments:

  1. //ඒ අනුව කොපමණ සංඛ්‍යාවක් මාස තුනකට වතාවක් මෙම එන්නත විද ගන්නේද යන්න දළ වශයෙන් සිතා ගත හැකිය.ඊට අමතරම පැය 72කට වරක් ගනු ලබන පෙති ද බොහෝ ජනප්‍රිය වී තිබේ.මේ එන්නත් හා පෙති ලබා ගන්නා අයගෙන් විශාල ප්‍රමාණයක් අවිවාහක තරුණියන් වීම මෙහි ඇති බරපතලම ඛේදවාචකයයි.අපේ රටේ සදාචාරය පහල බැස ඇති තරම කොතෙක්ද යන්න ගණනය කිරීම මෙමගින් අසීරු නොවේ.//

    උපත් පාලනය සහ අනවශ්‍ය දරු උපත් වලක්වාගැනීමෙන් සදාචාරයට කෙල වන්නේ කොහොමද?

    ReplyDelete
  2. ගබ්සාව මින් පෙර දීර්ඝලෙස බ්ලොගවකාශයේ කතා කරන ලද මාතෘකාවකි. නමුත් ඒ කිසිවකින් ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය සාකච්ඡාවට නොගන්නා ලදී. මෙය සෞඛ්‍ය හෝ සදාචාර ප්‍රශ්නයකට වඩා සමාජ ආර්ථික ගැටළුවකි. නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන වැටලූ පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. මේ ලිපිය වැනි සරල ලෙස ප්‍රශ්නය මතුපිටින් ගෙන සාකච්ඡා කිරීමකින් වන්නේ එය තවත් උග්‍ර වීම පමණකි.

    දෙවනුව මෙහි ඇති සංඛ්‍යා ලේඛන බොහොමයක් වැරදිය. ඒවායේ මුලාශ්‍ර දක්වන්නේ නම් කෘතඥ වෙමි.

    ReplyDelete
  3. @ taboo

    මෙහි ඇති සංඛ්‍යා ලේඛණ වැරදි බව ඔබ කියයි. ඔබේ නිවැරදි සංඛ්‍යා ලේඛණ සහ එහි මූලාශ්‍රයන් දක්වන්න

    ReplyDelete