Tuesday, March 30, 2010

පවුල් අවුල් කරවන ලිංගික විකෘතිතා

විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා සමග කළ සාකාච්ඡාවක් ඇසුරිනි.

බොහෝ දේවල් සම්බන්ධයෙන් මෙන්ම ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් ද පිළිගත් ආචාර ධර්ම ඇත.සදාචාරයට පටහැනි වුවත් අනියම් සම්බන්ධතා වුවද අසාමාන්‍යතාවන් ලෙස නොසැලකේ.නමුත් කෙනෙකුගේ ලිංගික ක්‍රියාවකින් ඒ පුද්ගලයාට මෙන්ම අනෙක් අයටත් කායික හෝ මානසික හිරිහැරයක් වන්නේ නම් එය ඒ පුද්ගලයාගේ ලිංගික අසාමාන්‍යතාවයක් හෙවත් විකෘතිතාවයක් ලෙස නම් කළ හැකිය.මේවා මනෝ වෛද්‍ය විද්‍යාවේ මුලදී හැදින්වූයේ ලිංගික අවවර්තන(Sexual deviations) ලෙසිනි.නමුත් දැන් ඒවා "ලිංගික කැමැත්තෙහි පවත්නා ආබාධ"(Disorders of sexual preference.) ලෙස මනෝ වෛද්‍ය විද්‍යාව අරුත් දක්වයි.

ලිංගික අවවර්තන රාශියක් වෙයි.මේවා 99.9%ක්ම වැළදෙන්නේ පිරිමින්ටය.මෙමගින් බොහෝ කාන්තාවෝ පීඩාවට පත්වෙති.

අපේ රටේ පාලු පාරක තනිව ගමන් කරනා කාන්තාවකට හදිසියේම එම පාරේ කිසිවකුට වැඩිපුර නොපෙනෙන ස්ථානයක නතර වී හිදින පිරිමියකු තමන් ඇද සිටින ඇදුම නිරාවරණය කොට ලිංගේන්ද්‍රිය පෙන්වන්නට සලස්වා ලිංගිකත්වය සම්බන්ධ වදන් පිට කිරීම ඉතා සුලභව දැකිය හැකි තත්වයකි.එහිදී එම කාන්තාව බියට, චකිතයට, අපහසුවට හා ලැජ්ජාවට පත් වන අතර ඇගේ එම ක්ෂණික චිත්තාවේග මගින් ඇති වන වෙනස, කලබලකාරී බව දකින එම පුද්ගලයා එතුළින් ලිංගික තෘප්තිය ලබයි.ඒ අප රටේ බහුලව දකින්නට ලැබෙන ලිංගික අවවර්තනයකි.

ඉහත කී ලිංගික අවවර්තනය මනෝ වෛද්‍ය විද්‍යාවේ හැදින්වෙන්නේ "ප්‍රදර්ශනකාමය"(Exhibitionism) ලෙසිනි.ජනයා නොගැවසෙන පාලු පාරක් වැනි ස්ථානයක නතර වී නන්නාදුනන කාන්තාවකට සිය ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කිරීම, ප්‍රදර්ශනකාමයේ ස්වභාවයයි.එම තැනැත්තා කරන ක්‍රියාවට කාන්තාව දක්වන දැඩි ප්‍රතික්‍රියා ඔහුගේ ලිංගික තෘප්තිය පිණිස හේතුවනු ඇත.මෙසේ ලිංගික තෘප්තියට පත්වනු මිස ඒ තැනැත්තා එකී කාන්තාවට ලිංගික අතවරයක් කිරීමට පෙලඹෙන්නේ නැත.ඊට හේතුව ඔහු තුළ ඇති ලිංගික විකෘතිතාවය නිසා ඔහු කාන්තාවක් සමග ලිංගිකව එක් වීමෙන් තෘප්තියක් ලැබීම වෙනුවට මේ ආකාරයට සතුටක් ලැබීම ප්‍රිය කරන බැවිනි.

ඕනෑම සමාජයක, ඕනෑම සංස්කෘතියක ප්‍රදර්ශනකාමයෙන් පෙලෙන්නෝ සිටිති.නමුත් මේ පිරිමින් ඕනෑම කාන්තාවක් ඉදිරියේ තම ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගන්නේද නැත.තමන්ට පහර කෑමට සිදු නොවෙතැයි අනුමාන කරන කාන්තාවක් ඉදිරෙයේ ඔවුහු මෙසේ රහස් ඉන්ද්‍රිය ප්‍රදර්ශනය කරති.

ප්‍රදර්ශනකාමයෙන් පෙලෙන පිරිමින් තුළ බොහෝ විට තවත් ලිංගික අවවර්තනද තිබිය හැකිය.අපි ඒ ගැනත් මදක් විමසා බලමු.

මුහුණේ එක් පැත්තක ඇලවූ පැලැස්තරයක් හා එක් අතක වැලමිටෙන් පහල සිට මැණික් කටුව දක්වා වෙලන ලද බැන්ඩේජ් පටියක් ද සහිතව තරුණ පිරිමි අයකු මනෝ වෛද්‍යවරයාගේ කාමරයට ඇතුලු වූයේ ඔහුගේ බිරිද යයි සිතිය හැකි තරුණ කාන්තාවක් ද සමගිනි.

ඔහුගේ මුහුණට සහ අතට සිදුවූයේ කුමක්දැයි වෛද්‍යවරයා ඇසූ විට "පොඩි සිද්ධියක් වුනා ඩොක්ටර්" යනුවෙන් කියා ඔහු නිහඩ වූවා පමණි.ඔහුගේ කතාවෙහි ඌන පූරණය කළේ බිරිදය.

"මේ මනුස්සයට තියෙනවනේ ඩොක්ටර් අමුතුම විදිහේ ලෙඩක්."බිරිද කීයේ තරහ මුසු හඩිනි.

ඇය ඉන්පසුව කී දීර්ඝ විස්තරයට අනුව මේ තැනැත්තා මෑතකදී විවාහ වූවෙකි.නමුත් එම බිරිද කී පරිදි ඔහුට ඇය සමග කායික සම්බන්ධතා පැවැත්වීමට වැඩි උනන්දුවක් නැත.යෝජනාවක් මත ඇය හා විවාහ වී තිබූ මේ තරුණයා තමන් ගැන වැඩි උනන්දුවක් නොදැක්වීමට හේතුව කුමක්දැයි බිරිදට වටහා ගත හැකි වූයේ නැත.දිනක් ඔහු පිරිමින් කිහිප දෙනෙකුගෙන් හොදහැටි පහර කෑම නිසා වෙනත් අසල්වැසි පුද්ගලයකු විසින් ගෙදරට ගෙනත් ඇරලවන ලද්දේ ඔහු පිළිබදව අප්‍රසන්න රහසක්ද හෙළි කරමිනි.ගමේ ලිදක තරුණියන් දෙදෙනෙකු නාමින් සිටියදී ඔහු ඒ අසල උණ පදුරකට මුවා වී එය නරඹමින් හිද තිබේ.එතැනින් යන්නට ආ එක තරුණියකගේ සහෝදරයකු හා ඔහුගේ මිතුරෙකු මේ සිද්ධිය දැක ඔහුට හොදහැටි පහර දී ඇත.වෙනත් අසල්වැසියෙකු මේ තැනැත්තාව නිවසට ඇරලවා ඇත්තේ එසේ පහර කා වැටී සිටියදීය.

මෙයද ඉහත බදුම ලිංගික අවවර්තනයකි.එය හදුන්වන්නේ "දර්ශාස්වාදය"(Voyeurism) ලෙසය.

කාන්තාවන් දිය නාන විට, ඇදුම් මාරු කරන විට ආදී වශයෙන් ඇගේ ශරීර අභ්‍යන්තරය යම් පමණකට නිරාවරණය විය හැකි අවස්ථාවලදී ඒ දෙස හොරෙන් බලා හිදීමෙන් ලිංගික තෘප්තියක් ලැබීම මේ මානසික ආබාධයේ ස්වභාවයයි.

සමාන්‍යයෙන් කාන්තාවන්ගේ ශරීරයේ වැසී ඇති කොටස් පිලිබදව පිරිමින් තුළ කුතුහලයක්, උනන්දුවක් පවතියි.එනිසාම ඒ කෙරෙහි පිරිමින්ගේ ආකර්ශනයද වැඩිය.කිසියම් අවස්ථාවක එනම් නාන විට, ඇදුම් මාරු කරන විට ආදී වශයෙන් කාන්තාවකගේ සිරුරේ වැසී ඇති කොටස් දකින විට නව යොවුන් පිරිමින් තුළ ලිංගික උත්තේජනයක් ඇති වෙයි.නමුත් ඔවුන් තවත් වර්ධනය වී ප්‍රේම සම්බන්ධතා ආදිය ඇති කර ගත් පසු නව යොවුන් වියේදී තරම් කාන්තාවක් ස්නානය කරනු දකින විට, ඇදුම් මාරු කරනු දකින විට ලිංගික ඇවිස්සීමක් සිදු වන්නේ නැත.

ඒ සමාන්‍ය තත්වය වුවත් ටික දෙනෙකුට මෙය පුරුද්දක් බවට පත් විය හැකිය.කාන්තාවක් කිසිසේත් බලාපොරොත්තු නොවන අවස්ථාවක සැගවී සිට ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් බලමින් ලිංගික ආශ්වාදයක් ලැබීම මේ දර්ශාස්වාදයේ ස්වභාවයයි.

ප්‍රදර්ශනකාමය මෙන්ම දර්ශාස්වාදයත් බොහෝ විට එක පුද්ගලයකුට පිහිටීමට පුලුවන.මේවා මානසික රෝග වශයෙන්ම නොසැලකෙතත් යම් කෙනෙකුට මෙය ඇබ්බැහියාවක් බවට පත් වීමේ ඉඩකඩක් තිබේ.ඒවා ලිංගිකත්වය සම්බන්ධ විකෘති තත්වයන්ය.එවැනි දේකින් සතුටක් ලබන පිරිමියකුට කාන්තාවක් සමග කායිකව එක් වීමෙන් එතරම් සතුටක් ලැබීම අසීරුය.එවිට එම කාන්තාව ඔහු නිසා සිත් වේදනාවට, කලකිරීමට පත් විය හැකිය.

ප්‍රදර්ශනකාමය, දර්ශාස්වාදය වැනි බොහෝ ලිංගික අවවර්තන පවතින අය පෞරුෂ ඌනතාවය සහිත පුද්ගලයන් වෙති.ඔවුන් සමාජශීලී නැත.දක්ෂතාවයන්ද අඩු අයයි.කාන්තාවන් ඉදිරිපිටදී අපහසුතාවයට පත් වන මේ පුද්ගලයන් තුළ බොහෝ විටම සමාජ භීතිකාවද(Social phobia) පවතිනු ඇත.

මෙවැනි ලිංගික විකෘතිතාවයන් සහිත පුද්ගලයන් විවාහ වුවත් ඔවුනට බිරිද සමග එක් වීමෙන් නියම ලිංගික සතුට නොලැබෙන නිසා බිරිදටද අසාධාරණයක් සිදුවේ.එනිසා ඔවුන්ගේ පවුල් ජීවිතය අසාර්ථක විය හැකිය.

එසේම ඔවුන් මෙවැනි ක්‍රියාවල යෙදීමේදී අන් පුද්ගලයන් වෙතින් පහර කෑමට ද ලක් වනු ඇත.කොතරම් පහර කෑම් වලට ලක් වුනත් ඔවුන්ට මේ පුරුද්දෙන් මිදිය නොහැකිය.එනිසා සුදුසුම දෙය මෙවැන්නන් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීමය.මන්ද මෙම ලිංගික අසාමාන්‍යතා නිසා ඒ පුද්ගලයා අපහසුවට පත්වන අතරේ බිරිද කළකිරීමටත්, පවුලේ සියලු දෙනාම තදබල ලජ්ජාවටත් පත් වන නිසාය.දිගු කලක් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තුලින් මෙම තත්වයන් සුව කළ හැකිය.


5 comments:

  1. බොහෝ දෙනා ඔබේ ලිපිය කියවීමට පැමිණ ඇතිබව පෙනුනත්, ප්‍රතිචාරයක් දැක්වීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත. ඒ ඔබේ ලිපියේ නොවැදගත් කම නිසා බව නොසිතමි. (කමෙන්ට්ස් ලැබෙන්නේ ලිපියක ගුණ අගුණ අනුව නොවේ. එය වෙනම කතා කලයුතු කරුණකි) ඔබ කතා කරන්නේ සමාජයේ බහුලව දක්නට ලැබෙන කාරණා ගැන වුනත්, (දිනපතා පුවත්පතක් ගෙන බැලුවොත් ඔවැනි සිද්ධීයක් සොයාගැනීම අපහසු නැත) ඒවා ප්‍රසිද්ධියේ කතා නොකලයුතු දේවල් යැයි හංවඩු ගැසී ඇත. කොටින්ම ඕවා 'චීයා' මාතෘකාය. කෙසේ වුවත් කාට කාටත් තම තමන්ගේ මානසික තත්ත්වයන් ගැන ස්වයං විවේචනයක් කර ගැනීමට ඔබේ ලිපි පෙළ මනා පිටිවහලක් වනු ඇත.

    ReplyDelete
  2. අද කාලේ සමලිංගිකත්වයත් ගොඩාක් වැඩි වෙලා.
    ඉස්සර මේක හොරාවට තිබුනේ. නමුත් දැන් දැන් මේක ෆැෂන් එකක් කරගෙන.
    ඒකත් මම හිතනවා මේ මාතෘකාවට අදාලයි කියලා.
    අනික තමා නිල් චිත්‍රපට.
    මේවායේ තියෙන දෑ එලෙසින්ම ක්‍රියාවට නගන්නට ගොසින් පවුල් අවුල් කර ගත් ඈයෝ ඕනෑ තරම් සොයා ගත හැකිය.
    මේ ගැන සංවාදයට බොහෝ දෙනා බිය වන්නේ "ඒකා පාහරයා.. බල්ලා... වලත්තයා..." යන නම් පට බැඳේය කියා ඇති බියටය.
    නමුත් මෙය සැබෑවකි.
    වැඩිහිටි අපට රිසි සේ සංවාද විවාධ කළ හැකිය.

    /බිඟුවා...!

    ReplyDelete
  3. @ බංඩා - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    ඔබ කියූ ආකාරයටම මෙවැනි දේවල් ලිවීම බොහෝ දෙනෙකුට "චීයා" මාතෘකාය.එමෙන්ම මෙවැනි දේවල් ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් ඔහු "වලත්තයකු" ලෙසද සමාජයේ හංවඩු ගැසේ.

    ReplyDelete
  4. @ බිඟුවා - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.ඔබ කියූ දේවල්වලට එලෙසින්ම එකග වෙමි.

    ReplyDelete
  5. All Sri Lankan Bloggers invited to join the
    one and only Multi lingual
    DIRECTORY OF SRI LANKAN BLOGGERS
    Orchids
    http://www.orchidslk.co.nr/

    ReplyDelete