Friday, April 30, 2010

ඔබට නොදැනෙන සේ නිහඩව වැඩෙන රෝග තුනක්

උපදෙස් - වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි.


සාමාන්‍යයෙන් අපට කිසියම් රෝගයක් වැළදී ඇතැයි අනුමාන කළ හැකි සංඥාව වන්නේ වේදනාවක් දැනීමයි.එම වේදනා වැනි කායික බලපෑම්, කැක්කුම් මුල් කරගෙන වෛද්‍ය පරීක්ෂණ කළ විට අපට වැළදී ඇති රෝගය හදුනා ගැනීමට වෛද්‍යවරයාට හැකිවේ.


නමුත් සෑහෙන කලක් යන තුරුම වේදනා, කැක්කුම් වැනි බාහිර සංඥා කිසිවකින් තොරව ශරීරය තුළ නිහඩව වර්ධනය වන රෝග තත්වයක්ද තිබේ.අධික රුධිර පීඩනය, දියවැඩියාව හා අධික කොලෙස්ටරෝල් ඒවා අතරට අයත් වෙයි.මේවා පහර දීමට අවස්ථාව ලැබෙන තුරු අප නිවෙස් තුළ ගුලි ගැසී බලා හිදින විශඝෝර සර්පයන් මෙනැයි කීම නිවැරදිය.බොහෝ විට මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් පළ නොකරමින් ශරීරය තුළ වැඩෙන මෙබදු රෝග තමන්ට ඇති බව රෝගියා මුලින්ම දැන ගන්නේත් වෙනත් රෝග සදහා වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වන විටය.


එහිදී මෙබදු අවදානමක් ඇතැයි වෛද්‍යවරයා මුල් වරට රෝගියා දැනුවත් කරනු ඇත.නමුත් විශේෂ රෝග ලක්ෂණ නොදැනෙන නිසා එය සැලකිය යුතු රෝගයක් ලෙස බොහෝ දෙනෙක් නොසිතති.ඒ අනුව රෝගියා ඒ පිළිබදව තැකීමක් නොකර තමන්ගේ එදිනෙදා සාමාන්‍ය කටයුතුවල නියැලෙනු ඇත.එහි ප්‍රතිඵලය වන්නේ රෝගය කලක් තිස්සේ නිහඩව සිරුර තුළ වර්ධනය වීමය.පසුව ඒවාට සම්බන්ධ රෝග ලක්ෂණ පළ කරන කාලය වන විට රෝගය බොහෝ සෙයින් වර්ධනය වී හමාරය.


අධික රුධිර පීඩනය.


මෙය බොහෝ විටම හදුනා ගැනීමට ලැබෙන්නේ වෙනත් රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා විසින් රුධිර පීඩනය මැන බලන විටදීය.එසේ නැත්නම් අලුතෙන් රැකියාවකට යාමේදී වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන්නට සිදු වූ විටය.


අධි රුධිර පීඩනයද මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් පළ කරන්නේ නැත.මේ හේතුව නිසා කෙනෙකු තමන්ගේ වයස අවුරුදු 40 පමණ වන විට ශරීර සෞඛ්‍යයට අදාළ මූලික පරීක්ෂාවන් කර ගැනීම ඉතා වැදගත් වෙයි.රෝග ලක්ෂණ පහල නොවී ශරීරය තුළ පවතින අධි රුධිර පීඩනය එමගින් හදුනා ගැනීමට හැකියාව ලැබේ.


මෙම රෝගයේදී සිරුරට රුධිරය සැපයීම නිසි ලෙස සිදු නොවීම මත වෙනත් ඉන්ද්‍රියන්ට බරපතල හානි පැමිණෙයි.අධි රුධිර පීඩන වර්ග 2කි.

1. ශාරීරික හේතුවක් නැතිව ඇතිවන අධි රුධිර පීඩනය.(Essential hyper tension.)

2. ශරීරය තුළ වෙනත් හේතුවක් නිසා ඇතිවන අධි රුධිර පීඩනය.(Secondary hyper tension.)



මින් පළමු කී වර්ගය හට ගැනීම සදහා ශරීර අභ්‍යන්තරයෙහි කිසිදු හේතුවක් බල නොපාන අතර, බාහිර හේතු, එනම් තරබාරුකම, මානසික අසහනය, මත්පැන් පානය, අධික ලුණු භාවිතය වැනි තත්වන් මෙයට හේතු වෙයි.නමුත් මේ කිසිවක්ම නොමැතිව පරම්පරානුගතවද කෙනෙකුට මේ වර්ගයේ අධි රුධිර පීඩනය වැළදිය හැකිය.


දෙවන වර්ගය වැළදෙන්නේ ශරීරය තුළ පවතින වෙනත් හේතුවක් නිසාවෙනි.වකුගඩු වලට අදාළ ඇතැම් රෝග, ශරීරයේ හෝමෝන සම්බන්ධ වෙනත් තත්වයන්, හෘදයට සම්බන්ධ සමහර රෝග තත්වයන්, සමහර ඖෂධ ආදිය මීට බලපාන හේතූන්ය.


මෙහිදී ඉහත කී හෝමෝන සම්බන්ධ රෝග තත්වයන් පිළිබදව විස්තර කළහොත් විවිධ හේතු නිසා හෝමෝන ශ්‍රාවය කරන ඉන්ද්‍රියන් වැඩියෙන් හෝමෝන ශ්‍රාවය කිරීම මේ සදහා බලපායි.නිදසුනක් ලෙස ඇඩ්‍රිනලින් ග්‍රන්ටියෙන් අධිකව හෝමෝන ශ්‍රාවය වීම දැක්විය හැකිය.අප කෝප ගන්නා විට ශරීරයේ ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වෙයි.ඒ අනුව නිතර කෝප ගන්නා අය තුළ අධි රුධිර පීඩනය වැළදීමට ඇති හැකියාව වැඩිය.


කෙසේ වෙතත් අධි රුධිර පීඩනය වැළදුනු මුල් අවුරුදු කීපය තුළ රෝග ලක්ෂණ පළ නොකළත් රෝගය නිසා ශරීර අභ්‍යන්තරයට සිදුවන හානිය ඒ අයුරින්ම සිදුවේ.නොඑසේ නම් අධික රුධිර පීඩනය නම් සතුරා නිහඩව ඔබේ සිරුර තුළ ක්‍රියාත්මක වෙයි.ඒ නිසා කල් තබා රෝගය දැන ගැනීමෙන් ඖෂධ මගින් එය පාලනය කර ගැනීමට හැකි වන අතර, ඒ නිසා රෝගයෙන් වන සංකුලතාද අවම කර ගැනීමේ හෝ වළක්වා ගැනීමේ හැකියාව ලැබේ.

අවුරුදු 40 පසු වූ මුල් කාලයේදී මේ පිළිබදව පරීක්ෂා කර දැනගත් පසු එය නිතර නිතර කර බැලිය යුතුද, වසර 2-3 කින් පරීක්ෂණ කිරීම ප්‍රමාණවත්ද යන කරුණු වෛද්‍යවරයා වෙතින් දැනගත හැකිය.



දියවැඩියාව.


මේ රෝගයේදී සිදු වන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමය.


දියවැඩියාවද Type A සහ Type B යනුවෙන් වර්ග 2 කි.


Type A ශරීරයේ ඉන්සියුලින් මද වීම හේතු කොට ගෙන මුල් කාලයේදී ඇති විය හැකිය.

Type B ජීවිතයේ මැදිවයසේදී හට ගනියි.



මේ වර්ග දෙකේදීම රෝග ලක්ෂණ ලෙස නිතර දැනෙන පිපාසය, අධිකව මුත්‍රා පිටවීම, රාත්‍රියේදී කිහිපවරක් නින්දෙන් නැගිට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වීම වැනිදෑ දැකිය හැකිය.මෙබදු ලක්ෂණ පවතියි නම් අනිවාර්යයෙන්ම දියවැඩියාව තිබේදැයි යන්න දැන ගැනීම සදහා රුධිර පරීක්ෂණයක් කරවා ගත යුතුය.

නමුත් මෙවැනි කිසිදු ලක්ෂණයක් නැතිව වුවද දියවැඩියා රෝගය මුල් කාලය තුළ කෙනෙකුගේ ශරීරය තුළ පැනනගිනු ඇත.එයද ශරීරය තුළ ක්‍රියාත්මක වන නිහඩ සතුරෙකි.



දියවැඩියාව නිසි ලෙස ඖෂධ ගෙන පාලනය නොකළහොත් කරදර රාශියකට පසුව මුහුණ දීමට සිදුවනු ඇත.මේ රෝගය නිසා ශරීරයේ ස්නායු පද්ධතියට, වකුගඩු වලට, ඇස්වලට ආදී වශයෙන් වූ ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම හානි පැමිණේ.


ඇස්වල සුද මතුවීම මෙන්ම ඇස්වල ග්ලූකෝමා රෝගය හට ගැනීම තුළින් අන්ධභාවයට පත්වීම ආදිය දියවැඩියාවේදී බහුලව දැකිය හැකි අතුරු රෝග තත්වයන්ය.එසේම රුධිර වාහිනී අවහිර වීම(Atherosclerosis) නිසා හෘදයාබාධ, ආඝාත(Stroke) හට ගැනීමද මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකිය.


යම් පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇති බව හදුනාගත හැකි පරීක්ෂණයක් වන්නේ පැය 8ක් නිරාහාරව සිට ගන්නා රුධිරයේ සීනි පරීක්ෂාවයි.(Fasting blood sugar) මෙහිදී d1/mg 115 ට වැඩි අගයකින් රුධිරයේ සීනි ඇත්නම් ඒ පුද්ගලයා දියවැඩියා රෝගියකු ලෙස පිළිගත හැකිය.කෙසේ වුවද මේ අගය d1/mg 300 ට වැඩි වුවද කිසිදු දියවැඩියා රෝග ලක්ෂණයක් පළ නොකරන අය වෛද්‍ය පරීක්ෂණවලදී අපට මුණ ගැසී තිබේ.මෙය සාමාන්‍ය අගයට වඩා ඉතා වැඩි අගයක් වුවද මේ අය තුළ කිසිදු දියවැඩියා රෝග ලක්ෂණයක් පහල නොවීමට හේතුව කාලයක් තිස්සේ රුධිරයේ ඉහළ ගිය සීනි ප්‍රමාණයට අනුව ඔවුන්ගේ ශරීරය ඉබේම ඊට හැඩ ගැසීම(Adaptation) ය.මේ තත්වය ශරීරයට ඉතා අහිතකර වන අතර, මේ නිසා ශරීරයේ ඉන්ද්‍රියන්ට වෙන හානියද ඉක්මනින්ම සිදු වනු ඇත.අවසානයේ රෝගියා කිසිදු රෝග ලක්ෂණයක් පළ නොකර වුවද දියවැඩියා කෝමා(Diabetic coma) තත්වය හෙවත් මුර්ජාවට පත්විය හැකිය.මෙය ඉතා අනතුරුදායක තත්වයකි.

දියවැඩියාව නිසා ශරීරයේ ඉන්ද්‍රියන්ට හානියක් නොවී පවත්වා ගන්නට නම් ක්‍රමවත් ආහාර පුරුදු ඇති කර ගැනීම, ව්‍යායාම හා ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම නිසි අයුරින් කළ යුතු වෙයි.මේ නිසා ඇස්, වකුගඩු, හෘදය ආදී වශයෙන් වූ එක් එක් ඉන්ද්‍රියන්ට අහිතකර බලපෑම් ඇති වී තිබේදැයි දැනගත හැකි වෛද්‍ය පරීක්ෂණ තිබේ.එමගින් මෙම රෝගය තුළින් ශරීරයට නිහඩව ඇති කරන හානිය හදුනා ගත හැකිය.



අධි කොලෙස්ටරෝල්තාවය.


ඉහත සදහන් රෝග අවස්ථා දෙකේදී මෙන් මෙම රෝගයේදී ද එකවර රෝග ලක්ෂණ මතු වන්නේ නැත.කුඩා රුධිර වාහිනී ඇතුළත මේදය තැන්පත් වී අවහිර වීම මෙහිදී සිදුවන අතර, එමගින් ඉන්ද්‍රියන්වලට රුධිරය සැපයුම නිසි පරිදි සිදු වන්නේ නැත.හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල මේදය තැන්පත් වී අවහිර වීම නිසා හෘද පේශිවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිර සැපයුම කිරීටක ධමනි මගින් නිසි ලෙස සිදු නොවේ.


වකුගඩුවලට රුධිරය සපයන කුඩා රුධිර නාලවල අවහිර වීම නිසා වකුගඩුවලට හානි පැමිණී එය අක්‍රිය වීම සිදුවනු ඇත.

මේ රෝග තුන සම්බන්ධ පරීක්ෂණ වයස අවුරුදු 40 දී පමණ සිදුකරගත යුතු අතර, පරම්පරානුගතව මේ රෝග පවුලේ කෙනෙකුට පවතියි නම් රෝග ලක්ෂණ පහල නොවී තිබුණත් වයස 40ට පෙර මේ රෝග තුන සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වීම අතිශයින් වැදගත්ය.



2 comments:

  1. බොහොම පිං මේ ගැන ලියුවට
    මට නං ඔය 3 ම තියෙනවා මන් හිතන්නෙ
    :(

    ReplyDelete