Saturday, May 15, 2010

දඩුගම් ඔයට වස මුසු කලේ කවුදැයි තවමත් හෙළිවී නැහැ

පසුගිය මැයි 07 සිකුරාදා අලුයම සිට ජාඇල දඩුගම් ඔයේ මත්ස්‍යයන් ලක්ෂ ගණනක් මිය යාමට හේතුව එහි ජලයට කිසියම් බරපතල විෂක් මුසුවීම බවට අනුමාන කෙරුණ ද එම විෂ ද්‍රව්‍යය පිළිබද තොරතුරු කිසිවක් මේ වන විට ද අනාවරණය වී නැත.


අත්තනගලු ප්‍රදේශෙයෙන් ඇරඹී අත්තනගලු ඔය යනුවෙන් නම් ලබා ජාඇල කොටුගොඩ ප්‍රදේශයේ සිට දඩුගම් ඔය වශයෙන් හැදිවෙමින් පමුණුගම දී මීගමු කලපුවට එක් වන මෙහි මසුන් හිටි හැටියේ මිය යාම වරින් වර සිදු වුවද මෙතරම් විශාල මත්ස්‍යය සංඛ්‍යාවක් එකවර මිය ගිය ප්‍රථම අවස්ථාව මෙය බව ප්‍රදේශවාසීහු පවසති.කොටුගොඩ ප්‍රදේශයෙන් පහල පිහිටි සීදූව පොලිස් වසමට අයත් ප්‍රදේශයේ සිට මීගමු කලපුව දක්වාම මෙම මසුන් මිය යාම සිදු වී තිබේ.ඊට හේතුව සීදූව ආසන්නයේ පිහිටි කිසියම් කම්හලකින් විෂ රසායන ද්‍රව්‍යයක් දඩුගම් දියට එක් කිරීම බව ප්‍රදේශවාසීන්ගේ අදහස වී තිබේ.


කලින් රුපියල් දෙසීයක් පමණ මිල වූ කොරලි මසුන් කිලෝවක් එම සිකුරාදා පෙරවරුවේ සිට හදිසියේ රුපියල් පනහ දක්වා මිල පහල වැටුණු මුත් දඩුගම් ඔයට විසක් මුසු වීම නිසා මත්ස්‍ය සංහාරයක් සිදුවන බව දැන ගත් ප්‍රදේශවාසීහු එම මසුන් ආහාරයට ගැනීමෙන් සේම දඩුගම් ඔයට බැසීමෙන්ද වැලකී ඇත.



එහෙත් මේ විෂ ද්‍රව්‍යය කුමක්ද?එහි ස්වභාවය සහ එම විෂවල ක්‍රියාකාරීත්වය කෙබදුද? යන්න මේ තාක් කිසිදු නිගමනයක් ලැබී නැත.එහෙත් මෙම ජලයට මුසු වී ඇති විෂ රසායනික ද්‍රව්‍යයන්ගේ අයහපත් බලපෑම මීගමු කලපුවට සේම මීගමුව ආශ්‍රිත මුහුදු තීරයට ද එල්ල විය හැකි බවටත් ඒ අනුව ඒ ජලජ පරිසරයන්හි මත්ස්‍ය අනුභවය මගින් මිනිසාට කෙටි කාලීන හා දිගු කාලීන අහිතකර ප්‍රතිවිපාක එල්ල විය හැකි බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.





No comments:

Post a Comment