Thursday, June 3, 2010

සමහරු තමන් ගැන මහා ඉහළින් සිතීම මානසික ආබාධයක්ද?

උපදෙස් - විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර.

මේ පසුගිය දිනයක එක්තරා කාන්තාවක් අප වෙත යොමු කළ ගැටලුවකි.අද කතා කරන්නට බලාපොරොත්තු වන මාතෘකාවට එය අදාළ වන නිසා අපි එම කාන්තාවගේ පැනයෙන්ම මේ සාකාච්ඡාව ආරම්භ කරමු. 


අප බැංකු ශාඛාවට අලුතින් පැමිණි කළමනාකාරවරිය නිතරම සිතන්නේ තමන් ගැනම පමණි.තමන් හැම විටම නිවැරදියි යන මතයේ හිදින ඇය ආයතනයේ සියලු දෙනා තමන්ට යටත් වී සිටිය යුතු බවක්ද හගවන්නීය.ආයතනයේ නීතිරීති, අණ පනත් වෙනුවට සේවකයන් සියලු දෙනා තමන්ට අවශ්‍ය පරිදි අවනත වී කටයුතු කළ යුතු යැයි ඇය තරයේම විශ්වාස කරයි.ඇගේ මෙම ස්වභාවය තේරුම් ගත් ආයතනයේ කිහිප දෙනෙකු ඇයට එකග වී කටයුතු කරති.එයින් ඇය තවත් ශක්තිමත් වී උඩගු වී සිටියි.තමන්ට අවනත නොවන සහ එකග නොවන අය පිළිබදව කිසිදු තැකීමක් නොකරන ඇය තමන්ට අවනත වී හිදින අය පිරිවරසේ සලකමින් එහි රාජිනිය ලෙස වැජඹෙන්නට උත්සාහ දරන්නීය.මෙය අනෙක් අයට විශාල පීඩනයකි.මෙවැනි තත්වයක් මනෝ විද්‍යාත්මකව විශ්ලේෂණය කළ හැකිද?


විසදුම


නාසිස්ම පෞරුෂ විෂමතාව (Narcissistic Personality Disorder) මේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙන තත්වයකි.මේ පෞරුෂ වර්ගයේ ස්වභාවය නම් ඉතාම ප්‍රභල ලෙසින් තමා තමාවම අගය කර ගැනීමයි.තමන් ඉතාම උසස් පුද්ගලයකු ලෙස මේ අය සිතා සිටින අතර, ජයග්‍රහනය පිළිබද, බලකාමය පිළිබද, තම බුද්ධිමට්ටම පිළිබද සීමා රහිත හැගීම් සහ අභිමානවත් හැගීම් ඇතිව ඔවුහු ජීවත් වෙති.තමන්ගේ බලය කොයි තරම්ද, තම රූපය කොතරම් යහපත්ද, බුද්ධිය කොතරම් උසස්ද යනුවෙන් නිරන්තරව තමන් ගන්නා තීරණ කොතෙක් නිවැරදිද ආදී වශයෙන් සිතන මේ අය අන්‍යයන්ගේ අවධානය යොමු කර ගන්නට නොකරන දෙයක් නැති තරම්ය.මොවුහු නිතරම අන් අයගෙන් උණුසුම් පිළිගැනීම් අපේක්ෂා කරති.නමුත් අනෙක් අය කෙරෙහි ඔවුන් එවැනි හැගීම් ඇතිව ක්‍රියා කරන්නේ නැත.


බොහෝ විටම මේ පෞරුෂ විෂමතාවය ඇත්තවුන් අනෙක් අයව තමන් වෙනුවෙන් පාවිච්චි කිරීමට යොමු වනු ඇත.නමුත් අනෙක් අය වෙනුවෙන් ඔවුන් ඒ ආකාරයට ක්‍රියා කරන්නේ නැත.නිරතුරුව සිතන්නේ තමා පමණක් උසස්, තමා පමණක් ඉස්මතු විය යුතුයි, අනෙක් අය තමා වෙනුවෙන් සිටිය යුතුයි යනුවෙනි.


විෂමතාබාධ (මායා රෝගී) පෞරුෂයට බෙහෙවින් සමීප නාසිස්ම පෞරුෂය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු පෞරුෂය විෂමතාවයකි. 


නාසිස්ම පෞරුෂ විෂමතාවය හැරුණු විට නාසිස්මය නමින් හදුන්වන ලිංගික අවවර්තන තත්වයක්ද තිබේ.මෙය Narcissism යනුවෙන් හදුන්වන අතර මෙහි අදහස නම් ස්වරූප රාගය යන්නයි.


ආදි කාලයේ සිටි තරුණයකු පොකුණක වැටී තිබෙන තමාගේම ඡායාව දැක ඒ කෙරෙහි බලවත් ආදරයක් උපදවා ගත්තේය.මෙම ලිංගික වවර්තන තත්වය නාසිසිසම් යනුවෙන් හැදින්වෙන්නේ ඒ අනුවය.තමන්ගේම නග්න ශරීරය දෙස කැඩපතිකින් බලා හිද රාගික හැගීම් උපදවා ගැනීම මෙම ලිංගික අවවර්තනයේ ස්වභාවය වන අතර මෙයට හුරු වූ කෙනෙකුට බාහිර දෙයකින් ලිංගික උත්තේජනයක් ලැබීම අසීරුය.කැඩපතකින් තම ශරීරය දෙස බලාගෙන එය ස්පර්ශ කරමින් යම් ක්‍රියාවක යෙදී එමගින් ලිංගික තෘප්තිය ලැබීම ඔවුන්ගේ ස්වභාවයයි.ඔවුන්ගේ සිහින ලෝකය තුළ රගන්නේ තමන්ගේම ශරීරයයි.


සමාන්‍යයෙන් බාල කාලයේදී හැම කෙනෙක්ම උනන්දු වන්නේ තමන්ගේ ශරීරය දෙසය.ඔවුනට එය කණ්ණාඩියකින් දුටුවිට අමුතුම සතුටක් ඇතිවේ.නමුත් ක්‍රමයෙන් වර්ධනය වන විට එම හැගීම් නැති වී යන අතර ඒ වෙනුවට සෙසු අයගේ ශරීර කෙරෙහි හැගීම් ඉපදීම සිදුවනු ඇත.කෙසේ වුවද නාසිස්මය යනු සුලබව දකින්නට ලැබෙන ලිංගික අවවර්තනයක් නොවේ.නමුත් නාසිස්ම පෞරුෂ විෂමතාවය නම් සමාජය තුළ ඉතා සුලබව දැකිය හැකිය.

2 comments:

  1. හොඳ ලිපියක් . . නොදැන සිටි යමක් ඉගෙන ගනන් ලැබුනා . . බොහෝම ස්තූතියි . .

    ReplyDelete
  2. @ දුකා - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete