Thursday, June 10, 2010

දරු ප්‍රසූතියෙන් පසු ඇතැම් මව්වරුන්ට වැළදෙන "වැදූ ගෙයි සන්නිය" යනු කුමක්ද?

උපදෙස් - ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එල්.ඒ.ඩබ්ලිව්.සිරිසේන.

වැදූගෙයි සන්නිය යනු බියකරු රෝගයක් වශයෙන් අපේ පැරන්නෝ සැලකූහ.මෙයට අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි යන විශ්වාසයද තිබිණි.දරුවකු වැදූ අලුත මවකට සැන්දෑ කාලයේ කොහොඹ කොළ දුම් ඇල්ලීම, දිවා කාලයේ නෑමෙන් පසු සිරුර ඉක්මණින් උණුසුම් වීම සදහා දුම් ඇල්ලීම, සවස් කාලයේ නෑමට හෝ ඇග සේදීමට ඉඩ නොදීම වැනි දෑ මේ සදහා අතීතයේ වැඩිහිටියන් විසින් අනුගමනය කළ සිරිත් විරිත් විය.


වැදූ ගෙයි සන්නිය වෛද්‍ය විද්‍යාත්මකව හදුන්වන්නේ කෙසේද?


සන්නිය යන්න බටහිර වෛද්‍ය විද්‍යාවේ දක්වන්නේ වලිප්පුව ලෙසය.ඒ අනුව මේ රෝග තත්වය පසු ප්‍රසව වලිප්පුව (Postpartum eclampsia) යනුවෙන් හැදින්විය හැකිය.


සාමාන්‍යයෙන් ගර්භනී මවකගේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්හි තරලය රැදී තිබේ.ගැබිනි මවක් තරබාරු වන්නේත්, සිරුරේ බර වැඩි වන්නේත් මේ තත්ත්වය නිසාය.මෙය රෝගයක් නොවේ.


සමහර ගැබිනි මව්වරුන්ට ගැබිනි සමයේදී විශේෂයෙන් අවසන් තුන් මාසයේදී අධි රුධිර පීඩනය හට ගනියි.එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඇගේ මොළය, හෘදය වස්තුව, අක්මාව, වකුගඩු යන ඉන්ද්‍රියයන්හි තරල රැදීමේ ස්වභාවය වැඩිය.එබදු අවස්ථාවලදී මුත්‍රා සමග ඇල්බියුමින් පිට වීම, ශරීරය ඉදිමීම වැනි ලක්ෂණ මතුවනු ඇත.මෙය රෝගී තත්ත්වයක් ලෙස සලකන අතර, ගර්භ විෂ රෝගය යනුවෙන් හදුන්වන්නේ එයයි.මෙය ශරීරයේ සෑම ඉන්ද්‍රියයකටම බලපෑ හැකි අතර, එහි උග්‍ර තත්ත්වය ගර්භ වලිප්පුවයි.වැදූගෙයි සන්නිය වශයෙන් හදුන්වන්නේ මෙයමය.මෙය ගැබිනි සමයේ අවසන් කාලයේදීත් දරුවා බිහි කළ මුල් පැය කිහිපයේදී හෝ දින කිහිපය තුළදීත් හට ගත හැකි රෝගයකි.එය හට ගන්නා ආකාරය පිළිබදව අපි දැන් සොයා බලමු.


සාමාන්‍යයෙන් මවකගේ දරු ගැබට සති 12ක් පිරුණු පසු සතියකට කි.ග්‍රෑ.දශම පහක් වැනි ප්‍රමාණයකින් එහි බර වැඩිවේ.නමුත් මේ බර වැඩිවීම නිසි පරිදි සිදු වන්නේද යන්න දැනගන්නට හැම සතියකම එකම දිනයක එකම වේලාවට බර කිරිය යුතුය.එක දවසක කෑමට පෙර බර කිරා ඉන්පසුව සතියේ කෑමට පසු බර කිරීම මගින් මේ වැඩිවීම නිසි ලෙස සොයා ගත නොහැකිය.එබැවින් කෑමට පෙර නම් සෑම සතියේම එම දිනයේ එම වේලාවට කෑමට පෙරම බර කිරිය යුතුවේ.නැත්නම් කෑමට පසුය.


සාමාන්‍ය ආකාරයේ බර වැඩිවීමක් ඔය ආකාරයට හදුනාගත හැකිය.ඊට වඩා මද වෙනස්කම් ඇති වුනත් එය සාමාන්‍ය බරක්ද යන්න වෛද්‍යවරයාට හදුනා ගැනීම අපහසු නොවේ.නමුත් යම් මවකගේ බර සීග්‍රයෙන් වැඩි වන්නේ නම් ඒ පිළිබද වෛද්‍යවරු විශේෂයෙන් සැලකිලිමත් වෙති.හේතුව එය ගර්භ විෂ රෝගයේ මූලික අවස්ථාව විය හැකි නිසාය.මේ සමග රුධිර පීඩනයත් වැඩි වන්නේ නම් එම ගැබිනි මව රෝහල් ගත කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.එහිදී මුත්‍රා පරීක්ෂණයක් කර මුත්‍රා සමග ඇල්බියුමින් පිට වන්නේද යන්නත් සොයා බැලේ.මේ සියලු දේ මගින් ගර්භ විෂ රෝගය හදුනාගත හැකිය.


මෙයට් ප්‍රතිකාර නොගෙන සිටියොත් සිදුවන්නේ එය උග්‍ර තත්ත්වයට පත් වී ගර්භ වලිප්පුව හට ගැනීමයි.මෙම වලිප්පු තත්ත්වය පැමිණි පසු උදරයේ අධික වේදනාව, ඇස්වලට අමුතු එළි පෙනීම, බල නහරවල ඉබේ සිදුවෙන ක්‍රියාවන් අධිකව දැනීම වැනි ලක්ෂණද රෝගියා තුළ ඇතිවේ.


මේ රෝගය භයානකය.යම් ගැබිනි මවකට අධික රුධිර පීඩනය ඇති විට රෝහලේ නවත්වා ගනු ලබන්නේ ඉහත කී අනෙකුත් පරීක්ෂණද කර ගර්භ විෂ රෝගය ඇත්නම් අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාර ලබාදීම පිණිසය.


යම් ගැබිනි මවකට අධි රුධිර පීඩනය පැවතියේ නම් ප්‍රසූතියෙන් පසුවත් වෛද්‍යවරු විශේෂයෙන් සැලකිලිමත් වෙති.

ඉතා කලාතුරකින් ගැබිනි සමයේ අධි රුධිර පීඩනය නොතිබූ මවකට දරුවා ප්‍රසූත කිරීමෙන් පසු එකවරම
රුධිර පීඩනය වැඩි වී ගර්භ වලිප්පුව හට ගැනීමටද අවකාශ තිබේ.


ගැබිනි සමයේදී ගර්භ වලිප්පුව හැදී මව සිහිසුන්ව සෑහෙන වේලාවක් සිටියොත් දරුවාට ඔක්සිජන් නොලැබීම නිසා දරුවාට අනතුරක් වීමටද ඉඩ තිබේ.එසේම ගර්භ වලිප්පුව සෑදී මවට වමනය ගොස් වමනය ස්වාසනාලයේ සිර වුවහොත් මවට අනතුරක් වීමටද ඉඩ තිබේ.ගර්භ වලිප්පුව, පසු ප්‍රසව වලිප්පුව සහ වැදූගෙයි සන්නිය ආදී වශයෙන් හදුන්වන මේ රෝගය භයානක වන්නේ එබැවිනි.


No comments:

Post a Comment