Thursday, August 12, 2010

පුංචි කාලෙ බලපු කාටූන්

පල්ලෙහා දාල තියෙන්නෙ මම පුංචි කාලෙ ආසාවෙන් බලපු කාටුන් කීපයක්. "දොස්තර හොඳ හිත", "පිස්සු පූසා", "හා හා හරි හාවා", "ගලිවරයන්ගේ සුවිසැරිය" වගේ මම තවමත් ප්‍රිය කරන කාටූන් කීපයක වීඩියෝ කීපයක්. මේවා බලද්දි ආපහු පුංචි කාලෙට යන්න හිතෙනව.














මේවයින් දැන් ඉදල හිටල හරි පෙන්නන්නෙ "පිස්සු පූස" විතරයි. ඒකත් දැන් ගොඩක් කාලෙකින් පෙන්නුවෙ නෑ. දැන් ඉන්න ළමයින්ට මේ වගේ කාටූන් එකක් රස විදින්නත් බැරිව ඇති. ඊටත් වඩා මේව පෙන්නුවත් බලන්නත් වෙලාවක් නැතුව ඇති. මේ කාටූන් අයිති වෙන්නෙ ටයිටස් තොටවත්ත මහත්මයාගෙ යුගයට. ඒ මහත්මයා අඩු තාක්ෂණයක් තිබ්බ ඒ කාලෙ කරපු වැඩ ටිකවත් තාක්ෂණය අතින් ගොඩක් දියුණු දැන් කාලෙ කෙරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. දැන් ළමයි වෙනුවෙන් රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වෙන වැඩසටහන් එච්චර ජනප්‍රිය වෙන් නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. එදාට වඩා රූපවාහිනී නාලිකා බහුල අද කාලෙ හරි නම් වෙන්න ඕන ගුණාත්මක බවින් ඉහල වැඩසටහන් වැඩියෙන් නිෂපාදනය වීම. ඒත් දැන් වෙන්නෙම පුළුවන් තරම් කසිකබල් ටෙලි නාට්‍යය නිෂ්පාදනය වීම. ටයි මාමා අංශභාග රෝගයට ගොදුරු නොවී හිටියනම් තවත් අළුත් නිර්මාණ අපිට දැක බලා ගන්න තිබුණා.

කාටුන් නොවුනත් "රොබින්සන් අන්දරය", "මායා බන්ධන" වගේ වැඩසටහනුත් දරුවන් අතරේ ඒ දවස්වල හොඳට ජනප්‍රිය වුණා. මේ කාලෙ ජනප්‍රිය වෙච්ච කාටුන් එක තමයි "ටිං ටිං". මේ අපි පහේ, හයේ පංතිවල හිටපු කාලෙ. මේව අතුල රන්සිරිලාල් මහත්මයාගෙ වැඩ.





පස්සෙ කාලෙක සිරසෙන් කරපු "සූර පප්පා" අතිශයින් ජනප්‍රිය වුණා. ඒ වගේම "කව්ද බෝයි" වගේ කාටුන් එහෙමත් ටිකක් ජනප්‍රිය වුණා. මේව ගියේ මම O/L, A/L කරන කාලෙ.



කව්රුහරි කෙනෙක් ටයි මාමා හඬ කවපු කාටූන් මිලදී ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියල යන්නත් අමතක කරන්න එපා.

14 comments:

Shadow/හේමලයා said...

හැබැයි...ඔය හඬකැවීමේ වැඩේ...සූර පප්ප...කවුද බෝයි, බබාලන්තය වගෙ ඒවායෙත් නියමෙට තිබ්බ....හැබැයි මේ දවස් වල යන ඒවාගෙ නම් එච්චරම හොඳ හඬ කැවීමක් නෑ...නමුත් ආයෙත් ඒවි හොඳ එකක් දෙකක්.....මම හරිම ආසාවෙන් බලාපු එකක් තමා ගලිවර්...ස්තුතියි මcඕ ...මතකය ඇවිස්සුවාට....

෴ හසියා ෴ said...

පොඩි කාලේ....ආ...???
පොඩි කාලේ නෙවේ දැන් සෙට් වුනත් ආසාවෙන් බලනවා.
ස්තුතියි මතකය අවුස්සලා දැනුම බෙදාගත්තාට....

පිස්සා පලාමල්ල said...

හප්පොච්චියේ...... පින් සිද්ද වෙනවා. වැඩක් හම්බුනා. ඩොස්තර හොඳ හිත... පිස්සු පූසා... ගලිවර්... හා හා හරි හාවා....

ලස්සන මතකය් නේ ඇද්දෙ එලියට....

Charith Weerakkody said...

@ Shadow/හේමලයා - බබාලන්තය කාටූන් එකට නම් මම එච්චර ආස කලේ නැහැ.

හැබැයි මට හිතෙන විදිහට මෑතකදි ආපු එක හඬ කවපු කාටූන් එකක්වත් ටයි මාමා කරපු ඒවා වගේ හිට් වුනේ නම් නැහැ. මොකද ටයි මාමා වැඩක් කලේ මුදල්වලටත් වඩා ආත්ම තෘප්තිය බලා ගෙන. දැන් ඉන්න අය කාටූන් වලට හඬ කවන්නෙ මුදල් විතරක් බලා ගෙන.

Charith Weerakkody said...

@ හසියා - පොඩි කාලෙට විතරක් නෙමේ. මේවා ඕනෙ කාලෙක බලන්න පුළුවන් කවදාවත් අමතක වෙන් නැති කාටූන්. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

Charith Weerakkody said...

@ පිස්සා පලාමල්ල - මේ තරම් ලස්සන අතීතයක් දැන් ඉන්න ළමයින්ට නම් කවදාවත් ලැබෙන්නෙ නෑ. දැන් ඉන්න ළමයි ටයි මාමා ගැන දන්නෙත් නෑ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

Charith Weerakkody said...

මෙතන මට අමතක වෙච්ච එක හඬ කවපු වැඩසටහනකුත් තියෙනව. ඒ තමයි "ඔෂීන්". මේක ගියෙත් අපි පහේ, හයේ පංතිවල හිටපු කාලෙම තමයි. මේකෙ හඬ කැවීම් කටයුතු කලේ ටයි මාමාද නැත්නම් අතුල රන්සිරිලාල් මහත්මයාද කියල නම් මතකයක් නෑ. දන්න කවුරු හරි ඉන්නවනම් ඒ ගැනත් කියල යන්න.

මෑතකදි සිංහල හඬ කවපු තවත් ජපන් නාට්‍යයක් ගියා. නම නම් මතක නෑ. ඒත් ඒක "ඔෂීන්" වගේ හිට් වුනේ නම් නෑ.

නිශාචරයා Nishacharaya said...

'ඔෂින්' ටයිටස් තොටවත්ත හෙවත් ටයි මාමාගෙ නිෂ්පාදනයක්. 'ඔෂින්' චරිතයට හඬ කැවීමෙන් දායක උනේ 'රශි පබා' හෙවත් පබෝධා සංදීපනී. ඒ ඇයට වයස අවු. 6ක් 7ක් පමණ කාලේ.
ඔය වගේම ජනප්‍රිය වුනු TV series එකක් තමයි 'අතුල රන්සිරිලාල්' මහතා සිංහල උපසිරැසි සමග ඉදිරිපත් කල "Robin of Sherwood". Thanx මචන් මේවා මතක් කලාට.

Charith Weerakkody said...

@ නිශාචරයා - "රොබින්හුඩ්" අමතක වෙච්ච එක ගැන සමාව ඉල්ලනව. "රොබින්හුඩ්" නම් තාමත් අවුරුදු 2කට විතර සැරයක් යනව.

ඒ වගේම තමයි "හා හා හරි හාවා" එකේ තේමා ගීතය විදිහට තියෙන්නෙ "කුමාරතුංග මුනිදාස" මහත්මයා විසින් රචනා කරන ලද කවි කීපයක්.

Charith Weerakkody said...

තව බලපු කාටුන් එකක් තමයි "සෝරෝ". ලස්සන තේමා ගීතයකුත් යන්නෙ "අසි අසි අසි .... අසිපත අත ගත් අසරුවා සෝරෝ ... සෝරෝ .... " කියලා.

තව රූපවාහිනියෙ හඬ කවපු ළමා නාට්‍යය කීපයක් තමයි ගෙම්බෙක් රාජ කුමාරයෙක් වෙන කතාව (නම නම් මතක නෑ), "ඇලඩින්ගේ පුදුම පහන", බෝංචි වැල දිගේ යෝධයෙක්ගෙ ගෙදරට යන කතාව (නම නම් මතක නෑ) වගේ ඒවා. මේවල නම් දන්නවනම් ඒ ගැන ලියල යන්නත් අමතක කරන්න එපා.

tharanga said...

ටික කලකට පස්සෙ විකශය උන නයිල් නදී කුමරියත් ලස්සන කාටුන් එකක් තේමා ගීතයත් ලස්සනයි

මහසෝණා said...

ලස්සනම ලස්සන කාතා ටිකක තමා මතක් කරල දුන්නේ..>!!

මේ කතා ඔක්කොම වගෙ ගන්න පුලුවන් .
ජාතික රූපවාහිනී CD කවුන්ටර් එකෙන්..!! එක DVD එකක් රු.450....!!

මම පිස්සු පූසා ඔක්කොම ටික ගත්තා.. රු. 450 ගියේ...!!

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

එකක් අමතක උනානෙ.. මෙතන නෑනෙ ඉගුරු පාන් මල්ලියි, වලස් මාමයි

හිරු ප්‍රභා said...

ෂා...... ඔයානම් මාරයි. දැන් ඉතින් මේ ටික මම බලන්න ඔනි.. විභාගයක් නම් අත ලග තියනවා. ඒත් ඉතින් නේ...තැන්කු තැන්කු..