Tuesday, November 16, 2010

"සරා" සහ "සුබා"

මේ දවස්වල තිරගත වන චිත්‍රපට දෙකක් තමයි "සරා" සහ "සුබා". එම චිත්‍රපටි දෙකේ කතාවත් මේ දෙක අතරෙ තියෙන වෙනස්කම් ගැනත් තමයි මේ කියන්න යන්නෙ.

මුලින්ම "සරා" ගැන කියල ඉන්නම්. මේක "දෙරණ" රූපවාහිනී නාලිකාවේ ගිය "සරා" ටෙලිනාට්‍යය short & sweet කරල හදපු චිත්‍රපටියක්. කතාවෙ සාරාංශ මේකයි. සරා කියන්නෙ නාගරික මන්ත්‍රීවරියක්. ඇය ජීවත් වෙන්නෙ අඩු ආදායම් ලාභීන් ජීවත් වෙන ප්‍රදේශයක. සරා ජීවත් වෙන ප්‍රදේශය කඩා දාල එතන මහල් නිවාස සංකීර්ණයක් හදන්න පළාතේ මන්ත්‍රීවරායාගේ (මොහු ඇමතිවරයෙකි.) සහාය ගන්නව වෙනත් පුද්ගලයෙක්. සරාගේ විරුද්ධත්වය නිසා ඇමතිවරයා මේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරනව. ඊට පස්සෙ අර තැනැත්තා සරා සිටින ප්‍රදේශයට වෙනත් පුද්ගලයකු යවා ප්‍රදේශයේ ආරවුල් ඇති කරන හැටිත්, සරා තමන් සිටින දේෂපාලන පක්ෂය අත් හැර තමාගේ ප්‍රදේශය විනාශ කරන්නට හදන පුද්ගලයාගේ පක්ෂයට එක් වන හැටිත්, අවසානයේදී සත්‍යය දැනගෙන තම ප්‍රදේශවාසීන් සරා විසින් බේරා ගන්නා හැටිත් ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ.

දැන් බලමු "සුබා" ගැන. යකා මහත්තයා නම් මිනී මරුවකු විසින් තම බිරිඳ මරා දැමීම නිසා මිනී මරුවෙකු බවට පත් වන කළු මහත්තයා ගැන තමා මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. කළු මහත්තයා ගැන පරීක්ෂණ පවත්වන සියළුම පොලිස් නිළධාරීන් මරා දමන කළු මහත්තයා අවසානයේ තමන්ගේ පුතා වන පොලිස් අධිකාරවරයා විසින් අත් අඩංගුවට ගනු ලබනව. එල්ලුම් ගසට නියමිත වීමට පෙර මෙම පියා සහ පුතා හඳුනා ගනු ලබනව. "සුබා" කතා සාරාංශය මෙපමණයි.

දැන් මේ චිත්‍රපටි දෙකේ වෙනස්කම් බලමු. "සරා" කියන්නෙ වේගයෙන් ගලා ගෙන යන කතාවක්. කුතුහලයක් අති නොවුනත් බලන් ඉන්න පුළුවන් මට්ටමින් "සරා" චිත්‍රපටිය නිපදවල තියෙනව. "සුබා" කියන්නෙ ඉතාමත් මන්දගාමීව යන චිත්‍රපටියක්. මුල් විනාඩි 20ක විතර කාලය පුරාම දකින්නට ලැබෙන්නෙ ක්ලීටස් මෙන්ඩිස්ගෙ රංගනය විතරයි. තවත් ස්වල්ප දෙනෙක් මේ කාලයේදී රඟපෑවත් ඒවා එතරම් ප්‍රබල චරිත නෙමේ.

රූපගත කරල තියෙන දර්ශන තල දිහා බැලුවොත් "සරා" චිත්‍රපටිය "සුබා" චිත්‍රපටියට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නව. "සුබා" වල දර්ශන තල ගැලපෙන්නෙ 80 දශකයේ හා 90 දශකයේ මුල් භාගයේ නිපද වූ චිත්‍රපටිවලට. ඒ වගේම කතාවත් හින්දි චිත්‍රපටියක කතාවකට සමානයි. ගොඩක් දුරට හින්දි කොපියක්ම වෙන්න පුළුවන්. අම්බලමක් වැනි ස්ථානයක් උසාවියක දර්ශනයක් රූපගත කිරීමට ගැනීමෙන්ම චිත්‍රපටියේ මට්ටම හිතා ගන්න පුළුවන් නේද?

නළු නිළියන් ගැන බැලුවොත් "සරා" චිත්‍රපටියේ රඟපාන නළු නිළියන් හොඳ රඟපෑමක නිරත වෙනවයි කියල කියන්න පුළුවන්. "සුබා" ගැන කිව්වොත් කිසිම හොඳ රඟපෑමක් දකින්නට ලැබෙන්නෙ නෑ. පොඩ්ඩක් හරි හොඳ රංගනයක නිරත වෙන්නෙ ක්ලීටස් මෙන්ඩිස් විතරයි. අනෙක් අය කරන්නෙ දෙබස් කට පාඩමින් කියවීම විතරයි. ඒ වගේම "සුබා" චිත්‍රපටියෙ  චීන කටු වෛද්‍ය "දේශමාන්‍ය, දේශබන්ධු, දේශශක්ති, සමාජ සේවා සුභසාධන ආචාර්ය වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියගෙ" දුර්වල රංගනයත් බලා ගන්න පුළුවන්.

චිත්‍රපටි දෙකේ ධාවන කාලය දිහා බැලුවොත් "සුබා" පැය දෙකක පමණ ධාවන කාලයක් සහිත චිත්‍රපටියක්. "සරා" නම් පැය එකහමාරකටත් වඩා අඩු ධාවන කාලයල් සහිත චිත්‍රපටියක්. ධාවන කාලයෙන් විතරයි "සුබා" චිත්‍රපටිය "සරා" ව ඉස්සර කරල තියෙන්නෙ. හැබැයි මේ විදිහටම "සරා" ටෙලිනාට්‍යය කෙටි කරන්න තිබුණ නේද කියල "සරා" බැලුවම ඕන කෙනෙකුට හිතෙන එක වලක්ව ගන්නත් බෑ.

සමස්තයක් විදිහට බැලුවම "සරා" සහ "සුබා" චිත්‍රපටි දෙකෙන් කෙනෙකුට බලන්න කියල නිර්දේශ කරන්න පුළුවන් "සරා" විතරයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ "සරා" කියන්නෙ උසස් චිත්‍රපටියක් බව. නමුත් "සුබා" ට සාපේක්ෂව "සරා" කියන්නෙ උසස් චිත්‍රපටියක්. "සුබා" කියන්නෙ චිත්‍රපටියක් නිර්මාණය නොවිය යුත්තේ කෙසේද කියල ඉගෙන ගන්න හොඳ චිත්‍රපටියක්.




මීට කලින් චිත්‍රපටි ගැන ලියපු බ්ලොග් සටහන්. 

සිංහල කතා කරන දෙමළ චරිත

ඇත්තම "මචන්ල" සෙට් එක

"වාසනා ලොවක්"

 අහෝ "තුෂාරා"

එකමත් එක රටක

"Dancing Star"

මම "ලීඩර්" බැලුවෙමි





No comments:

Post a Comment