Tuesday, March 30, 2010

පවුල් අවුල් කරවන ලිංගික විකෘතිතා

විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා සමග කළ සාකාච්ඡාවක් ඇසුරිනි.

බොහෝ දේවල් සම්බන්ධයෙන් මෙන්ම ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් ද පිළිගත් ආචාර ධර්ම ඇත.සදාචාරයට පටහැනි වුවත් අනියම් සම්බන්ධතා වුවද අසාමාන්‍යතාවන් ලෙස නොසැලකේ.නමුත් කෙනෙකුගේ ලිංගික ක්‍රියාවකින් ඒ පුද්ගලයාට මෙන්ම අනෙක් අයටත් කායික හෝ මානසික හිරිහැරයක් වන්නේ නම් එය ඒ පුද්ගලයාගේ ලිංගික අසාමාන්‍යතාවයක් හෙවත් විකෘතිතාවයක් ලෙස නම් කළ හැකිය.මේවා මනෝ වෛද්‍ය විද්‍යාවේ මුලදී හැදින්වූයේ ලිංගික අවවර්තන(Sexual deviations) ලෙසිනි.නමුත් දැන් ඒවා "ලිංගික කැමැත්තෙහි පවත්නා ආබාධ"(Disorders of sexual preference.) ලෙස මනෝ වෛද්‍ය විද්‍යාව අරුත් දක්වයි.

ලිංගික අවවර්තන රාශියක් වෙයි.මේවා 99.9%ක්ම වැළදෙන්නේ පිරිමින්ටය.මෙමගින් බොහෝ කාන්තාවෝ පීඩාවට පත්වෙති.

අපේ රටේ පාලු පාරක තනිව ගමන් කරනා කාන්තාවකට හදිසියේම එම පාරේ කිසිවකුට වැඩිපුර නොපෙනෙන ස්ථානයක නතර වී හිදින පිරිමියකු තමන් ඇද සිටින ඇදුම නිරාවරණය කොට ලිංගේන්ද්‍රිය පෙන්වන්නට සලස්වා ලිංගිකත්වය සම්බන්ධ වදන් පිට කිරීම ඉතා සුලභව දැකිය හැකි තත්වයකි.එහිදී එම කාන්තාව බියට, චකිතයට, අපහසුවට හා ලැජ්ජාවට පත් වන අතර ඇගේ එම ක්ෂණික චිත්තාවේග මගින් ඇති වන වෙනස, කලබලකාරී බව දකින එම පුද්ගලයා එතුළින් ලිංගික තෘප්තිය ලබයි.ඒ අප රටේ බහුලව දකින්නට ලැබෙන ලිංගික අවවර්තනයකි.

ඉහත කී ලිංගික අවවර්තනය මනෝ වෛද්‍ය විද්‍යාවේ හැදින්වෙන්නේ "ප්‍රදර්ශනකාමය"(Exhibitionism) ලෙසිනි.ජනයා නොගැවසෙන පාලු පාරක් වැනි ස්ථානයක නතර වී නන්නාදුනන කාන්තාවකට සිය ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කිරීම, ප්‍රදර්ශනකාමයේ ස්වභාවයයි.එම තැනැත්තා කරන ක්‍රියාවට කාන්තාව දක්වන දැඩි ප්‍රතික්‍රියා ඔහුගේ ලිංගික තෘප්තිය පිණිස හේතුවනු ඇත.මෙසේ ලිංගික තෘප්තියට පත්වනු මිස ඒ තැනැත්තා එකී කාන්තාවට ලිංගික අතවරයක් කිරීමට පෙලඹෙන්නේ නැත.ඊට හේතුව ඔහු තුළ ඇති ලිංගික විකෘතිතාවය නිසා ඔහු කාන්තාවක් සමග ලිංගිකව එක් වීමෙන් තෘප්තියක් ලැබීම වෙනුවට මේ ආකාරයට සතුටක් ලැබීම ප්‍රිය කරන බැවිනි.

ඕනෑම සමාජයක, ඕනෑම සංස්කෘතියක ප්‍රදර්ශනකාමයෙන් පෙලෙන්නෝ සිටිති.නමුත් මේ පිරිමින් ඕනෑම කාන්තාවක් ඉදිරියේ තම ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගන්නේද නැත.තමන්ට පහර කෑමට සිදු නොවෙතැයි අනුමාන කරන කාන්තාවක් ඉදිරෙයේ ඔවුහු මෙසේ රහස් ඉන්ද්‍රිය ප්‍රදර්ශනය කරති.

ප්‍රදර්ශනකාමයෙන් පෙලෙන පිරිමින් තුළ බොහෝ විට තවත් ලිංගික අවවර්තනද තිබිය හැකිය.අපි ඒ ගැනත් මදක් විමසා බලමු.

මුහුණේ එක් පැත්තක ඇලවූ පැලැස්තරයක් හා එක් අතක වැලමිටෙන් පහල සිට මැණික් කටුව දක්වා වෙලන ලද බැන්ඩේජ් පටියක් ද සහිතව තරුණ පිරිමි අයකු මනෝ වෛද්‍යවරයාගේ කාමරයට ඇතුලු වූයේ ඔහුගේ බිරිද යයි සිතිය හැකි තරුණ කාන්තාවක් ද සමගිනි.

ඔහුගේ මුහුණට සහ අතට සිදුවූයේ කුමක්දැයි වෛද්‍යවරයා ඇසූ විට "පොඩි සිද්ධියක් වුනා ඩොක්ටර්" යනුවෙන් කියා ඔහු නිහඩ වූවා පමණි.ඔහුගේ කතාවෙහි ඌන පූරණය කළේ බිරිදය.

"මේ මනුස්සයට තියෙනවනේ ඩොක්ටර් අමුතුම විදිහේ ලෙඩක්."බිරිද කීයේ තරහ මුසු හඩිනි.

ඇය ඉන්පසුව කී දීර්ඝ විස්තරයට අනුව මේ තැනැත්තා මෑතකදී විවාහ වූවෙකි.නමුත් එම බිරිද කී පරිදි ඔහුට ඇය සමග කායික සම්බන්ධතා පැවැත්වීමට වැඩි උනන්දුවක් නැත.යෝජනාවක් මත ඇය හා විවාහ වී තිබූ මේ තරුණයා තමන් ගැන වැඩි උනන්දුවක් නොදැක්වීමට හේතුව කුමක්දැයි බිරිදට වටහා ගත හැකි වූයේ නැත.දිනක් ඔහු පිරිමින් කිහිප දෙනෙකුගෙන් හොදහැටි පහර කෑම නිසා වෙනත් අසල්වැසි පුද්ගලයකු විසින් ගෙදරට ගෙනත් ඇරලවන ලද්දේ ඔහු පිළිබදව අප්‍රසන්න රහසක්ද හෙළි කරමිනි.ගමේ ලිදක තරුණියන් දෙදෙනෙකු නාමින් සිටියදී ඔහු ඒ අසල උණ පදුරකට මුවා වී එය නරඹමින් හිද තිබේ.එතැනින් යන්නට ආ එක තරුණියකගේ සහෝදරයකු හා ඔහුගේ මිතුරෙකු මේ සිද්ධිය දැක ඔහුට හොදහැටි පහර දී ඇත.වෙනත් අසල්වැසියෙකු මේ තැනැත්තාව නිවසට ඇරලවා ඇත්තේ එසේ පහර කා වැටී සිටියදීය.

මෙයද ඉහත බදුම ලිංගික අවවර්තනයකි.එය හදුන්වන්නේ "දර්ශාස්වාදය"(Voyeurism) ලෙසය.

කාන්තාවන් දිය නාන විට, ඇදුම් මාරු කරන විට ආදී වශයෙන් ඇගේ ශරීර අභ්‍යන්තරය යම් පමණකට නිරාවරණය විය හැකි අවස්ථාවලදී ඒ දෙස හොරෙන් බලා හිදීමෙන් ලිංගික තෘප්තියක් ලැබීම මේ මානසික ආබාධයේ ස්වභාවයයි.

සමාන්‍යයෙන් කාන්තාවන්ගේ ශරීරයේ වැසී ඇති කොටස් පිලිබදව පිරිමින් තුළ කුතුහලයක්, උනන්දුවක් පවතියි.එනිසාම ඒ කෙරෙහි පිරිමින්ගේ ආකර්ශනයද වැඩිය.කිසියම් අවස්ථාවක එනම් නාන විට, ඇදුම් මාරු කරන විට ආදී වශයෙන් කාන්තාවකගේ සිරුරේ වැසී ඇති කොටස් දකින විට නව යොවුන් පිරිමින් තුළ ලිංගික උත්තේජනයක් ඇති වෙයි.නමුත් ඔවුන් තවත් වර්ධනය වී ප්‍රේම සම්බන්ධතා ආදිය ඇති කර ගත් පසු නව යොවුන් වියේදී තරම් කාන්තාවක් ස්නානය කරනු දකින විට, ඇදුම් මාරු කරනු දකින විට ලිංගික ඇවිස්සීමක් සිදු වන්නේ නැත.

ඒ සමාන්‍ය තත්වය වුවත් ටික දෙනෙකුට මෙය පුරුද්දක් බවට පත් විය හැකිය.කාන්තාවක් කිසිසේත් බලාපොරොත්තු නොවන අවස්ථාවක සැගවී සිට ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් බලමින් ලිංගික ආශ්වාදයක් ලැබීම මේ දර්ශාස්වාදයේ ස්වභාවයයි.

ප්‍රදර්ශනකාමය මෙන්ම දර්ශාස්වාදයත් බොහෝ විට එක පුද්ගලයකුට පිහිටීමට පුලුවන.මේවා මානසික රෝග වශයෙන්ම නොසැලකෙතත් යම් කෙනෙකුට මෙය ඇබ්බැහියාවක් බවට පත් වීමේ ඉඩකඩක් තිබේ.ඒවා ලිංගිකත්වය සම්බන්ධ විකෘති තත්වයන්ය.එවැනි දේකින් සතුටක් ලබන පිරිමියකුට කාන්තාවක් සමග කායිකව එක් වීමෙන් එතරම් සතුටක් ලැබීම අසීරුය.එවිට එම කාන්තාව ඔහු නිසා සිත් වේදනාවට, කලකිරීමට පත් විය හැකිය.

ප්‍රදර්ශනකාමය, දර්ශාස්වාදය වැනි බොහෝ ලිංගික අවවර්තන පවතින අය පෞරුෂ ඌනතාවය සහිත පුද්ගලයන් වෙති.ඔවුන් සමාජශීලී නැත.දක්ෂතාවයන්ද අඩු අයයි.කාන්තාවන් ඉදිරිපිටදී අපහසුතාවයට පත් වන මේ පුද්ගලයන් තුළ බොහෝ විටම සමාජ භීතිකාවද(Social phobia) පවතිනු ඇත.

මෙවැනි ලිංගික විකෘතිතාවයන් සහිත පුද්ගලයන් විවාහ වුවත් ඔවුනට බිරිද සමග එක් වීමෙන් නියම ලිංගික සතුට නොලැබෙන නිසා බිරිදටද අසාධාරණයක් සිදුවේ.එනිසා ඔවුන්ගේ පවුල් ජීවිතය අසාර්ථක විය හැකිය.

එසේම ඔවුන් මෙවැනි ක්‍රියාවල යෙදීමේදී අන් පුද්ගලයන් වෙතින් පහර කෑමට ද ලක් වනු ඇත.කොතරම් පහර කෑම් වලට ලක් වුනත් ඔවුන්ට මේ පුරුද්දෙන් මිදිය නොහැකිය.එනිසා සුදුසුම දෙය මෙවැන්නන් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීමය.මන්ද මෙම ලිංගික අසාමාන්‍යතා නිසා ඒ පුද්ගලයා අපහසුවට පත්වන අතරේ බිරිද කළකිරීමටත්, පවුලේ සියලු දෙනාම තදබල ලජ්ජාවටත් පත් වන නිසාය.දිගු කලක් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තුලින් මෙම තත්වයන් සුව කළ හැකිය.


Thursday, March 25, 2010

සමහර පිරිමින් තමන්ගේ බිරිද අන්සතු කොට සතුටු වන්නේ ඇයි?

විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා සමග කළ සාකාච්ඡාවක් ඇසුරිනි.

"මගේ හස්බන්ඩ් සමාජයේ ඉහළ පිලිගැනීමක් තියෙන කෙනෙක්.සල්ලි, සැප සම්පත් මේ කිසිම දේකින් අපට කිසි අඩුවකුත් නෑ.අවුරුදු දෙක හමාරක පුංචි දුවෙකුත් අපි දෙන්නට ඉන්නව.බැලූ බැල්මට ඕනෙ කෙනෙක් හිතන්නෙ මම මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගෑනු කෙනෙක් කියල.ඒත් කාටවත් කියා ගන්න බැරි එක ප්‍රශ්නයක් හින්දා මම ලොකු මානසික පීඩාවක් විදිනව."

මේ නමක් ගමක් සදහන් නොකල එක්තරා කාන්තාවක් දුරකථනය මගින් පැවසූ විස්තරයකි.ඒ අනුව ඇගේ ගැටලුව පිලිබදව දිගින් දිගටම විමසා බැලූ මට ඇය නොකැපිලව එය විස්තර කලේ මේ තත්වයෙන් ගොඩ ඒම සදහා කිනම් හෝ උපදෙසක් දෙන්නැයි ඉල්ලීමක් ද කරමිනි.

තවමත් 28 හැවිරිදි වූ මේ කාන්තාව විවාහ වී තිබුනේ ස
මාජයේ පිලිගැනීමට ලක්ව හිදින ධනවත් පුද්ගලයකු සමගිනි.ඇය පවසන අන්දමට එය යෝජිත විවාහයකි.විවාහයෙන් වසරකට පසු ඔවුනට දියණියක ලැබී ඇති අතර දියණියට වසරක් පමණ වන තුරුම ඔවුන් අතර මතභේද, අවුල් කිසිවක් ඇති වී නොමැත.

මේ කාන්තාව පවසන ආකාරයට ඇගේ සැමියාට දැන් ටික කලෙක සිට වැලදී තිබෙන්නේ අමුතුම 'පිස්සුවකි'.ඔහු මේ තත්වයට පත් වූ මුල් කාලයේදී ඇගෙන් විමසා ඇත්තේ ඇය අතීතයේ ඇසුරු කල පෙම්වතුන් පිලිබදවය.තමාට පාසල් යන කාලයේ මාසයකට දෙකකට පමනක් සීමා වූ කෙටිකාලීන ප්‍රේම සම්බන්ධයක් තිබූ බව ඇය හෙලි කලේ ඔහුගේ ඇවටිල්ල හිසරදයක් තරමට කරදරයක් වූ නිසාය.

ඊළගට ඔහු කීවේ අමුතුම කතාවකි.

"ඔයා එයාට කැමති නම් එයත් එක්ක සම්බන්ධයක් තියා ගත්තට මට කමක් නෑ.හැබැයි පිට කොහේවත් යන්න බෑ.මේ ගෙදර ඇතුලෙ මං දැනුවත්වයි ඒක කෙරෙන්න ඕනෙ."

මේ ලෝකයේ කිසිම සැමියකු නොකියන අන්දමේ කතාවක් තම සැමියා වෙතින් පිට වීමට හේතුව ඔහුට මානසික රෝගයක් වැලදීම නිසා වත්දැයි මෙම කාන්තාව කල්පනා කරන්නට වූවාය.නමුත් ඒ ගැන ඔහුට සෘජුව පැවසීමේ ශක්තියක් ඇයට නොතිබිනි.

කෙසේ වුවද තම පලමු පෙම්වතා නැවත කැදවීමට ඇයට කිසිදු වුවමනාවක් තිබුනේ නැත.ඉන් ටික කාලයකට පසු ඔහු තවත් අමුතු කතාවක් කියන්නට පටන් ගත්තේය.

"මාත් එක්ක මේ ඉන්නව වගේ තවත් කෙනෙක් එක්ක ඔයාට ඉන්න ඕනෙ නම් මගෙ ඒකට අකමැත්තක් නෑ."කායික සම්බන්ධයක් පවත්වන අවස්ථාවලදී ඔහු එලෙස කියන විට ඇය තුළ ඇති වූයේ තදබල පිලිකුලකි.ඔහුගේ මතය වූයේ ලිංගික සම්බන්ධතා නිදහසේ තමන් කැමති කෙනෙකු හා පැවැත්වීමට විවාහය බාධකයක් කර ගත නොගත යුතු බවය.

ඔහුගේ මෙම අදහස් තරුණ බිරිද තුළ මහත් වූ පුදුමයක් ඇති කිරීමට සමත් විය.නමුත් මේ පිලිබදව කටක් ඇර කාටවත් කීමේ හැකියාවක් ඇයට නොතිබිනි.එසේම සැමියා පිලිබදව ඇගේ සිතේ පිලිකුලක් සහ දැඩි කළකිරීමක් ද ඇති වී තිබිනි.

තව ටික කලක් ගත වන විට සැමියාගේ මිතුරෙකු ඔවුන්ගේ නිවසේ නතර වූයේ ඔහුට උසස් විභාගයකට පාඩම් කිරීමට අවශ්‍ය බව කියමිනි.ඔහුට නවාතැන් ලැබුනේ මේ යුවල සිටි කාමරයට යාබද කාමරයෙහිය.

සැමියාගේ මිතුරා ඉතා යහපත් ගති ඇති අයකු බවට ඔහුගේ හැසිරීම් වලින් සනාථ කර ගත හැකි වූ නිසාම මේ තරුණ කාන්තාව වැඩි කල් නොයවාම ඔහුගේ මිතුරියක බවට පත් වූවාය.මේ තරුණයා කොතරම් උසස් ගතිගුණවලින්, හැදියාවකින් යුතු විනි දැයි කිවහොත් ඔහු තම සැමියාට වඩා මොන තරම් ශ්‍රේෂ්ථ අයෙකු දැයි කල් යාමේදී ඇයට හැගෙන්නට විය.මේ කාලය වන විට ඇය සැමියාගේ අමුතු යෝජනා නිසා ඔහු එපා වන තත්වයකට පත් වී සිටියාය.

කෙසේ හෝ කල් යාමේදී මේ තරුණයා සමග ඇගේ අනියම් සම්බන්ධයක් ඇති වූ අතර එය කිසිදු ආකාරයකින් සැමියාට දැන ගන්නට ඇය ඉඩ තැබුවේ නැත.නමුත් දිනක් ඇය තම අනියම් පෙම්වතා සමග කායික සම්බන්ධතාවයක යෙදී සිටියදී හදිසියේම ඇගේ සැමියා කාමරයට කඩා වැදුනේ ඇය බියෙන් සහ ලැජ්ජාවෙන් මුසපත් කරවාලමිනි.එසේ වුවද සැමියා ඒ මොහොතේ ඇගෙන් කළ ඉල්ලීම ඇය තුළ තදබල කල කිරීමක් ඇති කරවීමට සමත් විය.පසුව ඇයට දැන ගන්නට ලැබුනු පරිදි සැමියාගේ මිතුරා ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයකට මුල පුරා ඇත්තේ සැමියාගේ ඉල්ලීම මත ඔහු දැනුවත්වය.එසේම ඔවුන් අතර වූ සෑම කායික සම්බන්ධතාවයක්ම ඔහු රහසේම නරඹා ඇත.

මේ හේතුව මත ජීවිතය පිලිබදව බෙහෙවින් කළකිරී තිබූ ඇය දරුවා නිසා සැමියාගෙන් වෙන් වී යාමට බැරිකමට ඔහුගේ නිවසේ වෙනත් කාමරයක ජීවත් වන්නට පටන් ගෙන තිබේ.ඇය දුරකථන ඇමතුමක් දී විමසා සිටියේ මේ ගැටලුවට විසදුමකි.

සාමාන්‍යයෙන් සතුන් මෙන් නොව මනුෂ්‍යයන් අතර ලිංගික ක්‍රියාකාරකම් සිදු වන්නේ අන් අයට නොපෙනෙන්නට රහසේය.එසේ නොවන සමූහ ලිංගික ක්‍රියාකාරකම් වැනි දෑ සමාජයේ විවිධ කොටස් තුළ ඇතැම් විට පවතින මුත් මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.අපේ සමාජයෙහි පිලි ගත් සම්ප්‍රදාය පිලිබදවය.

නමුත් එසේ නොවන ඉහත කී සිද්ධියේ එන ආකාරයේ පුද්ගලයෝද මේ සමාජය තුළ සිටිති.විවාහක කාන්තාවක් අන් පිරිමියකු සමග මෙන්ම විවාහක සැමියකු අන් කාන්තාවක සමගද අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම අසාමාන්‍ය දෙයක් හෝ මානසික විකෘතියක් ලෙස පිලි නොගන්නා මුත් තමන්ගේ බිරිද අන් අයකු හා ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනු බලා යම් සැමියකු තෘප්තියක් ලබන්නේ නම් එය ලිංගික විකෘතියක් හෙවත් අවවර්තනයක්(Disorders of sexual preference.) ලෙස මනෝ වෛද්‍ය විද්‍යාවේ සදහන්වේ.ඒ අනුව මානසික ආබාධයක් වන මෙය මනෝ වෛද්‍යවරුන් නම් කරන්නේ ට්‍රොයිලිසම්(Troilism) ලෙසිනි.

මේ මානසික ආබාධයේ ස්වභාවය නම් ලිංගික ක්‍රියාවලියට තිදෙනෙකු සම්බන්ධ වීමය.එනම් ලිංගික ක්‍රියාකාරකමෙහි නිරත වන දෙදෙනා සහ එය නරඹමින් සතුටු වන්නාය.බොහෝ විට පිරිමින් තුළ දැකිය හැකි මේ මානසික ආබාධය කාන්තාවන්ටද වැළදෙතත් එය පිරිමින්ට සාපේක්ෂව අඩු බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි.

යුවලක් අතර කාලයක් ඒකාකාරී ලිංගික සම්බන්ධතා ඇති වන විට සමහර පිරිමින් එය නීරස වීමෙන් මෙවැනි දේකට යොමු විය හැකිය.මෙහි මුලින්ම සදහන් කල සිදුවීමේදී මෙන් මෙහිදී තම බිරිදට අන් පිරිමියකු හා ලිංගිකව එකතු වීමට ඉඩ සලස්වන්නේ සැමියාය.මෙසේ එකතු වනු බලා හිදින විට ඔහු තුළ ලිංගික උත්තේජනයක් සහ ප්‍රාණවත් භාවය ඇති වනු ඇත.සමහරු එය නරඹමින් ස්වයං වින්දනයේ යෙදී
සුරතාන්තයට ද පත් වෙති.එවැනි දෙයක් දැකීමෙන්ම සුරතාන්තයට පත් වන පිරිමින් සිටිති.තවත් සමහර පිරිමින් ඒ අවස්ථාවේ ඒ දෙදෙනා අතරට වැද ලිංගික ක්‍රියාකාරකමට සම්බන්ධවේ.

බොහෝ දෙනා මෙවැනි දේවල් ලිංගිකත්වයට අදාළ විවිධත්වයක් වශයෙන් සලකන්නට ඉඩ ඇතත් සැබවින්ම මේවා මානසික ආබාධයන්ය.නමුත් මේවා බොහෝ විටම බාහිරට අනාවරණය නොවන්නේ සමහර බිරියන් මුලින් අකමැති වුවත් පසුව ඒවාට හුරු වීම වැනි හේතු නිසාය.අනෙක් විශේෂම දෙය නම් මේවා මානසික ආබාධ බව සමාජය නොදැන හිදීමය.

ට්‍රොයිලිසම් වැලදෙන පිරිමින් අතර බහුතරයක් මැදි වියේ අයයි.මත්පැන් සහ ගංජා ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිමින්ටද ට්‍රොයිලිසම් වැලදීමේ හැකියාව තිබේ.

කුඩා කල සිට නිසි ලෙස පෞරුෂය සංවර්ධනය නොවීම නිසා වැඩිහිටි වියට එන විට පෞරුෂ දුබලතා සහිත පුද්ගලයන් බවට පත් වූ අයටද මෙවැනි මානසික රෝග වැළදීමට පුලුවන.එසේම ආත්ම විශ්වාසය අඩු තමන්ගේ ප්‍රශ්ණ විවෘතව කතා කිරීමට ඉදිරිපත් නොවන පිරිමින්ද පසුකාලීනව මෙබදු මානසික රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් පවතියි.

කෙසේ වුවත් ඉහත සිද්ධියේ මෙන් යම් බිරිදකට සැමියාගෙන් මෙබදු බලපෑම් තිබේ නම් කළයුතු එකම දෙය වන්නේ ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමය.මන්ද මෙවැනි දේට යොමුවන පිරිමින් පසුව ඒ ඔස්සේම හබා යාමට ඉඩ ඇති බැවිනි.සමාජයට හානිදායක වන මෙබදු මානසික ආබාධවලට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සියලු ආකාරයෙන්ම යහපත්වේ.




Wednesday, March 17, 2010

නීති විරෝධී ගබ්සාවන් සීග්‍රයෙන් වැඩි වන්නේ ඇයි?

උපදෙස් - වෛද්‍ය නිලංග සමරසිංහ.

කලකට උඩදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නගරයක ගබ්සා මධ්‍යස්ථානයක් වැටලීම සදහා අදාළ ප්‍රදේශය භාර මූලස්ථාන පොලිසියේ කැදවීම මත අපට ද යාමට සිදු විය.අප යන විටත් එහි ගබ්සාවන් කර ගැනීම සදහා කාන්තාවෝ පස් දෙනෙක් සිටියහ.

මෙම ගබ්සා මධ්‍යස්ථානය වටලන්නට මූලස්ථාන පොලිසියත් සමග අප සහභාගී වූයේ හතර වන වාරයටය.එහෙත් ඒ මොහොතේදීත් ගබ්සා මධ්‍යස්ථානයේ හිමිකරු සිටියේ බොහෝ සැහැල්ලු ලෙසය.තව කී වාරයක් වැටලුවත්, තමාට ඇප ලබා පහසුවෙන් ආපසු පැමිණ යලිත් මේ ව්‍යාපාරයම සුවසේ කර ගත හැකි බව ඔහු දැන සිටියේය.ඊට බලපෑ ලොකුම හේතුව ඔහු ප්‍රදේශයේ පොලිසියේ ලොක්කන්ට මාස්පතා රුපියල් තිස්දහස බැගින් අල්ලස් පිරිනැමීම බව නිල නොලත් ආරංචි මාර්ග මගින් දැන ගත හැකි විය.

මේ පුද්ගලයා සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරයි.ගබ්සා මද්‍යස්ථානයේ වෛද්‍යවරයාත් ඔහුය.නමුත් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මළ පොතේ අකුරක් හේ නොදනියි.ඔහුට දවසට ලැබෙන ආදායම මනින්නට බාහිර තොරතුරු කිසිවක් අවශ්‍ය නොවේ.ඔහුගේ එදිනෙදා ගණන් හිලව් බැලීමම ප්‍රමාණවත්ය.මෙම වැටලීම සිදු වූයේ උද‍ය වරුවේය.එදින ඒ පැය කිහිපයක කාලය තුළ ඔහුගෙන් ගබ්සාවන් කර ගෙන ගිය කාන්තාවන්ගේ ප්‍රමාණය 12ක් බව පොතේ සටහන් වී තිබිණි.තව පස් දෙනෙක් ගබ්සාවන් අපේක්ෂාවෙන් එතැන රැදී සිටියහ.දවසකට කොපමණ ගබ්සාවන් ප්‍රමාණයක් කරන්නේද යන්න වටහා ගන්නට මීට වඩා තොරතුරු නැතුවත් කමක් නැත.

අප මේ පැවසුවේ කටුනායක නිදහස් වෙළෙද කලාපයට තරමක් ආසන්නයේ පිහිටි එක් ගබ්සා මධ්‍යස්ථානයක් පිළිබදවය.මේ ප්‍රදේශයේ තිබෙන හැම ගබ්සා මධ්‍යස්ථානයක්ම මීට දෙවෙනි නැත.මේ ඊට එක් උදාහරණයක් පමණි.

ගබ්සාවක් ඉබේ කිසියම් හේතුවක් මත සිදු නොවුණොත් එය හිතා මතා කර ගැනීම නීති විරෝධීය.නවීන විද්‍යාවේ දියුණුව අනුව මවකගේ කුසේ පිහිටි කළලයෙහි ජාන පරීක්ෂාවක් මගින් එම දරුවා අඩුපාඩු සහිත විකෘති දරුවෙක්ද, මන්ද මානසික දරුවෙක්ද යන්න කලින් දැන ගැනීමේ හැකියාව තිබේ.නමුත් අපේ රටේ නීතියට අනුව එවැනි දරු කළලයක් වුවත් ගබ්සා කිරීමට අවසරයක් නැත.ගබ්සාවක් කර ගැනීම නීතියට එකග වන්නේ එම ගැබ මගින් මවගේ ජීවිතය අවදානමකට ලක් වීමක් සිදුවන්නේ නම් පමණි.එයද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු විසින් සහතික කළ යුතුය.නමුත් අපේ රටේ දළ වශයෙන් දිනකට ගබ්සාවන් 700ක් පමණ සිදු වෙයි.ඒ වාර්තා වී ඇති ප්‍රමාණයයි.වාර්තා නොවූ ප්‍රමාණය මීට වඩා කිහිප ගුණයකින් ඉහළ වීමට ඉඩ තිබේ.

සංඛ්‍යා ලේඛන වලට අනුව නීති විරෝධී ගබ්සාවන් කරවා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගෙන් 60%ක් විවාහක අය වෙති.අවිවාහක කතුන්ගේ ප්‍රමාණය ඒ අනුව 40% කි.වයස් ප්‍රමාණය අනුව බැලුවොත් වැඩිපුරම නීති විරෝධී ගබ්සාවන් වලට යොමු වන්නේ වයස 20ට අඩු තරිණියන් හා 35ට ඉහළ කතුන්ය.අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් බොහෝ විට ප්‍රේමය යනු කායික සම්බන්ධතා ලෙස වරදවා වටහා ගත් සහ අධ්‍යාපන මට්ටමින් අඩු අයයි.35ට වැඩි කතුන් අනපේක්ෂිත ලෙස ගැබ්ගත් අය වන අතර ඔවුහු තවත් දරුවකු අවශ්‍ය නොවන අය වෙති.

මේ කාණ්ඩවලට අයත් නොවන අනෙකුත් වයස්වල කාන්තාවන් අතර නීති විරෝධී ගබ්සා අඩු වීමට හේතුව ඔවුන් දැන උගත්, සදාචාර සම්පන්න
ය වීමම නොවේ.මේ වයස් වල අය බොහොමයක් උපත් පාලන ක්‍රම අනුගමනය කරන බව පෙනේ.උපත් පාලන පෙති, එන්නත, සැක සහිත එක් වීමකින් පසුව පැය 72ක් ඇතුළත ගන්නා පෙති, පිරිමින් කොණ්ඩම භාවිතා කිරීම මේ අතර සුලබය.මින් වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ එන්නත සහ පැය 72ක් ඇතුළත ගන්න පෙති වර්ගයයි.පෙති කෙසේ වෙතත් ඩිපෝප්‍රොවේරා එන්නත සාමාන්‍යයෙන් දෙනු ලබන්නේ දරුවකු බිහි කළ කාන්තාවකට පවුල සැලසුම් කිරීම සදහාය.නමුත් අවිවාහක, එකම දරුවකුවත් බිහි නොකළ කතුන් දැන් බහුල ලෙසම මේ එන්නත ලබා ගන්නා බව වාර්තා වෙයි.මෙසේ වී තිබෙන්නේ දැන් බොහෝ තරුණියන් විවාහයට පෙර පෙම්වතුන් හා කායික සම්බන්ධතා පැවැත්වීම බහුල බැවිනි.විශේෂයෙන් පිට පළාත්වලින් පැමිණ නගර ආසන්නයේ නැවතී රැකියා කරන තරුණියන් පෙම්වතුන් සමග එකට ජීවත් වීම වර්තමානයේ වැඩි වී ඇත.මේ තත්වය වඩාත් බහුල ලෙසම වර්ධනය වී තිබෙන්නේ නිදහස් වෙළෙද කලාපයේය.අප කළ සමීක්ෂණයකට අනුව කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පිහිටුවා ඇති වෛද්‍ය මධ්‍යස්ථාන වලට ඩිපෝප්‍රොවේරා පවුල් සැලසුම් එන්නත් සපයනු ලබන අලෙවි නියෝජිතයෙකු හෙලි කර සිටියේ තමා වැඩිම ආදායමක් ලබනුයේ වෙළෙද කලාපයේ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් බවය.ඔහු සදහන් කර සිටි අන්දමට කටුනායක වෙළෙද කලාපයේ වෛද්‍ය මධ්‍යාස්ථාන වලට පමණක් මෙම තුන් මාසයේ පවුල් සැලසුම් එන්නත් ඔහු විසින් බෙදා හරින ප්‍රමාණය මසකට පහලොස් දහසකි.ඒ අනුව කොපමණ සංඛ්‍යාවක් මාස තුනකට වතාවක් මෙම එන්නත විද ගන්නේද යන්න දළ වශයෙන් සිතා ගත හැකිය.ඊට අමතරම පැය 72කට වරක් ගනු ලබන පෙති ද බොහෝ ජනප්‍රිය වී තිබේ.මේ එන්නත් හා පෙති ලබා ගන්නා අයගෙන් විශාල ප්‍රමාණයක් අවිවාහක තරුණියන් වීම මෙහි ඇති බරපතලම ඛේදවාචකයයි.අපේ රටේ සදාචාරය පහල බැස ඇති තරම කොතෙක්ද යන්න ගණනය කිරීම මෙමගින් අසීරු නොවේ.

සදාචාරය පහල බසින වේගයට සාපේක්ෂව ගබ්සා මධ්‍යස්ථාන ඉදිවන වේගයද ඉහළ යයි.එනිසා ගබ්සා මධ්‍යස්ථාන අතර ඇත්තේ ලොකු තරගයකි.ඉහත සදහන් කල ගබ්සා මධ්‍යස්ථානයත් ඊට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි තවත් ගබ්සා මධ්‍යස්ථානයකත් දෙපිරිස අතර ඊට ටික කලකට උඩදී ගුටි කෙළියක් ගිය බවටද දැන ගන්නට ලැබිණ.ඊට හේතුව එක ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුව අනෙක් ගබ්සා මධ්‍යස්ථානයෙන් සන්තෝෂම් මුදල් ලබන ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු විසින් හරවා අනික් ගබ්සා මධ්‍යස්ථානයට යැවීමය.ගබ්සා මධ්‍යස්ථාන වලට කාන්තාවන් රැගෙන ඒමේදී ත්‍රීරෝද රථ රියදුරන්ට සන්තෝෂම් මුදලක් ලැබේ.විශේෂයෙන් අනෙක් ගබ්සා මධ්‍යස්ථානයෙන් සූක්ෂම ලෙස හරවා ගෙන ගනුදෙනු කරුවකු රැගෙන ආවොත් සන්තෝෂම් මුදල වැඩිය.මේ නිසා මේ පිරිස් අතර නිතර ගැටුම් හට ගැනීමද බොහෝ සාමාන්‍ය තත්වයකි.

ඇතැම් සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ද තමා ලගට පැමිණෙන කාන්තාවකට ගබ්සාවක් නොකරම බැරි අවස්ථාවක් යෙදුණොත්, එය අපේ රටේ නීතියට එකග නැත්නම් මානුෂීය හේතූන් මත සලකා රහසේම මෙවැනි ස්ථානවලට එම කතුන් යොමු කරන්නේ වෙන කරන්නට දෙයක් නැති තැනය.මේ අනුව එම වෛද්‍යවරුන්ට මු
ල් ත්‍යාග, වර්ෂාවසානයේ තෑගි භාණ්ඩ වැනි දෑ ගබ්සා මධ්‍යාස්ථාන පවත්වා හෙන යන්නවුන් වෙතින් හිමි වෙයි.

කෙසේ වුවද අපේ රටේ ගබ්සා සිදු වන ප්‍රමාණය අනුව අවිවාහක කතුනට වඩා විවාහක කතුන්ගේ එය වැඩි බව සංඛ්‍යාලේඛන මගින් පැහැදිලිවේ.අවිවාහක කතුන්ට වඩා විවාහක කතුන්ගේ ගබ්සා කිරීම් වැඩි වීමට හේතු කීපයක්ම තිබේ.

විශේෂයෙන් මැදි වයසට එනවිට ඔවුන් කායික එක් වීම් සිදු වන වාර ගණන අඩුය.එවිට අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවීමට ඉඩ තිබේ.

එසේම වයස 40 ඉක්ම වූ කතුන් උපත් පාලන ක්‍රම ගැන දක්වන්නේ ද අඩු උනන්දුවකි.මේ නිසා ද අනපේක්ෂිත ගැබ් ගැනීම් ඇති විය හැකිය.

දරුවන් ලැබෙන වයසේ සිටින තරුණ කාන්තාවන් අනපේක්ෂිත ලෙස ගැබ් ගැනීමට බලපාන වෙනත් හේතු තිබේ.

දරුවකු බිහි කළ පසු බොහෝ කාන්තාවන්ට නැවත ඔසප් සෑදීම මාස කිහිපයක්ම ප්‍රමාද විය හැකිය.මේ නිසා බොහෝ කාන්තාවෝ උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන්නට ඔසප් සෑදෙන තුරුම බලා සිටිති.නමුත් ඔසප් නොසෑදුනාට එම කාලයේ ගැබ් ගැනීමේ හැකියාව නැතිවී යන්නේ නැත.එක්වීම අනාරක්ෂිත නම් නිසැක වශයෙන්ම ගැබක් හට ගැනීමට අවකාශ තිබේ.

අලුත උපන් බිළිදකු මව් කිරි බොන විටද දරු ගැබක් හට ගැනීම වළකින බවට මතයක් තිබේ.මේ මතයෙහි සත්‍යතාවය පවතින්නේ යම් දුරකටය.එනම් දරුවාගේ වයස මාස එකහමාරක් පමණ වනතුරු මේ ආරක්ෂාව තිබේ.ඉන් එහාට ඉබේ උපත් පාලනය වීමේ හැකියාවක් නොමැත.මේ පිලිබද නොදැනීම නිසාද කාන්තාවන් යළිත් ඉක්මණින් ගැබ් ගැනීම සිදු වෙයි.

දරුවා ලැබී මාස 3-4 කින් ඩිපෝප්‍රොවේරා එන්නත ලබා ගන්නට එන සමහර මවුවරුන් එම කාලයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වා තිබූ අයයි.නමුත් වැඩි දෙනෙක් ඒ බව වෛද්‍යවරයාට පවසන්නේ නැත.මේ නිසා එන්නත් විද ගත්තත් සමහරුන් ඒ වන විටත් ගැබ් ගෙන හමාරය.ඉන්පසු ඔසප් නොසෑදෙන විට එය ලගදී දරුවකු ප්‍රසූත කල නිසා සිදු වන්නක්ද නැතහොත් ගැබ් ගෙන දැයි වෛද්‍යවරයාට වුව කිව නොහැකි වෙයි.එම කා
න්තාවගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කළොත් ගැබ් ගෙන ඇති, නැති බව අනාවරණය කර ගත හැකිය.

ගබ්සාවක් කර ගැනීමට එන විවාහක කතුන් අතරින් අනෙකුත් කොටස වන්නේ අනියම් සම්බන්ධතා නිසා ගැබ්ගත් අයයි.

ගබ්සාව නීති විරෝධී වුවද රට පුරා හොර රහසේ පවත්වා ගෙන යන ගබ්සා මධ්‍යස්ථානවල සංඛ්‍යාව ඉහළ යාමක් මිස පහළ බැසීමක් නැත.නීතිය කරවන ඇතැම් නිලධාරීන් තුළ පවත්නා දුර්වලතා හේතුවෙන් මේ මධ්‍යස්ථා
ද යහතින් වැජඹෙයි.නමුත් මේ සමහර ගබ්සා මධ්‍යස්ථාන මස් කඩවලට දෙවෙනි නැත.

පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වරක් අප රෝහල වෙත පැමිණ තිබුණේ ඉතාම අසාධ්‍ය තත්වයෙනි.සෙප්ටිසීමියා රෝගයේ කම්පන තත්වය දක්වාම වර්ධනය වී තිබූ ඇය සිටියේ අසාධ්‍ය තත්වයේය.දින 12ක් දැඩි සත්කාර ඒකකයේ තබා ගෙන ප්‍රතිකාර කිරීමෙන් පසු ඇගේ තත්වය යහපත් අතට හැරිනි.ඇගෙන් කට උත්තරයක් ගන්නට ලැබුනේත් ඉන්පසුවය.

මේ කාන්තාව එක් දරු මවකි.දරුවාගේ වයස අවුරුදු එකහමාරක්වත් නැත.ඒ අතර ඇය අනපේක්ෂිත ලෙස යළි ගැබ් ගෙන තිබේ.ඇගේ ඥාති සොයුරියක් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ රැකියාව කරයි.මේ කාන්තාවගේ දරු ගැබ නැති කර ගන්නට උපදෙස් දුන්නේ එම ඥාති සොයුරියයි.ඒ අනුව ඇය තම බෝඩිමට මේ කාන්තාව ගෙන්වා ගෙන එම ප්‍රදේශයේ පිහිටි ගබ්සා මධ්‍යස්ථානයකට එක්කරගෙන ගොස් තිබුනි.ඉන්පසු ගබ්සාව සිදු කරන අතර ඇයට ප්‍රතිජීවක ඔසු ද ලබා දෙන ලදී.නමුත් දින කිහිපයකින් වෙව්ලමින් උණ ගැනීම හේතු කොටගෙන යළි ඇය ඒ තැනැත්තා වෙතම ගියාය.එහිදී ඔහු ඉන්ජෙක්ෂන් එකක් ලබා දී යළි ප්‍රතිජීව
ද දී තිබිණි.

එහෙත් තත්වය එන්න එන්නම නරක අතට හැරීම නිසා සුවයක් නම් තිබුණේ නැත.ඇය සිහි මද තත්වයට පත් වූ අතර කෙටි හුස්ම ගැනීම, ඇග සුදු මැලි වීම, සිහින් දහඩිය දැමීම වැනි ලක්ෂණ ද පල කළාය.මේ නිසා බියට පත් ඥාති සොහොයුරිය වහාම ඇය රෝහල් ගත කරන ලදී.මේ කාන්තාව සිටියේ සෙප්ටිසීමියා කම්පන තත්වයට ආසන්නවය.ඊට හේතුව ගබ්සා කිරීමේදී කළලයේ කොටස් ඉතිරි වී තිබීමය.ඒවා පැසවා ඇයට සෙප්ටිසීමියා තත්වය වැළදී තිබිණි.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තබාගෙන දින 12ක් ප්‍රතිකාර ලබා දීමට තරම් අසාධ්‍ය තත්වයක හිදීමෙන් එම ගබ්සාවේ බරපතලකම වටහා ගැනීමට හැකි වේයැයි සිතමු.ඒ කාන්තාව ඒ අයුරින් හෝ එම මොහොතේ මරණයෙන් මිදුණාය.එසේ වුවද මෙබදු අනාරක්ෂිත ගබ්සාවන් නිසා දිවි තොර වන කතුන්ගේ ප්‍රමාණය සුලුපටු නැත.නමුත් නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන එදා මෙන්ම අදත් සුවසේ වැරඹෙයි.හෙටත් එය එසේම වනු ඇත.