Wednesday, June 30, 2010

කිරි අම්මා


කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මලකුණු කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ
ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ
මෙවන් සතකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ/// 



ගායනය - නිහාල් නෙල්සන්
(පද රචකයාගේ හා සංගීතය සැපයූ පුද්ගලයාගේ නම් නොදන්නෙමි.මෑතකදී මෙම ගීතයේ පද රචකයා පැවිදි වී ඇත.)

Wednesday, June 23, 2010

ඔබත් ආගමේ නාමයෙන් සතුන් මරනවාද?


ඔබත් ආගමේ නාමයෙන් සතුන් මරනවාද?

එසේ නම් පහත වීඩියෝ පෙළ බලන්න.











මෙවැනි ආගමික ක්‍රියා කුමන සමාජයකින් හෝ අනුමත කරතියි ඔබ සිතනවාද?


මිනිසාට මෙන්ම සතුන්ටත් ජීවත් වීමට අයිතියක් නැද්ද?


සතුන් යනු දෙවියන් විසින් මිනිසාගේ ප්‍රයෝජනයට මැවූ දෙයක් පමණක්ද?


මෙවන් ආගම්වල දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ මිනිසුන්ට පමණක්ද?


ඇත්තෙන්ම මෙවැනි දේ වලට අනුබල දෙන දෙවියෙක් ලොව සිටීද?


මෙවැනි සතුන්ට ඔබට මෙන්ම මරණ බියක් නොදැනේද?


මෙම සතුන් මිනිසාට වඩා බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් වී ඔවුන් මිනිසුන්වත් මෙවැනි ආකාරයට මරා දමා ආහාරයට ගත්තේ නම් අපටත් මෙලෙස මරණ බය නොදැනී තියේවිද?


මිනිසා මෙවැනි දේ කරන්නේ අන්ධ ආගමික විශ්වාස නිසා නොවේද?


එසේ නම් නිවැරදි වන්නේ මිනිසාද?ආගමික ශාස්තෲවරුන්ද?සර්බලධාරී දෙවිවරුන්ද?දේව පුත්‍රයින්ද?නැත්නම් ස්වභාවිකවම මිනිසාගේ යටි සිතෙහි පවති වනචාරී, කෲර සිතුවිලිද?


මින්පසු ඔබගේ ශරීරයත් මෙවැනි අහිංසක සතෙකුගේ මළකුණු වල දමන සොහොන් පොළක් කර ගන්නේද?

Thursday, June 17, 2010

"ජේසු නම් වූ මා" - තවත් පොඩි විස්තරයක්

"ජේසු නම් වූ මා" නමින් ලියූ බ්ලොග් සටහන ගැන වචන කීපයක් තමයි මේ ලියන්නෙ.

මේ නිසදැස ලිව්වෙ කිසිම ආගමකට අගෞරව කරන්න කරන්න හිතා ගෙන නෙමේ.ජේසුගේ උපත හා ඔහුගේ මරණය ගැන ප්‍රශ්න කරන්න හිතාගෙනයි මේක ලිව්වෙ.

ජේසු නම් තැනැත්තාගේ උප්පත්තිය ඉතාමත් ප්‍රශ්නකාරී එකක්.ඔහු ඉපදී ඇත්තේ කිසිම පුරුෂයකු හා සිදු වූ කායික සම්බන්ධයකින් හට ගත් ඵලයක් ලෙස නොවේ.එනම් ජේසුගේ මවගේ ඩිම්බයක්, පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් මගින් සංසේචනය නොවී සිදු වූ උපතක් ලෙසයි ජේසුගේ උපත සදහන් කළ හැක්කේ.


සමහට විට මෙය ඇමීබා වැනි ක්ෂුද්‍ර ජීවින්ගේ සිදු වනවා වැනි තමාගේම සෛලයක් ද්විඛණ්ඩනය වී අලුත් ජීවීන් දෙදෙනෙකු ඇති වනවා වැනි උපතක් වීමටද බැරි නැත.එහෙත් මෙහිදී උපත ලබා ඇත්තේ එක් දරුවෙකු නිසා ඉහත තර්කය අදාළ වන්නේ සෛලය ද්විඛණ්ඩනය වී සෑදුනු අනෙක් ජීවියා ජේසුගේ උපතට පෙර ගබ්සා වූවේ නම් පමණයි.

මෙම දරු උපතට සම්බන්ධව කළ හැකි තවත් උපකල්පනයක් වන්නේ ජේසුගේ මව යම් පුරුෂයකු අතින් ලිංගික අපයෝජනයකට ලක් වීම නිසා එය වසන් කර ගැනීමට ඇය විසින් පතුරුවා හරින ලද බොරුවක් බවය.


එමෙන්ම ජේසුගේ උපත සත්‍යයක් නම් මදසරු බවට ලක් වූ පුරුෂයන් සමග විවාහ වී සිටින කාන්තාවන්ට දරුවෙකු ලබා ගැනීමට ද මේ ක්‍රමය භාවිතා කළ හැක.එමෙන්ම සමලිංගික විවාහකයින්ට ද මේ ක්‍රමය මගින් දරුවන් ලබා ගත හැක.නමුත් වෛද්‍ය විද්‍යාවෙන් ද ඔප්පු කළ නොහැකි මෙවැනි දරු උපතක් සත්‍යය යැයි සිතීම ආගමික විශ්වාසයන්ගෙන් මනස පුරවා ගත් මෝඩයන්ගේ හෝ මානසික විකෘතිතාවයකින් පෙලෙන්නන්ගේ ක්‍රියාවකි.


ජේසු මරණයෙන් පසු තම කායික ශරීරය හැර දමා යළි උපත ලැබූ බව ද අසත්‍යයක් විය යුතුය.මන්ද මරණයෙන් පසු, ඒ මරණයට පත් වූ පුද්ගලයාට ජීවත් වන්නවුන් සමග කිසිමදාක සන්නිවේදනය කළ නො හැකි බැවිනි.මේ ආකාරයේ ක්‍රියාවක් නවීන විද්‍යාවෙන් ද පැහැදිලි කළ නොහැක.අනෙක් අතට ඔහු සර්බලධාරියෙකුගේ පුතෙකු නම් ඔහුට කිසි දිනෙක බයිබලයේ සදහන් ආකාරයට දුක් විද මිය යන්නේ ද නැත.


ජේසු දේශනා කළ යමක් වේ නම් එය ලෝකය පුරා පතුරුවා හරින ලද්දේ තුවක්කුවේ බලයෙනි.කුරුස යුද්ධ ඇති වූයේත්, පෙරදිග තිබූ බොහෝ වටිනා හරයන් විනාශ වී ගියේත් මොහු දෙසූ ධර්මයේ නාමයෙන්ය.වර්තමානයේ දුප්පතුන්ට මුදල් දී තම ආගමට හරවා ගන්නේත් මොහුගේ නාමයෙන්ය.යාඥාවෙන් ලෙඩ සුව කරනවා කියා හොදින් සිටින මිනිසුන් මරා දමන්නේත් මොහුගේ නමින්ය.ජේසු සත්‍යය වශයෙන්ම සර්බලධාරියෙකුගේ පුතෙකු නම් හා ඔහු මරණින් පසු නැවත උපත ලැබු වේ නම් මෙවැනි දේවලට ඉඩ නො තබනු ඇත.අඩු තරමින් මෙවැනි බ්ලොග් සටහන් ලියන මා හට යහතින් ජීවත් වීමට ඉඩ නොදෙනු ඇත.ඔහු මිය ගිය ආකාරයට මාවත් කුරුසයේ ඇණ ගසා මරා දමනු ඇත.නමුත් මේ කිසිවක් සිදු නො වන්නේ ජේසු යනු සවර්බලධාරී දෙවියෙකුගේ පුතෙකු නිසා නොව ඔහු සාමාන්‍ය අප වැනිම මනුෂ්‍යයකු වන නිසාය.


අවසාන වශයෙන් කිව යුතු දෙයක් ඇත.එනම් මේ බ්ලොග් සටහන ලියූ මා කිසිම ආගමක් අදහන්නෙකු නො වේ.එමෙන්ම ඕනෑම ආගමක ඇති දෙයක් විවෘත මනසකින් ප්‍රශ්ණ කිරීමට නිදහසක් තිබිය යුතු යැයි සිතන්නෙක් වෙමි.එසේ යම් ආගමකට සම්බන්ධ අවිද්‍යාත්මක දෙයක් පෙන්වා දුන් විට "දෙවියන්ගෙන් සමාව ගනින්", "සිංහල බ්ලොග් ලියන අය අතරෙ කකුල් හතරෙ නැට්ට තියන එවුනුත් ඉන්නවා", "යන්න හිතන් ඉන්නේ මොන ලෝකෙකටද මන්ද ?පවු කාරයා" යයි කියන්නවුන් ගැන සිතෙන්නේ අනුකම්පාවකි.ඔවුන් ආගම නැමැති කඩතුරාවෙන් මනස වසා ගෙන සිට්න, ආගමෙන් තොරව විවෘත මනසකින් සිතිය නොහැකි මිනිසුන් ලෙසය මට පෙනෙන්නේ.


මේ ගැන තවත් තර්ක කිරීමට අවශ්‍ය නම් මගෙන් "යන්න හිතන් ඉන්න ලෝකය" ගැන නො අසා විද්‍යාත්මකව සත්‍යය යැයි පෙන්විය හැකි සාක්ෂි ගෙන තර්ක කිරීමට පැමිනෙන්න.


ඕනෑම ආගමක් දෙස ආගම නම් කෝණයෙන් නො බලා විවෘත මනසකින් තර්ක කර එම ආගමෙහි පැවසී ඇති දේ සත්‍යය යැයි හැගේ නම් පමණක් එය විශ්වාස කරන්න.


පහත සදහන් බ්ලොග් සටහන්ද මේ සමග කියවා බලන්න.

http://charithsriyan.blogspot.com/2009/11/blog-post.html

http://charithsriyan.blogspot.com/2009/01/blog-post.html
http://charithsriyan.blogspot.com/2008/11/blog-post_27.html

ජේසු නම් වූ මා


මම වෙමි ජේසු
පුරුෂ ධාතුවකින් නූපන්
හුදෙක් දෙවියන්ගේ පුතු වූ
සහ
කන්‍යා භාවය අහිමි කර නොගෙන
දරුවෙකු මෙලොවට බිහි කලා වූ
එකම කාන්තාවගේ පුතු

සර්වබලධාරියාගේ පුතු වුවත්
නියත වුනි මටත් මරණය
නමුත්
මුලා කලෙමි බොහෝ සිත්
ලෝ වැස්සන්ගේ
යළිත් මා
මරණයෙන් පණ ලැබූවේ යයි කියා

එදා සිට අදටත්
ලෙයින් තෙත් වෙයි මිහිකත
මුලා වූ නිසා
මගේ බොරුවලින්

කෙලෙස වන්නද දෙවි පුතෙකු
මරණයෙන් ගැලවෙන්නටවත් බැරි වූ මා
ම පියා මැවූ ලෝකයෙන්
වෙන්වන්නටත් සිදු වූ කල

Monday, June 14, 2010

මොන්ටිසෝරියේ සිට ඉස්කෝලෙට

ළමයෙකුට අවුරුදු දෙක, තුන වන විටම
ඔහු යවයි ළදරු පාසල

ළමයාගේ පෙර පිං පවු අනුව
තීරණය වෙයි මොන්ටිසෝරියේ සිටිනා කාලය


අලි බදින දම්වැල් ගෙන
නිවසේ සිට ඉස්කෝලෙට ඇති දුර මැන
දමා ගන්නට වෙහෙසෙයි පාසලකට
කරමින් "මිෂන් ඔෆ් - ඉස්කෝල ඇඩ්මිෂන්" එක


පාසල් වර්ග බොහෝය
සුපිරි ස්කූල්, ඉන්ටකූල් ස්කූල්, හයි ෆයි කොලේජ්, ජාතික පාසල්, සබා පාසල් කියා
හැමෝම වෙහෙසෙන්නේ
සුපිරි පාසලක්ම සොය සොයා


දහසක් බොරු උගන්වා
කැන්දා ගෙන යයි පාසලට ඇතුලු කෙරුමට දරුවා
දසින් බැදි පියලි සහිත දොළ පිදේනි ගෙවා
යවයි දරුවා පාසලට අකුරු කරනට සතොසිනා


ශිෂ්‍යත්වය ලං වන විට
පොවා ටියුෂන් කසාය
සවිබල ගන්වයි ළමා මොළය
යන්න
"ඉන්ටර්කූලර්" පාසලකට

ඇටි කුකුළා බුක් ගසන්නට පෙර පාඩම් කර
ගෙදර නොපෙනෙන තරමට කලුවර වූ පසු පැමිණත් පාඩම් කර
TV බැලීම හා සෙල්ලම් කිරීම ඇලජික් නිසා නතර කර
කරයි ශිෂ්‍යත්වය ළමයා දෙමාපිය උවමනාවට


ශිෂ්‍යත්වෙන් පසු එයි ඕ.ල්. හා සා.පෙ. කඩුලු
මේ කාලෙට හැම දෙමාපියනටම උවමනා දොස් වලින් තොර දරුවකුය
එනිසා ඔහුව දොස්තරෙකු කරන්නට දගලයි නිරතුරුව
එසේ වුවොත් මුලු ලංකාවම දොස්තරලාගෙන් පිරෙයි

දේව කරුණාවේ බලෙන්
හැමෝටම සා.පෙ.න් පනින්නට බැරිය
එනිසා දොස්තරලා වැහි වැහීමෙන්
ලංකාව බේරේය


සා.පෙ. කඩුල්ලෙන් උඩින්ම පනින්නවුන්
වැටෙන්නේ "විජ්ජා" අංශයටය
ඒ නිසා පසු කලෙක ඔවුන්
"විජ්ජා" කරමින් සල්ලි මවනු ඇත

බාගෙට පනින උන්
වැටෙන්නේ "කොමිස්" අංශයටය
උන් නම් ඉතින් සල්ලි ගැවසෙන තැන්වලට ගොස්
"කොමිස්" ගැසීමට පුරුදු වන්නෝය


කඩුල්ලෙන් යන්තම් රූටා ගන්නන් යන්නේ
"හුදකලා" අංශයටය
එනිසා ඔවුන් "හුදකලා" වී
ඇඩ්‍රස් නැති වී යන්නේය

උ.පෙ. හරිහැටි පැන්න උන් යයි "සර්වලෝක" පාසලට
අනිත් උන් යයි නානාප්‍රකාර "කෝස්" වලට
ලාන්තරස් වී ජොබ් කටුවකට පැන ගත නොහැකි වුවොත්
යයි මැදපෙරදිගට වහල් කම් කෙරුමට

Saturday, June 12, 2010

සත්වයෙකු නො වූ මිනිසා

නැත ඉඩක් පූසියෙකුට පැටවුන් දමන්න ට
නැත ඉඩක් බැල්ලියකට පැටව් දමන්න ට
කරලා ඇත වද සැත්කම් උන් ට
නැත කිසි ඉඩක් පැටවුන් දමන්න ට

බැරි වෙලා ඉපදුනොත් පූසෙක් හෝ බල්ලෙක් නිවසක
ඇස් ඇරි විගසම ගෙනිහින් දානව පන්සලට
දානෙ කකා හොදට වැඩී එම සතුනුත්
නොනවත්වා කරයි ප්‍රජනනය උන් මැරෙන තුරු

බිත්තර දමන්නට ආ කිඹුලිය
කුදලා ගෙන යයි වන ජීවෙන්
කිඹුලිය දැමු බිත්තර ටිකත්
රකිනවා ඇත ව
ජීවෙන්

යන්නට නැත පාරක් අලියෙකුට
ඉදි කරලා ඇත නිවාස හරහට අලි මංකඩක
මේ කිසිවක් නොදන්නා අලියා ආවොත් ගමට
කුදලා ගෙන ගොසින් දමයි වෙන කැලයකට

මේ හැම විපත් සිදු වන්නේ මිනිසා නිසාය
මිනිසාද සතෙකි අන් සතුන් සේම
සතුන්ට කරනා හැම විපතක්ම
මිනිසාට පල දෙන්නේ එක දෙක වීය

මිනිසාටත් දැන් නිදහසේ පැටවුන් ගසන්නට බැරිය
අවජාතක වූවොත් සමාජයේ ඉන්නට බැරිය
ඒ නිසා ගොස් දමනවා මිනිස් පැටවුන් වැසිකිළි වලවලට
ඒ සියලු පව් මැකී යනවා සෝමාවතී ගොස් බුදු රැස් දැක්කාම

Friday, June 11, 2010

සකල සිරින් පිරි සිරි ලංකාව

කලකින් පහල වී ඇත
දියසෙන් කුමරකු අප රටට
යුද්ධය දිනීමෙන් පසු
ඔහු විය අග රජු මුලු රටට



යුද්ධය කල සෙන්පති යා
එකල ඔහු දේශප්‍රේමි යා
රජුට විරුද්ධ වූ නි යා
වීය ඔහු මුලු රටේම දේශද්‍රෝහි යා



වෙමින් ඇත ලංකාවම සිංගප්පූරුව ක්
ටික කලකින් වේය ආසියාවේ ආශ්චර්යය ක්
වැටුනෝතින් කොළඹට මල් වැස්ස ක්
සිහිවේය අතීත පැරකුම් යුගය ක්



හාල්, කිරිපිටි, සීනි සුපිරි ආහාරය
පාන් කන්නේ කොළඹ හතේ සුපිරි ධනවතුන්ය
නැත හොකරුන් දැන් පිටකොටුවේ
කන්නට නැතත් සිටියි සැවොම සතුටින් බෝ සේ



හරක් හොරුන්, රේස් පොළ හිමියන් සිටීය රජ මැදු රේ
හිගන්නන්, ගණිකාවන් හා පිම්පියන් සිටීය මහ පා රේ
දුන්නත් මහ දන්සැල් ඡන්ද කාලෙට අනේපිඩු සිටාණන් සේ
රටෙන් භාගයක් සිටීය බඩගින් නේ



තබා ඇති මුත් මතට තිත
යයි ඉල්ලුම ඉහළට මතට
නොමැති මුත් මුදල් තුන් වේල කන්නට
බොයි "ඇති හිටියා" හා "සුදුවා" ඇති පදමට



අවසන් වූ පසු "අයිෆාව"
දැන් ඇත පටන් ගෙන "සීපාව"
නංගිගෙ මුලු රීරි මාංශෙම
උරා බොයි ලොකු අයියා තම රටෙහි සිට

Thursday, June 10, 2010

දරු ප්‍රසූතියෙන් පසු ඇතැම් මව්වරුන්ට වැළදෙන "වැදූ ගෙයි සන්නිය" යනු කුමක්ද?

උපදෙස් - ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එල්.ඒ.ඩබ්ලිව්.සිරිසේන.

වැදූගෙයි සන්නිය යනු බියකරු රෝගයක් වශයෙන් අපේ පැරන්නෝ සැලකූහ.මෙයට අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි යන විශ්වාසයද තිබිණි.දරුවකු වැදූ අලුත මවකට සැන්දෑ කාලයේ කොහොඹ කොළ දුම් ඇල්ලීම, දිවා කාලයේ නෑමෙන් පසු සිරුර ඉක්මණින් උණුසුම් වීම සදහා දුම් ඇල්ලීම, සවස් කාලයේ නෑමට හෝ ඇග සේදීමට ඉඩ නොදීම වැනි දෑ මේ සදහා අතීතයේ වැඩිහිටියන් විසින් අනුගමනය කළ සිරිත් විරිත් විය.


වැදූ ගෙයි සන්නිය වෛද්‍ය විද්‍යාත්මකව හදුන්වන්නේ කෙසේද?


සන්නිය යන්න බටහිර වෛද්‍ය විද්‍යාවේ දක්වන්නේ වලිප්පුව ලෙසය.ඒ අනුව මේ රෝග තත්වය පසු ප්‍රසව වලිප්පුව (Postpartum eclampsia) යනුවෙන් හැදින්විය හැකිය.


සාමාන්‍යයෙන් ගර්භනී මවකගේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්හි තරලය රැදී තිබේ.ගැබිනි මවක් තරබාරු වන්නේත්, සිරුරේ බර වැඩි වන්නේත් මේ තත්ත්වය නිසාය.මෙය රෝගයක් නොවේ.


සමහර ගැබිනි මව්වරුන්ට ගැබිනි සමයේදී විශේෂයෙන් අවසන් තුන් මාසයේදී අධි රුධිර පීඩනය හට ගනියි.එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඇගේ මොළය, හෘදය වස්තුව, අක්මාව, වකුගඩු යන ඉන්ද්‍රියයන්හි තරල රැදීමේ ස්වභාවය වැඩිය.එබදු අවස්ථාවලදී මුත්‍රා සමග ඇල්බියුමින් පිට වීම, ශරීරය ඉදිමීම වැනි ලක්ෂණ මතුවනු ඇත.මෙය රෝගී තත්ත්වයක් ලෙස සලකන අතර, ගර්භ විෂ රෝගය යනුවෙන් හදුන්වන්නේ එයයි.මෙය ශරීරයේ සෑම ඉන්ද්‍රියයකටම බලපෑ හැකි අතර, එහි උග්‍ර තත්ත්වය ගර්භ වලිප්පුවයි.වැදූගෙයි සන්නිය වශයෙන් හදුන්වන්නේ මෙයමය.මෙය ගැබිනි සමයේ අවසන් කාලයේදීත් දරුවා බිහි කළ මුල් පැය කිහිපයේදී හෝ දින කිහිපය තුළදීත් හට ගත හැකි රෝගයකි.එය හට ගන්නා ආකාරය පිළිබදව අපි දැන් සොයා බලමු.


සාමාන්‍යයෙන් මවකගේ දරු ගැබට සති 12ක් පිරුණු පසු සතියකට කි.ග්‍රෑ.දශම පහක් වැනි ප්‍රමාණයකින් එහි බර වැඩිවේ.නමුත් මේ බර වැඩිවීම නිසි පරිදි සිදු වන්නේද යන්න දැනගන්නට හැම සතියකම එකම දිනයක එකම වේලාවට බර කිරිය යුතුය.එක දවසක කෑමට පෙර බර කිරා ඉන්පසුව සතියේ කෑමට පසු බර කිරීම මගින් මේ වැඩිවීම නිසි ලෙස සොයා ගත නොහැකිය.එබැවින් කෑමට පෙර නම් සෑම සතියේම එම දිනයේ එම වේලාවට කෑමට පෙරම බර කිරිය යුතුවේ.නැත්නම් කෑමට පසුය.


සාමාන්‍ය ආකාරයේ බර වැඩිවීමක් ඔය ආකාරයට හදුනාගත හැකිය.ඊට වඩා මද වෙනස්කම් ඇති වුනත් එය සාමාන්‍ය බරක්ද යන්න වෛද්‍යවරයාට හදුනා ගැනීම අපහසු නොවේ.නමුත් යම් මවකගේ බර සීග්‍රයෙන් වැඩි වන්නේ නම් ඒ පිළිබද වෛද්‍යවරු විශේෂයෙන් සැලකිලිමත් වෙති.හේතුව එය ගර්භ විෂ රෝගයේ මූලික අවස්ථාව විය හැකි නිසාය.මේ සමග රුධිර පීඩනයත් වැඩි වන්නේ නම් එම ගැබිනි මව රෝහල් ගත කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.එහිදී මුත්‍රා පරීක්ෂණයක් කර මුත්‍රා සමග ඇල්බියුමින් පිට වන්නේද යන්නත් සොයා බැලේ.මේ සියලු දේ මගින් ගර්භ විෂ රෝගය හදුනාගත හැකිය.


මෙයට් ප්‍රතිකාර නොගෙන සිටියොත් සිදුවන්නේ එය උග්‍ර තත්ත්වයට පත් වී ගර්භ වලිප්පුව හට ගැනීමයි.මෙම වලිප්පු තත්ත්වය පැමිණි පසු උදරයේ අධික වේදනාව, ඇස්වලට අමුතු එළි පෙනීම, බල නහරවල ඉබේ සිදුවෙන ක්‍රියාවන් අධිකව දැනීම වැනි ලක්ෂණද රෝගියා තුළ ඇතිවේ.


මේ රෝගය භයානකය.යම් ගැබිනි මවකට අධික රුධිර පීඩනය ඇති විට රෝහලේ නවත්වා ගනු ලබන්නේ ඉහත කී අනෙකුත් පරීක්ෂණද කර ගර්භ විෂ රෝගය ඇත්නම් අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාර ලබාදීම පිණිසය.


යම් ගැබිනි මවකට අධි රුධිර පීඩනය පැවතියේ නම් ප්‍රසූතියෙන් පසුවත් වෛද්‍යවරු විශේෂයෙන් සැලකිලිමත් වෙති.

ඉතා කලාතුරකින් ගැබිනි සමයේ අධි රුධිර පීඩනය නොතිබූ මවකට දරුවා ප්‍රසූත කිරීමෙන් පසු එකවරම
රුධිර පීඩනය වැඩි වී ගර්භ වලිප්පුව හට ගැනීමටද අවකාශ තිබේ.


ගැබිනි සමයේදී ගර්භ වලිප්පුව හැදී මව සිහිසුන්ව සෑහෙන වේලාවක් සිටියොත් දරුවාට ඔක්සිජන් නොලැබීම නිසා දරුවාට අනතුරක් වීමටද ඉඩ තිබේ.එසේම ගර්භ වලිප්පුව සෑදී මවට වමනය ගොස් වමනය ස්වාසනාලයේ සිර වුවහොත් මවට අනතුරක් වීමටද ඉඩ තිබේ.ගර්භ වලිප්පුව, පසු ප්‍රසව වලිප්පුව සහ වැදූගෙයි සන්නිය ආදී වශයෙන් හදුන්වන මේ රෝගය භයානක වන්නේ එබැවිනි.


"පොතක් ගැන යමක් "

අද මම අලුත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත.බ්ලොග් එකේ නම තමයි "පොතක් ගැන යමක්".

අලුත් බ්ලොග් එකේ මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මම කියවන සිංහල හා ඉංග්‍රීසි පොත් ගැන පොඩි හැදින්වීමක්.හැබැයි මම පොත් ගැන විචාරයක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.බොහොම සරලව මම කියවපු පොත් ගැන හැදි
න්වීමක් විතරයි මම මේ බ්ලොග් එකේ ලියන්නෙ.

ඉතින් ඔබත් ඇවිත් මගේ අලුත් බ්ලොග් එක බලල හොද, නරක කියල යන්න.

Friday, June 4, 2010

ජීවිතයේ මුල් වරට දුටු සමහරුන්ව කලින් දැක පුරුදු බවක් හැගෙන්නේ ඇයි?

උපදෙස් - විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර.

යම්කිසි කෙනෙක් දැක්කම "එයාව නම් මට හොදට දැකල පුරුදුයි.එයාව දැකපු ගමන් මගෙ හිතට ඇල්ලුවා, එයා නම් හරිම මුස්පේන්තු පාටයි" වැනි දේවල් අපට සිතෙන්නේ ඇයි?

මෙහෙම වෙන්න බලපාන්නෙ කෙනෙකුගෙ රූප සම්පත්තියම නෙමේ.රූමත් කෙනෙක් දැක්කම "එයා පාට තිබුණට මූණ හරි නපුරු පාටයි" වැනි දෙයක් තවත් කෙනෙකුට හිතෙන්න පුලුවන්.ඒ වගේම වැඩි පෙනුම නැති කෙනෙක් දැක්කම "පෙනුම නැති වුණාට එයා හරි අහිංසක පාටයි" වැනි දෙයක් ද හැගෙනු ඇති.

අපේ මොළය කියන්නෙ මතක ගබඩාවක්.මෙහි ස්මරණය සම්බන්ධ වෙනම සෛල කලාපයක්ද පිහිටා තිබෙනවා.අපට අසන්නට දකින්නට ලැබෙන හැම දෙයක්ම මේ සෛල කලාපය තුළ තැන්පත් වෙනවා.මේ සැගවගත් මතකය (Repressed memories) තුළ සමහර විට අප කුඩා දරුවකුගේ කාලයේ බැලූ ළමා චිත්‍රපටියක රගපෑ නලුවකු, නිළියක පිළිබද මතකයත් සටහන් වෙලා තියෙන්න පුලුවන්.ඇතැම් විට අප ඊට පසු යම් කෙනෙකු දකින විට මනසේ සැගව ගත් මතකයේ තිබෙන අර නලුවා හෝ නිළිය පිළිබද මතකය ප්‍රසන්නතාවයක්ද සමග ඉස්මතු වන්න පුලුවන්.එවිට අප දුටු ඒ පුද්ගලයා පිළිබද ප්‍රසන්න බවක් අපේ සිතේ ඉබේම මතු වෙනවා.නමුත් ඒකට හේතුව ළමා කාලයේ දැකපු චිත්‍රපටිය බව අපේ උඩු සිතට කොහොමටවත් හැගෙන්නෙ නැහැ.


මෙය තවදුරටත් පැහැදිලි වන්නට තව උදාහරණයක් ගනිමු.


කිසියම් පුද්ගලයකුගේ මෝටර් රථයකින් ඔබ අනතුරකට පත්වන්නට ගියා හෝ යම් අනතුරක් සිදුවූයේ යැයි සිතමු.ඒ මොහොතේ එම රියදුරාගේ මුහුණුවර ඔබේ මනසේ තැන්පත් වෙනවා.ඊට වසර ගණනකට පසු ඔබේ සොයුරිය බලන්නට මනාලයකු පැමිණෙනවා.ඔහු දුටුමනින්ම ඔබ තුළ අප්‍රසන්න බවක් ඇති වෙනවා.ඊට හේතුව ඔහු දුටු මුල්ම අවස්ථාවේ අර රියදුරා පිළිබද මතකය කුමන ආකාරයකින් හෝ ඔබ තුළ ඉස්මතුවීම නිසයි.නමුත් උඩු සිතට මෙය නිවැරදිව වටහා ගන්න බෑ.තමාට රියදුරා පිළිබද මතකය මතු වූ බවක් තේරෙන්නේ නෑ.හිතට දැනෙන එකම දේ "අපෝ ඒ මනමාලයා නම් මට දැකපු ගමන්ම එපා වුණා" යන්න පමණයි.


තමාට බොහෝ දඩුවම් කළ පාසල් ගුරුවරියකගේ මතකය යම් දිනකදී එම තැනැත්තා විවාහ වූ පසු බිරිද තුළින් ඉස්මතු වුවහොත් ඔහුට කිසිම හේතුවක් නැතිව බිරිදව නොරුස්සන්න පුලුවන්.නමුත් ඒ නොරිස්සුම මිස එයට හේතුව ඔහුටවත් හිතා ගන්න බෑ.


මෙසේ එක අයකු පිළිබද හැගීම තවත් කෙනෙකු වෙත යොමු වීම තිරෝහරණය (Transference) ලෙස හදුන්වන්න පුලුවන්.මේ පදනම තුළ අපට යම් යම් දේවල් පිළිබද හේතුවක් නැතිවම අප්‍රියතාවය හෝ ප්‍රියතාවය හට ගන්නවා.මේ අනුව කෙනෙකු දුටු පමණින් අප ඒ පුද්ගලයා පිළිබදව හොද හෝ නරක වශයෙන් විනිශ්චයකට එළඹීම සුදුසු නෑ.ඔබට ප්‍රියමනාප නොවූ කෙනෙක් හොදින් දැන හදුනාගත් පසුව ඔහු/ඇය ඉතා හොද කෙනෙකු බව වැටහෙන්න පුලුවන්.ඒ වගේම පෙනුමෙන් ප්‍රියමනාප අය කලක් ඇසුරු කරන විට ඒ තැනැත්තා/තැනැත්තිය ඇසුරට නුසුදුසු බවක් වුණත් හැගෙන්න බැරි කමක් නෑ.

Thursday, June 3, 2010

සමහරු තමන් ගැන මහා ඉහළින් සිතීම මානසික ආබාධයක්ද?

උපදෙස් - විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර.

මේ පසුගිය දිනයක එක්තරා කාන්තාවක් අප වෙත යොමු කළ ගැටලුවකි.අද කතා කරන්නට බලාපොරොත්තු වන මාතෘකාවට එය අදාළ වන නිසා අපි එම කාන්තාවගේ පැනයෙන්ම මේ සාකාච්ඡාව ආරම්භ කරමු. 


අප බැංකු ශාඛාවට අලුතින් පැමිණි කළමනාකාරවරිය නිතරම සිතන්නේ තමන් ගැනම පමණි.තමන් හැම විටම නිවැරදියි යන මතයේ හිදින ඇය ආයතනයේ සියලු දෙනා තමන්ට යටත් වී සිටිය යුතු බවක්ද හගවන්නීය.ආයතනයේ නීතිරීති, අණ පනත් වෙනුවට සේවකයන් සියලු දෙනා තමන්ට අවශ්‍ය පරිදි අවනත වී කටයුතු කළ යුතු යැයි ඇය තරයේම විශ්වාස කරයි.ඇගේ මෙම ස්වභාවය තේරුම් ගත් ආයතනයේ කිහිප දෙනෙකු ඇයට එකග වී කටයුතු කරති.එයින් ඇය තවත් ශක්තිමත් වී උඩගු වී සිටියි.තමන්ට අවනත නොවන සහ එකග නොවන අය පිළිබදව කිසිදු තැකීමක් නොකරන ඇය තමන්ට අවනත වී හිදින අය පිරිවරසේ සලකමින් එහි රාජිනිය ලෙස වැජඹෙන්නට උත්සාහ දරන්නීය.මෙය අනෙක් අයට විශාල පීඩනයකි.මෙවැනි තත්වයක් මනෝ විද්‍යාත්මකව විශ්ලේෂණය කළ හැකිද?


විසදුම


නාසිස්ම පෞරුෂ විෂමතාව (Narcissistic Personality Disorder) මේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙන තත්වයකි.මේ පෞරුෂ වර්ගයේ ස්වභාවය නම් ඉතාම ප්‍රභල ලෙසින් තමා තමාවම අගය කර ගැනීමයි.තමන් ඉතාම උසස් පුද්ගලයකු ලෙස මේ අය සිතා සිටින අතර, ජයග්‍රහනය පිළිබද, බලකාමය පිළිබද, තම බුද්ධිමට්ටම පිළිබද සීමා රහිත හැගීම් සහ අභිමානවත් හැගීම් ඇතිව ඔවුහු ජීවත් වෙති.තමන්ගේ බලය කොයි තරම්ද, තම රූපය කොතරම් යහපත්ද, බුද්ධිය කොතරම් උසස්ද යනුවෙන් නිරන්තරව තමන් ගන්නා තීරණ කොතෙක් නිවැරදිද ආදී වශයෙන් සිතන මේ අය අන්‍යයන්ගේ අවධානය යොමු කර ගන්නට නොකරන දෙයක් නැති තරම්ය.මොවුහු නිතරම අන් අයගෙන් උණුසුම් පිළිගැනීම් අපේක්ෂා කරති.නමුත් අනෙක් අය කෙරෙහි ඔවුන් එවැනි හැගීම් ඇතිව ක්‍රියා කරන්නේ නැත.


බොහෝ විටම මේ පෞරුෂ විෂමතාවය ඇත්තවුන් අනෙක් අයව තමන් වෙනුවෙන් පාවිච්චි කිරීමට යොමු වනු ඇත.නමුත් අනෙක් අය වෙනුවෙන් ඔවුන් ඒ ආකාරයට ක්‍රියා කරන්නේ නැත.නිරතුරුව සිතන්නේ තමා පමණක් උසස්, තමා පමණක් ඉස්මතු විය යුතුයි, අනෙක් අය තමා වෙනුවෙන් සිටිය යුතුයි යනුවෙනි.


විෂමතාබාධ (මායා රෝගී) පෞරුෂයට බෙහෙවින් සමීප නාසිස්ම පෞරුෂය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු පෞරුෂය විෂමතාවයකි. 


නාසිස්ම පෞරුෂ විෂමතාවය හැරුණු විට නාසිස්මය නමින් හදුන්වන ලිංගික අවවර්තන තත්වයක්ද තිබේ.මෙය Narcissism යනුවෙන් හදුන්වන අතර මෙහි අදහස නම් ස්වරූප රාගය යන්නයි.


ආදි කාලයේ සිටි තරුණයකු පොකුණක වැටී තිබෙන තමාගේම ඡායාව දැක ඒ කෙරෙහි බලවත් ආදරයක් උපදවා ගත්තේය.මෙම ලිංගික වවර්තන තත්වය නාසිසිසම් යනුවෙන් හැදින්වෙන්නේ ඒ අනුවය.තමන්ගේම නග්න ශරීරය දෙස කැඩපතිකින් බලා හිද රාගික හැගීම් උපදවා ගැනීම මෙම ලිංගික අවවර්තනයේ ස්වභාවය වන අතර මෙයට හුරු වූ කෙනෙකුට බාහිර දෙයකින් ලිංගික උත්තේජනයක් ලැබීම අසීරුය.කැඩපතකින් තම ශරීරය දෙස බලාගෙන එය ස්පර්ශ කරමින් යම් ක්‍රියාවක යෙදී එමගින් ලිංගික තෘප්තිය ලැබීම ඔවුන්ගේ ස්වභාවයයි.ඔවුන්ගේ සිහින ලෝකය තුළ රගන්නේ තමන්ගේම ශරීරයයි.


සමාන්‍යයෙන් බාල කාලයේදී හැම කෙනෙක්ම උනන්දු වන්නේ තමන්ගේ ශරීරය දෙසය.ඔවුනට එය කණ්ණාඩියකින් දුටුවිට අමුතුම සතුටක් ඇතිවේ.නමුත් ක්‍රමයෙන් වර්ධනය වන විට එම හැගීම් නැති වී යන අතර ඒ වෙනුවට සෙසු අයගේ ශරීර කෙරෙහි හැගීම් ඉපදීම සිදුවනු ඇත.කෙසේ වුවද නාසිස්මය යනු සුලබව දකින්නට ලැබෙන ලිංගික අවවර්තනයක් නොවේ.නමුත් නාසිස්ම පෞරුෂ විෂමතාවය නම් සමාජය තුළ ඉතා සුලබව දැකිය හැකිය.