Thursday, July 29, 2010

බෝම්බයක් පිපිරීම වැනි දෙයකදී කම්පනය නිසා රෝගී වීම

උපදෙස් - මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු.

"බෝම්බයෙන් හටගත් කම්පනය නිසා විශාල පිරිසක් රෝහල් ගත කර ඇත."

මෙවැනි සිද්ධි පිළිබඳ ඔබටත් හොඳින් හුරු පුරුදු විය හැකිය. ඒ අනුව බෝම්බයක් පිපිරීමකදී ඊට ලක් වී තුවාල ලැබූවන් මෙන්ම කම්පනයට ලක් වූවන්ද රෝහල් ගත කෙරේ. මෙවැනි තත්
ත්වයකින් මිනිසකුට විය හැකි ආපදාව කුමක්ද?

කම්පනය යනු කුමක්දැයි මෙහිදී විමසා බැලීම වටියි.

කම්පනය දෙආකාරයකි. ඒ ශාරීරික කම්පනය හා මානසික කම්පනය වශයෙනි.


ශාරීරික කම්පනය - ලොකු තුවාලයක්, විශාල ලෙස ලේ ගැලීමක්, අධික ලෙස වමනය හෝ පාචනය, කොදු නාරටියේ ස්නායුවලට හානියක් සිදුවීම, විෂ වර්ගයක් ශරීර ගත වීම වැනි හේතුන් මත කෙනෙකු ශාරීරික කම්පනයට ලක් විය හැකිය.

මානසික කම්පනය - හදිසියේම ඉතාමත් කනගාටුදායක ආරංචියක් අසන්නට ලැබුණු විට, තමන් හදිසි අනතුරකට ලක් වුණු විට, සර්ප දෂ්ටනයක් සිදු වූ විට, තමන්ට බරපතල ලෙස තුවාල සිදු වූ විට කෙනෙකු මානසික කම්පනයට පත් වනු ඇත. සමහරු ශාරීරික කම්පනය හා මානසික කම්පනය යන දෙකම එකවර ඇති වීමටද පුළුවන.

මේ කම්පන දෙකේදීම රෝගියා ක්ලාන්තය හැදී වැටීම , සුළු වෙලාවකට සිහිමඳ ගතියක් ඇති වීම සිදු වනු ඇත. සිහිමඳ ගතිය දුරු වන විට ශාරීරික ආබාධයක් නැති කෙනෙකු වුවත් මානසික කම්පනය සිදුවීමෙන් පසු සිතට දැඩි ආවේග ඇතිවීම, කෝපය හෝ දැඩි කනගාටුවක් ඇතිවීම, මානසික රෝගී තත්වයක් (නින්ද නොයාම, රැකියාවට යාමේ අපහසුව, පවුල් ජීවිතය අසාර්ථක වීම වැනි තත්වයන්) පළ කිරීම සිදු විය හැකිය.

ශාරීරික කම්පනයක් නම් කෙලින්ම රෝහල් ගත කළ යුතුය.

මානසික කම්පනයක් ඇති වී සිහි මඳ තත්ත්වයෙන් පසු වන්නේ නම් රෝගියාට විනාඩි කිහිපයක් එසේ ඉන්නට ඉඩදී සිහිය පැමිණි පසු ඉන්පසු පළවන ලක්ෂණ වලට ප්‍රතිකාර කළ යුතුය. නමුත් සර්ප දෂ්ටනයක්, හදිසි අනතුරක් වැනි දෙයක් නම් වහා රෝහල් ගත කළ යුතුවේ.