Thursday, August 12, 2010

පුංචි කාලෙ බලපු කාටූන්

පල්ලෙහා දාල තියෙන්නෙ මම පුංචි කාලෙ ආසාවෙන් බලපු කාටුන් කීපයක්. "දොස්තර හොඳ හිත", "පිස්සු පූසා", "හා හා හරි හාවා", "ගලිවරයන්ගේ සුවිසැරිය" වගේ මම තවමත් ප්‍රිය කරන කාටූන් කීපයක වීඩියෝ කීපයක්. මේවා බලද්දි ආපහු පුංචි කාලෙට යන්න හිතෙනව.














මේවයින් දැන් ඉදල හිටල හරි පෙන්නන්නෙ "පිස්සු පූස" විතරයි. ඒකත් දැන් ගොඩක් කාලෙකින් පෙන්නුවෙ නෑ. දැන් ඉන්න ළමයින්ට මේ වගේ කාටූන් එකක් රස විදින්නත් බැරිව ඇති. ඊටත් වඩා මේව පෙන්නුවත් බලන්නත් වෙලාවක් නැතුව ඇති. මේ කාටූන් අයිති වෙන්නෙ ටයිටස් තොටවත්ත මහත්මයාගෙ යුගයට. ඒ මහත්මයා අඩු තාක්ෂණයක් තිබ්බ ඒ කාලෙ කරපු වැඩ ටිකවත් තාක්ෂණය අතින් ගොඩක් දියුණු දැන් කාලෙ කෙරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. දැන් ළමයි වෙනුවෙන් රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වෙන වැඩසටහන් එච්චර ජනප්‍රිය වෙන් නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. එදාට වඩා රූපවාහිනී නාලිකා බහුල අද කාලෙ හරි නම් වෙන්න ඕන ගුණාත්මක බවින් ඉහල වැඩසටහන් වැඩියෙන් නිෂපාදනය වීම. ඒත් දැන් වෙන්නෙම පුළුවන් තරම් කසිකබල් ටෙලි නාට්‍යය නිෂ්පාදනය වීම. ටයි මාමා අංශභාග රෝගයට ගොදුරු නොවී හිටියනම් තවත් අළුත් නිර්මාණ අපිට දැක බලා ගන්න තිබුණා.

කාටුන් නොවුනත් "රොබින්සන් අන්දරය", "මායා බන්ධන" වගේ වැඩසටහනුත් දරුවන් අතරේ ඒ දවස්වල හොඳට ජනප්‍රිය වුණා. මේ කාලෙ ජනප්‍රිය වෙච්ච කාටුන් එක තමයි "ටිං ටිං". මේ අපි පහේ, හයේ පංතිවල හිටපු කාලෙ. මේව අතුල රන්සිරිලාල් මහත්මයාගෙ වැඩ.





පස්සෙ කාලෙක සිරසෙන් කරපු "සූර පප්පා" අතිශයින් ජනප්‍රිය වුණා. ඒ වගේම "කව්ද බෝයි" වගේ කාටුන් එහෙමත් ටිකක් ජනප්‍රිය වුණා. මේව ගියේ මම O/L, A/L කරන කාලෙ.



කව්රුහරි කෙනෙක් ටයි මාමා හඬ කවපු කාටූන් මිලදී ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියල යන්නත් අමතක කරන්න එපා.

Monday, August 9, 2010

ජය පිරිතෙන් නැගිට මහ පිරිතෙන් නින්දට යාම

සිංහල ගුවන් විදුලි නාලිකාවල අළුත්ම ප්‍රවනතාවය තමයි උදේට, හවසට හා රාත්‍රියට පිරිත්, ජය මංගල ගාථා, පන්සිල් ආදිය ප්‍රචාරය කරවීම. ඒ නිසා දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා උදේට එළාම් එක විදිහට ජය පිරිත යන වෙලාව තියාගෙන කුණු කෙළ පිටින්ම පිරිත් අහගෙන උදෙන්ම නැගිටින්නටත්, හවසට හීනියට අඩියක් ගහන ගමන් ජය මංගල ගාථා ආදී එකී මෙකී නොකී ගාථා අහන්නටත්, රෑට නිදි මර ගාතෙන් මහ පිරිත අහල නින්දට යන්නටත්.

ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ පිරිත් අහන අය හෝ අල්ලපු ගෙදරටත් එක්ක ඇහෙන්න පිරිත් දාන අයට ඇත්තටම මේ පාලි වලින් කියන මේ වචන ටික තේරෙනවද කියන එක. අඩු ගානෙ ඒ වචන ටික තේරුනත් ඒ ගාථාවල කියන දේවල් මේ මිනිස්සු පිළිපදිනවද කියන ප්‍රශ්නය මට තියෙනව. නැත්නම් උපන් දා ඉදලම කරපු පස් පව් දුරු කර ගන්නට මේ පිරිත් අහනවද කියලත් මට හිතෙනව.

ඇත්තටම මේ පිරිත් විදිහට කියන වචනවල කිසියම් හෝ බලයක් තියෙනවනම් මේ පිරිත් අහන කිසිම කෙනෙකුට කිසිම අපල උපද්‍රවයක් සිද්ධ වෙන්න විදිහක් නෑ. මේ පිරිත් වලින් වන එකම දේ විදිහට මට තේරෙන්නෙ මිනිස්සුන්ට මානසිකව ලැබෙන සැනසීම විතරයි කියලයි මට නම් හිතෙන්නෙ. ඒ වගේමයි සමහරුන්ට මේ පිරිත් කියල දෙයක් තියෙනවයි කියල මතක් වෙන්නෙ මරණාසන්න ලෙඩක් හැදිල ඇඳට වැටිල ඉන්නකොට තමයි. ඉතින් ඒ වගේ වෙලාවට පිරිත් කීමෙන් ඇති වෙන එකම ප්‍රයෝජනේ විදිහට මට පේන්නෙ ලෙඩාට හා ඔහුගේ ඥාතීන්ට ඇති වන මානසික සැනසීම විතරයි.

මට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඇයි මේ පිරිත් කියන කොට වචන ඇදලා කියන්නෙ ඇයි කියන එක. බුදුන් වහන්සේවත් එහෙම පිරිත් කිව්වද කියල මට නම් සැකයි. අනික ඇයි අපි නොතේරෙන බාසාවකින් පිරිත් කියන්නෙ කියලත් මට ප්‍රශ්නයක් තියෙනව. හැමෝටම තේරෙන සිංහලෙන් නොකියන්නෙ ඇයි? සිංහලෙන් කිව්වොත් පිරිතෙ බලය අඩු වෙනව හරි නැති වෙලා හරි යනවද? එක් ගුවන් විදුලි නාලිකාවක නම් සිංහලෙන් පිරිත් විකාශනය කලත් ඒකත් අහන් ඉන්න තරම් රසවත් තත්ත්වයක නැහැයි කියලයි මට හිතෙන්නෙ.

අනිත් එක තමයි මේ විදිහට පිරිත් විතරක් ගුවන් විදුලි නාලිකාවල විකාශය කළාම අනිත් ආගමිකයන්ට වන අසාධාරණය. හරි නම් මුස්ලිම් ආගමිකයන් ආගම කියන පස් වතාවෙම ඒකත් විකාශය කරන්න ඕන. එතකොට මුස්ලිම් ජාතිකයොත් ඒ ගුවන් විදුලි නාලිකාව අහන්න එක් වෙනව. ඒ වගේම තමයි හින්දු හා ක්‍රිස්තියානි ආගමේත් ආගමික කටයුතු ප්‍රචාරය කරන්න ඕනෙ. බෞද්ධයන් වැඩි දෙනෙක් බුදුන් වහන්සේට වඩා හින්දු දෙවිවරු විශ්වාස කරන නිසා තව තවත් අසන්නන් ගුවන් විදුලි නාලිකා වටා එක් වේවි.

ලාංකිකයන්ට රාජකාරියට වඩා දේව කාරිය ලොකු නිසා මේ විදිහට සර්ව ආගමික වතාවත් විකාශනය කරන ගුවන් විදුලි නාලිකාව වටා අසන්නන් වැඩි දෙනෙක් එක වේවි.

Saturday, August 7, 2010

අද දින කෝච්චියේදී දුටු අවාසනාවන්ත සිදු වීමක්

මේ සිද්ධිය වුනේ අද දහවල් 12.10 කොළඹ කොටුවෙන් දකුණු කළුතර බලා යන දුම්රියේදීයි.

දුම්රිය ගල්කිස්සට පැමිණි පසු මා සිටි දුම්රිය පෙට්ටියට කාන්තාවක් හා පිරිමියෙකු අවුරුදු 6ක් පමණ දරුවකු හා මාසයක් වයස යැයි පැවසූ දරුවකු වඩා ගෙන පැමිණියා. ඔවුන් පැමිණ සිටියේ මාසයක් වයස යැයි පැවසූ දරුවාගේ ශල්‍ය කර්මයකට අවශ්‍ය යැයි පැවසූ මුදල් ලබා ගැනීමටයි. එම දරුවාගේ හිස අසාමාන්‍ය ලෙස විශාල වී තිබුණි. ඔවුන් පැවසූ ආකාරයට මුදල් ඉල්ලනු ලබන්නේ එම ළදරුවාගේ හිසේ තිබෙන ජලය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සඳහායි. ඔවුන් එම ළමයාගේ MRI ස්කෑනර් යන්ත්‍රයකින් හිසෙහි විවිධ පැති වලින් ගත් පිටපතක්ද රැගෙන විත් තිබුණි.

අවාසනාවන්ත සිද්ධිය මෙය නොවේ. මේ කාන්තාව මීට පෙරත් මෙවැනිම ළදරුවෙකු වඩා ගෙන සිඟමනේ යෙදෙනු පසුගිය සතියේදී මෙන්ම මීට පෙරත් මා දැක තිබීමයි. නමුත් ඇය මීට පෙර රැගෙන ආවේ මේ ළදරුවා නොවේ. සතියක කාලයක් තුළ ළදරුවකුගේ හිසක් මේ තරම් ඉක්මනින් විශාල විය නොහැකිය. මේ කාන්තාවද ඉතාමත් කෘෂ වූ සිරුරක් ඇත්තියකි. සුද්ධ සිංහලෙන් කියනවා නම් හරියට කුඩු ගසන කාන්තාවක් වැනිය. වෙනත් දිනවලද ළදරුවකු වඩා ගෙන කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙමින්, ළදරුවාට අව් රශ්මියෙන් සිදු වන පීඩාවද නොතකා සිඟමනේ යෙදෙයි. කිසිම දිනක ඇය වඩා ගෙන සිටින ළදරුවා හඩන්නේවත්, දගලන්නේවත් නැත. විශේෂත්වය වූයේ අද දින ඇය පැමිණ සිටියේ වෙනදා මෙන් තනිවම නොව තවත් පිරිමියෙකු හා දරුවකු සමග වීමයි.

මා මේ ගැන විස්තර ඔවුන්ගෙන් ඇසූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ "මහත්තයාට ඒ ගැන විස්තර ඕනෙ නෑනෙ" යැයි පවසා අඟුලාන දුම්රිය ස්ථානයෙන් බැස ඊළඟ පෙට්ටියට මාරු වී යාමයි.

ඔවුන් පැවසූ විස්තර අනුව ළදරුවාගේ ශල්‍ය කර්මය සිදු කරන්නේ ලබන සතියේදීය. නමුත් ස්ථිර දිනයක් පැවසුවේ නැත. ශල්‍ය කර්මය සිදු කරනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේදීය. නමුත් මට ඇති ගැටළුව නම් නොමිලේ සිදු කරන එම ශල්‍ය කර්මයට ඔවුන් මුදල් එකතු කරන්නේ කුමක් සඳහාද යන්නය. අඩු ගණනේ ඔවුන් එම දරුවාට ඇදුමක්වත් අන්දවා තිබුණේ නැත. එම ළදරුවාගේ නියම දෙමාපියන් ඔවුන් නම් එසේ එම ළදරුවාට සලකන්නේ කුමක් නිසාදැයි මට සිතා ගත නොහැක.

මේ ගැන මම මාධ්‍යවේදිනියක් වන ඉන්දු පෙරේරා මහත්මියට කී විට ඈ කීවේ මෙවැනි දේවල් අද ඉතා සුලබ බවත්, ළදරුවා මැරෙන තෙක්ම ඔවුන් ළදරුවා විකුණා මුදල් සොයනු ඇති බවත්ය. ඇය මෙය උපමා කළේ සිඟන්නාගේ තුවාලයටය. ළදරුවාට ප්‍රතිකාර ලබා දුන හොත් ඔවුන්ගේ ආදායම් මාර්ගය නැති වී යන නිසා ඔවුන් කිසි දිනෙක ළදරුවාව ශල්‍ය කර්මයට භාජනය නොකරනු ඇති බව ඇය පැවසුවාය. මෙය අද සමාජයේ ඉතාමත් සුලභ සිදු වීමක් බවත් ඇය පැවසුවාය.

තමන්ගේ දරුවන් මෙන්ම අනුන්ගේ දරුන්වත් විකුනන් කන අම්මලා ඉන්න අපේ රටේ මතු දරු පරපුරට දෙයියන්ගේම පිහිටය!