Thursday, September 30, 2010

රංගොජා එන විට පාර කාපට් වීම

පාණදුරේ තියෙන රත්තරන් කොතක් තියෙන පන්සලකට අවුරුදු 200ක් වුනයි කියල ඒකෙ තුන්මහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තියන්න රංගොජා වහන්සේ ඔක්තෝම්බර් මාසෙ දහවෙනිද පාණදුරේට එනවලු. ඉතින් ඒ නිසා මේ මහ වැහි අස්සෙ පන්සලට යන පාරත් අවහිර කරගෙන කාපට් කරනවලු.

ඊයෙ පටන් ගත්ත කාපට් කිරිල්ලත් වැස්ස නිසා අතරමග නවත්තන්න වුනාලු. අදත් පාරෙ ටික දුරක් කාපට් කරනවලු. වහින වෙලාවට කාපට් කරන ටිකත් හේදී ගෙන යනවලු.

පන්සලේ නායක හාමුදුරුවොත් එසේ මෙසේ හාමුදුරු කෙනෙක් නෙමේලු. කැළණිය විශ්ව විද්‍යාලෙ මළ භාෂාවක් උගන්වන මහාචාර්යය කෙනෙක්ලු. ඉස්සර පන්සලේ තිබ්බ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයත් දේවතා එළි විහිදෙන අඹ ගහක් නිසා ඉවත් කරපු කෙනෙක්ලු. හැබැයි ඉස්කෝලෙ අයින් කර ගත්තු ගමන් දේවතා එළි විහිදෙන අඹ ගහත් කපල දැම්මලු. දැන් එතන තිබ්බ පන්ති ටික කඩල පන්සලේ තුන් මහල් ගොඩනැගිල්ලක් හදන්න යනවලු. පන්සලට අඩු වෙලා තිබ්බෙත් තට්ටු තුනක ගොඩනැගිල්ලක් විතරයි මගෙ හිතේ. තනි තට්ටුවෙ ඉඳල නිවන් යන්නත් බැරිව ඇතිනෙ හාමුදුරුවන්ට.

හැම අවුරුද්දෙම පාණදුරා වාදෙ තිබ්බ තැන අනුස්මරණ ශාලාවක් හදන්න හාමුදුරුවො සල්ලි එකතු කරනවලු. එතන අටවපු මඩුව වටේට කැලේකුත් වැවිලලු. ඒ මඩුවෙන් ගන්න එකම ප්‍රයෝජනේ හරක් බඳින එකයි, මිනිස්සු කුඩු ගහන එකයි, බොන එකයි, බූරුව ගහන එකයිලු.

හාමුදුරුවන්ගෙ හැටි මෙහෙම නිසා මේ තට්ටු තුනේ ගොඩනැගිල්ලත් තව අවුරුදු කීයක් හදයිද දන්නෙ නෑලු. හැම අවුරුද්දෙම පාරත් කාපට් කරයිලු ඒ නිසා. හාමුදුරුවො නිවන් යන්න කලින් කීයක් හරි ඊළඟ ආත්මෙටත් එක්ක හම්බ කර ගන්නත් ඕනැනෙ. ඒ විතරක්යැ. පන්සලේ ඊළඟ නායක කම ගන්න ඉන්න තමන්ගෙ ඥාතියටත් කීයක් හරි හම්බ කර ගන්න පොටක් හොයල දෙන එක වල පයයි ගොඩ පයයි ඉන්න හාමුදුරුවන්ගෙ යුතුකමකුත් නොවැ.

රංගොජාවත් රට වටේ පයින්ම දක්ක ගෙන ගියා නම් හරි. එතකොට හැම නගරෙකම මූලික පහසුකම්වත් වැඩි දියුනු වෙයිනෙ. ඒ වගේම රංගොජාගෙ සහෝදර සමාගමටත් කීයක් හරි කොමිස් ගහ ගන්නත් පුළුවන් වෙයිනෙ. දැන් ඉතින් රංගොජාට අභියෝගයක් වෙච්ච මනුස්සයත් මහ උළු ගෙදර බත් කන නිසා රංගොජාට පාරෙ බැහැල පයින් යන එකත් ප්‍රශ්නයක් නෙමේනෙ.





Monday, September 27, 2010

චිරන් ජයතු දයාවංශ ජයකොඩි මහත්මයාණෙනි

මේ සැප්තැම්බර් මාසෙ මට වගේම තවත් ගොඩක් අයටත් විශේෂ වෙන්නෙ සාහිත්‍ය මාසය යෙදිල තියෙන හින්ද. ඉතින් හැමෝම බලන්නෙ පුළුවන් තරම් අඩු මුදලකට වැඩි වටිනාකමක් තියෙන පොත් මිලදී ගන්නනෙ. මේ පාර වැඩිම වාසියක් පාඨකයාට ලබා දීපු පොත් ප්‍රකාශකයා විදිහට මට හිතෙන්නෙ "දයාවංශ ජයකොඩි" මහත්මයායි. ඒ මහත්මයා මේ පාර සතියක් පුරාවටම පොත් දහයක් රුපියල් දහසක මුදලට මිලදී ගන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ කියන්නෙ එක පොතක් රුපියල් සියයක මුදලකට.

ඉතින් මේ පොත් ප්‍රදර්ශනය පටන් ගත්තු සැප්තැම්බර් 14 වෙනිද උදේ 10 වෙද්දිම දයාවංශ ජයකොඩි මහත්මයගෙ පොත් ප්‍රදර්ශනාගාරයට ගියා පොත් මිලදී ගන්න. මුලින් හිතාගෙන හිටියෙ වැඩි සෙනඟක් ඉන්න එකක් නැහැ කියලයි. ඒත් ගියාමයි තේරුනෙ ටිකක් කලින් ගිය එකේ වටිනාකම. ඒ තරමටම පොත් ගන්න සෙනඟ ඇවිත් හිටිය.

මේ තියෙන්නෙ එදා මම මිලදී ගත්තු පොත්.




මම දයාවංශ ජයකොඩි මහත්මයගෙ පොත් ප්‍රදර්ශනයට ගියෙ ලේඛකයො කීප දෙදෙනෙක්ගෙ පොත් හැකි පමණ මිලදී ගන්න හිතා ගෙන. ඒ ලේඛකයො දෙදෙනා තමයි කේ.ජී. කරුණාතිලක මහත්මයා හා ඔරුවල බන්දු මහත්මයා. ඉතින් එතන තිබිච්ච මේ ලේඛකයො දෙදෙනාගෙ හැම පොතක්ම මිලදී ගත්තා.

මේ ලේඛකයන් දෙදෙනාගෙන් මිලදී ගන්න පොත් තිබ්බෙ පොත් 5ක් විතරයි. ඉතින් ඒ නිසා හෙන්රි ජයසේන මහත්මයගෙත්, ටී.බී. ඉලංගරත්න මහත්මයගෙත්, චන්දන මෙන්ඩිස් මහත්මයගෙත්, සිරිලාල් කොඩිකාර මහත්මයගෙත්, ආචාර්ය ජී.ජී. පුංචිහේවා මහත්මයගෙත් පොත් මිලදී ගත්තා.

ඊට පස්සෙ ආපහු ප්‍රදර්ශනයට නොතිබ්බ පොත් තුනකුත් මිලදී ගත්තා. මේ තියෙන්නෙ ඒ පොත් තුන. මේ පොත් තුන මිලදී ගන්න කොට වෙනද දෙන 20% වට්ටම විතරයි ලැබුනෙ.



මම කැමතිම ලේඛකයෙන් වන ඔරුවල බන්දු මහත්මයගෙ දැනට මිලදී ගන්න පුළුවන් හැම පොතක්ම මිලදී ගන්නත් මේ ප්‍රදර්ශනය නිසා මට හැකි වුණා. ඒ වගේම කේ.ජී. කරුණාතිලක මහත්මයගෙත් පොත් සියල්ලම නොවුනත් පොත් ගොඩක් එකතු කරගන්න මට පුළුවන් වුණා.

ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඊළඟ වසරෙදිත් දයාවංශ ජයකොඩි මහත්මයාට මේ වගේ පොත් ප්‍රදර්ශනයක් තියන්න ලැබෙන්න හැකියාව ලැබේවා කියලයි.