Sunday, October 31, 2010

Mega Star හි මෙගා ගුටි කෙළිය

ඊයෙ පැවත්වෙච්ච ස්වර්ණවාහිණියෙ මෙගා ස්ටාර් තරගයෙ අවසන් ප්‍රතිඵලය අද අළුයම 12.30 ට විතර කමල් අද්දරාරච්චි විසින් ප්‍රකාශ කරනු ලැබුව. මෙගාර් ස්ටාර් වුනේ අජිත් වීරසිංහ. දෙවනිය වුනේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.

ඉතින් තරග ප්‍රතිඵල කියල ඉවර වුනාම තැගි දෙන්න සෝමා එදිරිසිංහයි, ස්වර්ණවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක බුද්ධිකයි වේදිකාවට ආව. දයාසිරිටත් තරගයේ දෙවෙනියට හිමි තෑගි ලබා දුන්නා.

ඒත් තරගයෙන් දිනුව අජිත්ට තෑගි දෙන්න කලින් වේදිකාව උඩ රණ්ඩුවක් ඇති වුණා. ඒත් එක්කම බුද්ධිකයි, සෝමයි වේදිකාවෙන් බැහැල යනව පෙන්නුව. ඊට පස්සෙ එහෙම්ම මෙගා ස්ටාර් රූප රාමුත් නැවැත්තුව. ඊටත් පස්සෙ පැය කාලකින් විතර මෙගා ස්ටාර් අවසන් වූ බව ස්වර්ණවාහිනී තිරයේ පෙන්වනු ලැබුව.

ඕකෙන් මේකෙන් වුණේ අජිත් වීරසිංහ කිරුළු නොපලන් මෙගා ස්ටාර් වීමයි. හරියට අනුර බණ්ඩාරණායක වගේ. අනුර ඔටුන්න හිමි කුමාරයෙක් වුනත් කවදාවත් රජ වෙන්න එතුමටත් බැරි වුනානෙ.

සිද්ධියට අදාළ රූප රාමු පහත දැක්වේ. රූප රාමු අනුව පෙනී යන්නෙ නම් මේ සිද්ධියට කැළණියෙ වැඩ වාසය කරන දුටුගැමුණු කුමාරයා වග කිව යුතු බවයි.





ප.ලි. - මේ සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳ සැබෑ තොරතුරු කිසිවක් තාමත් මම නොදනිමි. මේ ලිව්වේ ස්වර්ණවාහිනියෙන් මම දුටු දේ පමණි. හෙට දින වන විට සැබෑ තොරතුරු දැන ගත හැකි වනු ඇත.

Monday, October 25, 2010

විශේෂඥයන්ගේ අනාවැකි || Expert opinions

"මං හිතන්නෙ නෑ කිසි කෙනෙකුට ඕන වෙයි කියලා ගෙදර පරිඝනකයක් තියා ගන්න."
  •  විඩිටල් ඉක්විප්මන්ට් සමාගමේ සභාපති කේන් ඔල්සන් 1977 දී.

"පරමාණුවෙහි ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසා කිසි දිනෙක සමත් නොවනු ඇත."
  • භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් රොබට් මිලිකෑන් 1923 දී.

"අනාගතයේදී පරිඝනකය ටොන් එකහමාරකට වඩා බරින් වැඩි නොවනු ඇත."
  •  විද්‍යාවේ අනාගත වර්ධනයන් පිළිබඳ අනාවැකි පළ කරමින් Popular Mechanism සඟරාව 1944 දී.

"ගුවන් යානා සෙල්ලම් බඩු හැටියට නම් හරිම රසවත්. නමුත් යුද්ධයට එයින් ඇති ප්‍රයෝජනයක් නැහැ."
  • ප්‍රංශ යුධ උපාය මාර්ග පිළිබඳ මහාචාර්ය ෆර්ඩිනන්ඩ් ෆෝ. 

(සමබිම 2010 ඔක්තෝබර් කලාපයෙන් උපුටා ගන්නා ලදී.)


Saturday, October 23, 2010

එකම පක්ෂයක නොවෙනස් වූ ජනාධිපතිවරණ පොරොන්දුව

"විධායක ජනාධිපතිවරණ ක්‍රමය අහෝසි කළ යුතුයි."
  • 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව.
  • 1988 දී සිරිමාවෝ බණ්ඩාරණායක.
  • 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග.
  • 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග.
  • 2005 දී මහින්ද රාජපක්ෂ.
  • 2010 දී මහින්ද රාජපක්ෂ.

Monday, October 18, 2010

සිංහල කතා කරන දෙමළ චරිත

චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක දෙමළ පුද්ගලයකුගේ චරිතයක් තියෙන කොට ඒ චරිතය රඟපාන කෙනා බොහෝ වෙලාවට කතා කරන්නෙ දෙමළෙන් බව අපි දැකල තියෙනව. අද එක්තරා ගුවන් විදුලි නාලිකාවක ප්‍රචාරය වෙච්ච දෙමළ චරිත රැගත් කතාවකත් ඔවුන් භාවිතා කළේ සිංහල භාෂාව. ඒ වගේම දැන් තිරගත වන "ඉර හඳ යට" චිත්‍රපටියෙත් ත්‍රස්තාදී නායකයකු වන පෝල් මාස්ටරුත් එක් අවස්ථාවකදී සිංහලෙන් කතා කරනව. කිසිම දිනෙක සිංහල කතා කරල ඇතැයි සිතිය නොහැකි එවැනි චරිතයක් සිංහලෙන් කතා කරන විට කෘතිම බවක් ඇතිවයි මට පේන්නෙ. මේ විදිහට සිංහල භාවිතා කරන්න හේතුව බොහෝ විට චිත්‍රපටිය නරබන්නෙ සිංහලයන් පමණක් වීමත් වෙන්න පුළුවන්. නමුත් එවන් අවස්ථාවලදී චරිතයට දෙමළෙන් කතා කිරීමට ඉඩ දී සිංහල උපසිරසි භාවිතයෙන් එහි තේරුම ප්‍රේක්ෂකයාට දැන ගැනීමට සැලැස්වීම වඩා ප්‍රායෝගික බවයි මගේ හැගීම.

ඒත් ගුවන් විදුලි නාට්‍යයකදි සිංහල උපසිරසි භාවිතා කරන්න නොහැකි වීම ගැටළුවක් වෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදිහට මට පේන්නෙ නාට්‍යයට හඬ කවන ශිල්පීන් ලෙස දෙමළ ජාතිකයන්ව යොදා ගැනීම. එතකොට ඔවුන්ගේ සිංහල උච්චාරණය අනුව නාට්‍යයයේ කෘතිම ගතිය යම් තරමට හෝ නැති කර ගන්න පුළුවන් බවයි මගේ මතය.

ඒ වගේම සිංහල චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක දෙමළ චරිතයක් ඇති විට ඒ සඳහා සිංහල නළු නිළියන් වෙනුවට දෙමළ නළු නිළියන් යොදා ගැනීමෙන් නාට්‍යයයේ ඇති කෘතිම ගතිය අඩු කර ගන්න පුළුවන්. ලංකාවෙ ඕන තරම් දක්ෂ දෙමළ නළු නිළියන් ඉන්න නිසා ඔවුන්ව සිංහල චිත්‍රපටි සඳහා එක් කර ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ රටේ සිංහල චිත්‍රපටි කර්මානතයටත් වඩා අගාධයේ තියෙන (ඇත්තම කියනවනම් ඇත්තටම නැති) දෙමළ චිත්‍රපටි කර්මාන්තයට නව පණක් දෙන්නත් මේ දෙමළ නළු නිළියන් යොදා ගැනීම හේතුවක් වෙයි.

ඒත් ප්‍රධාන දෙමළ චරිතය කරන්න හැමදාමත් ඉන්දියාවෙන් නළු නිළියන් ආනයනය කළොත් නම් කවදහරි අපේ නළු නිළියන්ගෙත් බඩට වදීවි.

Monday, October 11, 2010

පුංචි කාලෙ අහපු, බලපු සින්දු - 1

අද මම ලියන්නෙ මම පුංචි කාලෙ ආසාවෙන් අහපු, බලපු සින්දු කීපයක් පිළිබඳව. මේ බොහොමයක් සින්දු මට වයස අවුරුදු 5ක් වෙන්න කලින් අහපු ඒවයි. ඒ නිසා ඒ ගොඩක් සින්දු වලට එදා වගේම තාමත් මම ආසයි.

"මොනවද මුත්තේ" කියන සින්දුව තමයි මට මතක පරණම සින්දුව. මේක ගායනා කරන්නෙ රෝහණ වීරසිංහ මහත්මයත් එක්ක තවත් ළමා ගායකයෙක්. ළමා ගායකයාගෙ නම නම් මම දන්නෙ නැහැ. මේ සින්දුවෙන් කියවෙන්න කුඩා ළමයෙක්ගෙ සීයා කෙනෙක් අනාගතයේ ප්‍රයෝජන ගැනීමට අඹ පැලයක් සිටු වන එක ගැන ඒ කුඩා දරුවාට පැහැදිලි කර දෙන ආකාරය. මේ සින්දුව ඉස්සර නම් රූපවාහිනියෙ ප්‍රචාරය වුණාට දැන් නම් ප්‍රචාරය වෙන්නෙම නැති තරම්. 



"අ යන්න කියන්න" මම කැමති ඊළඟ ළමා ගීතය. ගීතය ගායනා කරන්නෙ නන්දා මාලිනී මහත්මිය. ගීතය රචනා කරල තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්. සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ මර්වින් පෙරේරා මහතා විසින්. මේ සින්දුව මට මතක විදිහට ඉස්සර උදේ හතට විතර හැමදාම රූපවාහිනියෙ ප්‍රචාරය කළා. ඒත් දැන් මේ සින්දුවත් අහන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් තමයි.



"කියන්න සුළඟේ" කියන ගීතය මම කැමති තවත් ලස්සන ළමා ගීතයක්. ගීතය රචනා කිරීම හා සංගීතය නිර්මාණය කිරීම කරල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා විසින්. ගීතය ගායනා කරන්නෙ ඇනස්ලි මාලේවන මහත්මයා හා ලිලන්ති කරුණානායක මහත්මිය විසින්. (මම අහල තියෙන විදිහට නම් ලිලන්ති කරුණානයක මහත්මිය ඔය ගීතය ගායනා කරන දවස්වල නම් කුඩා දරුවෙක්.)



අන්තිමට අද මම දාල තියෙන සින්දුව තමයි එදත් අදත් එක වගේම ජනප්‍රිය "නිල් අහස් තලේ" කියන සින්දුව. මේක තිස්ස අබේසේකර මහත්මයා විසින් නිර්මාණය කරපු "මහ ගෙදර" චිත්‍රපටියේ එන ගීතයක්. මේක ළමා ගීතයක් කියල සෘජුවම කියන්න බැරි වුණත් මේ ගීතය දැන් වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නෙ ළමා ගීතයක් විදිහටයි. ගීතය ගායනා කරන්නෙ මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ, උපාලි රංජිත් හා චිත්‍රා සෝමපාල විසින්. සංගීතය නිර්මාණය කරල තියෙන්න සරත් දසනායක මහත්මයා විසින්. ගීතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ විජය කුමාරතුංග, තිස්ස අබේසේකර, ශ්‍රියානි අමරසේන හා සෝමලතා සුබසිංහ යන මහත්ම මහත්මීන්. සිංහල සිනමාවෙ දැවැන්තයො දෙන්නෙක් ඉන්න මුල් ගීතයට තමා මම වැඩියෙන්ම කැමති. නමුත් මට මුලින්ම මේ ගීතය අසන්නට ලැබුණෙ නම් කීර්ති පැස්කුවල් මහත්මයාගෙ හඬින්. මේ සින්දුව මම සලකන්නෙ සිංහල සිනමාවෙ තිබෙන එක් අමරණීය ගීතයක් විදිහට.



ඉතින් තවත් ළමා ගීත කීපයක් එක්ක ඊලඟ බ්ලොග් සටහනින් හමුවෙන්නම්.