Friday, February 18, 2011

මගේ ක්‍රිකට් මතකයෙන් බිඳක් - 1

මම මුලින්ම ක්‍රිකට් බලන්න ඇබ්බැහි වුනේ 1996 ලෝක කුසලාන තරගාවලියත් එක්කයි. ඊට පස්සෙ 2003 විතර වෙනකම්ම වගේ මේ ඇබ්බැහි වීම මට තිබුණා. දැන් නම් ඒක අඩු වුනත් ආපහු ක්‍රිකට් උණ වැළඳිලයි තියෙන්නෙ.

මුලින්ම ක්‍රිකට් මතකයෙන් බිඳක් යටතේ මම කියන්න යන්නෙ 1996
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මතකයන් ගැන.

මට මතක විදිහට 96 ලෝක කුසලානෙ ලංකාව ගහපු පළමුවැනි මැච් එක ගැහුවෙ සිම්බාබ්වේ ටීම් එකත් එක්ක. සිම්බාබ්වේ තමයි මුලින්ම පන්දුවට පහර දුන්නෙ. සිම්බාබ්වේ ඉනිම නම් මට බලා ගන්න බැරි වුනා. දෙවෙනි ඉනිමෙදි කළුවිතාරන එක හතරෙ පාරක් ගැහුවට පස්සෙ කකුලේ ආබාධයකට කල් වුණා වගේ මතකයි. ඊට පස්සෙ ජයසූරිය ඇවිත් කකුල තද කරල ප්‍රථමාධාරයක් ලබා දුන්නත් ඊට ටික වෙලාවකට පස්සෙ කළුව දැවී ගියා. තරගය පැවැත්වුනේ මට මතක විදිහට SSC පිටියේදී.

ඊලඟ මතක තරගය තමයි කෙන්යාවත් එක්ක ගහපු මැච් එක. ඒකෙදි මුලින්ම පන්දුවට පහර දුන්නෙ ලංකාවයි. ඒ කාලෙ එක්දින ජාත්‍යන්තර තරගයකදි වාර්තා කරපු වැඩිම ලකුණු ගණන වෙච්ච ලකුණු 396ක් වාර්තා කරන්න ලංකාවට පුළුවන් වුණා. දෙවෙනි ඉණිමට ක්‍රීඩා කරපු කෙන්යාවත් මැච් එක අත අරින්නෙ නැතුව ලකුණු 250ක් විතර ලබා ගත්තා වගේ මතකයි. මේ තරගය පැවැත්වුනේ අස්ගිරිය ක්‍රීඩාංගනයේදී වගෙයි මට මතක.


ඊට පස්සෙ මතක තරගය තමයි එංගලන්තයත් එක්ක ක්‍රීඩා කරපු තරගය. මේක මට සම්පූර්ණයෙන්ම නරඹන්න බැරි වුනත් මතක හිටිය දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ජයසූරිය වාර්තා කරපු ශතකය. ඒ වගේමයි එංගලන්තෙ කඩුළු රකින්නා වෙච්ච ඇලෙක්ස් ස්ටුවර්ට්. (මට මතක විදිහට ඇලෙක්ස් ස්ටුවර්ට් තමයි කඩුළු රැක්කෙ. පස්සෙ කාලෙකදි ඔහු එංගලන්ත කණ්ඩායමේ නායකත්වයටත් පත් වුණා.) ඔහු මූණ පුරා රැවුල වවා ගෙන තමයි ක්‍රීඩා කළේ. සාමාන්‍යයෙන් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් රැවුල වවා සිටීම කලාතුරකින් දක්නට ලැබෙන දෙයක් නිසා ඒකත් සුවිශේෂී කාරණයක්.

අනෙක් මතක තියෙන තරගය තමයි ඉන්දියාවත් එක්ක අවසන් පූර්ව වටයේ ගහපු මැච් එක. තරගය පැවැත් වුනේ කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ. මුලින් පන්දුවට පහර දුන්නෙ ලංකාවයි. පළමු ඉනිම යන්තමින් ගොඩ දාන්න ලංකාවෙ හැම ක්‍රීඩකයම පන්දුවට පහර දුන්න වගේ මතකයි. මහානාම කකුලේ ආබාධයකට ලක් වෙලා ඔහු වෙනුවෙන් කඩුළු අතර දුවන්න වෙනත් ක්‍රීඩකයෙක් යොදා ගත්ත වගෙත් මතකයි. (ඒ කාලෙ මහානාම කකුලේ ආබාධවලට ලක් වීම සාමාන්‍ය දෙයක්. ඒත් පුදුමයකට වගේ ජයසූරියත් එක්ක වාර්තාගත් සම්බන්ධතාවයක් පැවැත්වූ ටෙස්ට් තරගයේදී නම් ඔහුට කකුලේ ආබාධයක් ඇති වුනේ නැහැ.) ඒ වගේම හෂාන්, කුම්බ්ලේගේ පන්දුවකට ගහපු හතරේ පහරත් අමතක වෙන්නේ නැහැ. මේ තරගය ප්‍රේක්ෂකයන්ගේ නොසන්සුන්තාවය නිසා තරග තීරක වෙච්ච ක්ලයිඩ් ලොයිඩ් විසින් ලංකාවට ජයග්‍රහණය ලබා දෙනු ලැබුවා. එහෙම නැත් ජය ගන්නෙ ලංකාවම තමයි.

අවසන් තරගය නම් දැන් රූපවාහිනියෙ පෙන්වනව. මේකෙදි මුලින්ම පන්දුවට පහර දුන්නෙ ඕස්ට්‍රේලියාව. ලංකාව වෙනුවෙන් අරවින්ද ශතකයකුත්, අසංග ගුරුසිංහ අර්ධ ශතකයකුත් වාර්තා කළා. ගුරා තමයි ලංකාව වෙනුවෙන් එකම හයේ පාර ගැහුවෙත්. (ඒත් අවාසනාවකට 1997දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගෙන ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගියා.) තරගය පැවැත්වුනේ පාකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ. තරගයේ වීරයා වුනේ අරවින්ද ද සිල්වායි. තරගාවලියේ වීරයා වුනේ සනත් ජයසූරියයි.





අද වෙනකොට 96 ලෝක කුසලාන තරගාලියේ ක්‍රීඩා කරපු ජයසූරියයි, අර්ජුනයි පක්ෂ දෙකකින් පාර්ලිමේන්ති මන්ත්‍රීවරුන් වී ඉන්නව. හෂාන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්. අරවින්ද ක්‍රිකට් තේරීම් කමිටු සභාපති. මහානාම තරග තීරකවරයෙක්. ගුරා ලංකාවෙත් නෑ. ධර්මසේන තරග විනිසුරුවරයෙක්. මුරලි විතරක් මේ පාර ලෝක කුසලානයට ක්‍රීඩා කරනව.

මේ කාලෙ මම වඩියෙන්ම කැමති ක්‍රීඩකයන්වත් කියල යන්න ඕන. මේ කාලෙ මම කැමති ක්‍රීඩකයන් වුනේ ගුරා, වසීම් අක්‍රම්, අරවින්ද වගේ ක්‍රීඩකයන්. ගුරාගෙ මූණ පුරා තිබිච්ච රැවුලත් විශේෂ දෙයක්. ඒ වගේමයි පන්දුවට පහර දෙන්න කලින් ඔළුව හෙල්ලීමත් විශේෂ දෙයක්. ගුරා කඩුළු රකින්නෙක් වුනත් කවදාවත් කඩුලු රකිනව බලන්න නම් මට ලැබිල නැහැ. ඒ වගේමයි ගුරා වේග පන්දු යවන්නෙක් විදිහට ක්‍රීඩා කලා 97 පැවතිච්ච තරගාවලියකදි. ඒ වගේමයි වසීම් අක්‍රම්ගෙ පන්දු යැවීමටත්, අරවින්දගෙ පන්දුවට පහර දීමටත් මම ඒ කාලෙ විශාල කැමැත්තක් දැක්වූවා.

සැ. යු. -මේ ලිපිය ලියුවෙ මගේ මතකය අනුවයි. ඒ නිසා මෙහි වැරදි කරුණු අඩංගු විය හැක. වැරදි කරුණක් තිබ්බොත් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.

3 comments:

  1. Match eke haye 2k gahuwa, Gurusingha saha Arguna(Sharne Warne ge pultos ekakata)

    ReplyDelete
  2. The wicketkeeper of england was Jack Russell.
    http://www.espncricinfo.com/england/content/player/19500.html
    Alex Stewart played that game as a batsman.
    This is the scorecard.
    http://www.espncricinfo.com/ci/engine/match/65186.html

    ReplyDelete
  3. නිවැරදි කිරීම් දෙකටම ස්තූතියි.

    ReplyDelete