Wednesday, March 23, 2011

කතා දෙකක්

මේ කියන්න යන්නෙ ඊයෙ දවසෙ මට දකින්න ලැබිච්ච සිද්ධි දෙකක්. කතා දෙකක් කිව්වට මේ සිද්ධි දෙකේ රසවත් දෙයක් ඇත්තෙම නැති තරම්.


පළවෙනි සිද්ධිය වුනේ පානදුරෙන් පටන් අරන් මරදාන බලා යන "මුතු කුමාරි" දුම්රියේදී. (දැන් අහන්න එපා හලාවතින් පටන් ගන්න "මුතු කුමාරි" කෝච්චිය පානදුරෙන් පටන් ගන්නෙ කොහොමද කියල. පානදුරේ පැත්තෙන් කෝච්චියෙ යන අය "මුතු කුමාරි" ගැන දන්නව ඇති කියල හිතනව.)


උදේ 9.35ට පානදුරෙන් "මුතු කුමාරි" පිටත් වෙන්නෙ "ගාලු කුමාරි" පානදුරෙන් ගියාට පස්සෙ. ඉතින් මට යන්න ඕන දුම්රිය ස්ථානයේ "ගාලු කුමාරි" නවත්තන්නෙ නැති නිසා මම නැග්ගෙ "මුතු කුමාරි" කෝච්චියට. ඔය වෙලාවට වැඩිය සෙනග නැති නිසා මම ගිහින් වැඩිය සෙනග නැති, ෆෑන් වැඩ කරන තැනක වාඩි වුණා.


ටික වෙලාවකින් මම ඉන්න තැනට පිටි පස්සෙ ආසනයට ආවා ළමයෙක් වඩා ගත්ත පිරිමි කෙනෙක්. මිනිහ වාඩි වෙලා කෝච්චිය පිටත් වෙන කල්ම කළේ සිගරට් බීපු එක. තමන් ගාව පොඩි ළමයෙක් ඉන්න බවක්වත්, කෝච්චියේ සිගරට් බීම තහනම් බවවත් ඒ මිනිහට තේරෙන්නෙ නෑ වගේ සිගරට් බොනව. කව්රුවත් මිනිහට විරුද්ධව කතා කරන්නෙවත් නෑ. ඒ මිනිහගෙ සිගරට් බීම නවත්තන්න කියල කියපු එකම මිනිහ වෙච්ච මට වුණේ මිනිහගෙන් හොඳට බැණුම් අහල කෝච්චියෙ වෙන ආසනයක් වෙත යන්න වෙච්ච එක විතරයි. ඔන්න ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීමට විරුද්ධව කතා කරන්න යන මිනිස්සුන්ට වෙන දේ.


දෙවෙනි සිද්ධිය සිද්ධ වුනේ පිටකොටුවෙන් පටන් අරන් මහරගම බලා යන 138 බස් එකකදි, දවල් එකට විතර. මම වාඩි වෙච්ච සීට් එකට පිටි පස්සෙන් වාඩි වෙච්ච කෙනා තමන්ගෙ ජංගම දුරකථනයෙන් ටිකක් හයියෙන් මොහිඩීන් බෙග් මහත්මයාගෙ සින්දු දාගෙන ආවා. ටිකක් කරච්චලයක් වුනත් කව්රුවත් ඒකට විරුද්ධව කතා කළේ නෑ.


ටික වෙලාවක් යද්දි සින්දු දාගෙන යන මිනිහගෙ සීට එකේ වාඩි වෙලා හිටපු අනිත් මනුස්සයා බස් එක ඇතුළෙ කෙළ ගහන්න ගත්තා. ඒ මිනිස්සු දෙන්නා අතරෙ පොඩි බහින් බස් වීමකුත් ගිහින් අන්තිමට පැමිණිල්ල කොන්දස්තරට කිව්වා. කෙළ ගහපු මිනිහ කෙළ ගහන්න හේතුව විදිහට කිව්වෙ මොකක්ද කියල හිතා ගන්න පුළුවන්ද? මිනිහගෙ හේතුව වුනේ "තම්බියෙක්ගෙ සින්දු මිනිහට ඇසීමට ලැබීමයි."


ප්‍රශ්නෙ වැඩිය දුර දිග යවන්නෙ නැතුව මිනිහ බස් එකෙන් මහජන පුස්ථකාලය ළඟදි බැහැල ගියා. නැත්නම් මිනිහට යන්න ලැබෙන්නෙ බස් එකේ හිටපු මිනිස්සුගෙන් ගුටි කාලයි. මට එක පාරටම මතක් වුණේ සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න හැකර් කෙනෙක් හරි, "රාළලා" ගෙන් කෙනෙක්වත්ද මේ කෙළ ගැහුවෙ කියලයි.

No comments:

Post a Comment