Friday, January 7, 2011

ඔබත් සුරතල් මසුන් ඇති කරනවාද? එසේ නම් සුදු තිත් රෝගය (White spot disease) ගැන දැනුවත් වන්න.

මගේ එක විනෝදාංශයක් තමයි විවිධ වර්ගයේ සුරතල් මසුන් ඇති කිරීම. විවිධ වර්ගයේ කිව්වට වැඩිපුර ඇති කරල තියෙන්නෙ කාර්ෆ් හා ගෝල්ඩ් ෆිශ් මසුන් වර්ග තමයි. ඒ ඇරෙන්න විවිධ ගුරාමි වර්ගත්, ගප්පි වර්ගත් ඇති කරල තියෙනව. එකම එක වතාවක් ඔස්කා මසුන් ජෝඩුවකුත් ඇති කළා. මාළු ලොකු වුනාට පස්සෙ ආපහු ගත්තු තැනටම විකුණල දැම්මා.

මේ කොයි මාළු ඇති කළත්, මාළුන්ට බහුලව ඇති වන රෝගයක් තමයි සුදු තිත් රෝගය කියන්නෙ. සුරතල් මසුන් ඇති කරන මත්ස්‍යාගාර එක වරක් හරි මේ රෝගයෙන් පීඩා විඳල තියෙනව. මීට සතියකට විතර කලින් මගේ ගාව ඉන්න කාර්ෆ් මත්ස්‍යයන් 7 දෙනෙකුටත් මේ රෝගය වැළඳුණා. එයින් එක් කාර්ෆ් මත්ස්‍යයකුත් මිය ගියා.

මේ රෝගය හැඳීමේදී මුලින්ම පෙන්වන රෝග ලක්ෂණය තමයි ටැංකියේ සිටින මසුන් ටැංකි බිත්තිය දිගේ තම සිරුර අතුල්ලමින් පිහිනා යාම. ඊට පස්සෙ දවස් දෙක, තුනකට පස්සෙ මත්ස්‍යයන්ගෙ ඇගේ කුඩා තිත් ඇති වනවා.

ඉතින් රෝගයට ප්‍රතිකාර හැටියට කළේ ටැංකියට ලුණු අහුරු දෙකක් එක් කර, ඉන්පසු එම ජලයට Anti Parasite එක් කිරීමයි. Anti Parasite එක් කළ යුත්තේ එම බෝතලයේ තිබෙන මූඩියෙන් දෙගුණයක ප්‍රමාණයක් පමණයි. මෙම ප්‍රමාණය අඩි 2*1*1 ටැංකියක් සඳහා සුදුසුයි. Anti Parasite එක් කළ විට ටැංකියේ ජලය නිල් පැහැ ගැන්වෙනවා. එයට හේතුව Anti Parasite හි මෙතලින් බ්ලූ අඩංගු වීමයි. මෙම Anti Parasite එක් කිරීම පැය 72කට පසු (එනම් දින 3කට පසු) නැවත එක් කළ යුතුයි. නමුත් මෙහිදී නැවතත් ලුණු එක් කිරීමට අවශ්‍ය නැත. ලුණු කැට මිස ලුණු කුඩු දැමීම සුදුසු නැත.

සුදු තිත් රෝගය ඇති වීමට බොහෝ දුරට හේතු වන්නේ මත්ස්‍යය ටැංකියේ ඇති ජලයේ අපිරිසිදුතාවයයි. ෆිල්ටරයක් යෙදීම මගින් ජලය පිරිසිදු කර ගත හැක. එමෙන්ම ටැංකියේ ජලය ඉවත් කර අලුත් ජලය එක් කරන විට ජලයට ලුණු කැට අහුරු 2ක් පමණ එක් කිරීම මගින්ද සුදු තිත් රෝගයෙන් ඔබේ මත්ස්‍යයන් ආරක්ෂා කර ගත හැක.

(පින්තූර ලබා ගත්තේ අන්තර්ජාලයෙනි.)

Saturday, January 1, 2011

ටියුෂන් හා ටියුෂන් ගුරුවරු හා රාජකීය විද්‍යාලයේ ගුරුවරු

2011 ජනවාරි පළවැනිදාම 2013 අවුරුද්දෙ උසස් පෙළ කරන අයට ටියුෂන් පන්ති පටන් අරන් තියෙනව. මේ ලියන්නෙ මගේ ටියුෂන් අත්දැකීම් කීපයක්.

මුලින්ම මම උසස් පෙළ ටියුෂන් පන්තියකට කියල ගියෙ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ රසායන විද්‍යාව පන්තියට. පන්ති ගියෙ පාණදුරේ අබාන්ස් එක ගාව තිබ්බ New Academy එකට. මේක group class එකක්. ඒ කාලෙ නම් රුපියල් පන්සීයක් ගත්තා. දැන් නම් කීයක් ගන්නවද දන්නෙ නෑ.  A/L කරපු 2005 අවුරුද්දට කිට්ටු වෙද්දි කළුතර පන්තියට ඒ කාලෙ group class එකේ අය මාරු වෙන්න ඕන. ඒකෙ ගාන නම් මට මතක විදිහට රුපියල් 200ක් 250ක් විතර. දැන් නම් සර් group class එකක් කරන්නෙ කොහුවල සක්යා එකේ විතරයි.

මුලින්ම Chemistry ගැන කිව්ව නිසා Chemistry වලට ටික කාලයක් ටියුෂන් ගිය අනිත් ගුරුවරය ගැනත් කියන්න ඕන. ඒ තමයි ශ්‍රීනාත් වික්‍රමසිංහ සර්. ගියෙ සිප්නා එකට. හැබැයි මාස තුන, හතරකට වඩා ගියෙ නම් නෑ.

ඊළඟට Physics වලට ගිය අය ගැන බලමු. මුලින්ම ගියෙ සුනිල් මෙන්ඩිස් සර් ගාවට. ගියෙ පාණදුරේ එඩික්ස් එකට. ඊට පස්සෙ නුගේගොඩ රොටරියෙ ටිල්නි ද සිල්වා සර්ගෙ ටියුෂන් වලට ගියා. 2004 අවුරුද්ද වෙද්දි ටිල්නි සර්ගෙ කළුතර ටියුෂන් පන්තියට ගියා. හේතුව සෙනසුරාදා පන්තියකට යාම මට පහසු වීම.

Physics වලට ටික කාලයක් ටියුෂන් ගන්න ගිය ගුරුවරු තමයි අමිත් පුස්සැල්ල සර් හා ජගත් පටබැඳිගේ සර්. ජගත් සර්ගෙ පන්තියෙ නින්ද යන නිසාත් පුස්සැල්ල සර්ගෙ පන්තියෙ නින්ද යන්නෙ නැති නිසාත් මේ දෙකින්ම මම අයින් වුණා. මේ සර්ල දෙන්නගෙම රොටරියෙ තිබබ class වලටයි ගියෙ.

දැන් බලමු Biology වලට ගිය ගුරුවරු ගැන. මුල ඉඳලම ගියෙ ආචාර්ය හිරාන් අමරසේකර සර්ගෙ රොටරියෙ තිබිච්ච පන්තියට. නියම විදිහෙ ටියුෂන් ගුරුවරයෙක් කියන්න පුළුවන් පුද්ගලයෙක් තමයි හිරාන් සර්. කවදාවත් නින්ද ගිහිල්ලත් නෑ. එපා වෙලත් නෑ. ළමයින්ව පාඩමට හිත යොමු කරල තියාගන්න පුදුම හැකියාවක් තියෙන්නෙ.

බොහොම පොඩි කාලයක් චිත්‍රාණි ජයවීර මිස්ගෙ සිග්මා එකේ තිබ්බ Biology revision class එකට ගියා. නමුත් මිස්ගෙ අභාවය නිසා ඒ පන්තිය නැවතුනා.

ටියුෂන් ගුරුවරු ගැන කිව්වත් ඉස්කෝලෙ උගන්නපු ගුරුවරුන්වත් අමතක නොකර බැහැ. මම ගියෙ කොළඹ රාජකීය විද්‍යාලයට. 2005 හා 2006 අවුරුදු වල ජීව විද්‍යා අංශයෙන් A/L කළේ.

ඉස්කෝලෙ Biology කළේ පන්ති භාර ගුරුවරිය වෙච්ච කාන්ති දිසානයක මිස්. දැන් නම් ඉස්කෝලෙ උගන්නනවද කියන්න දන්නෙ නෑ. ඒ කාලෙ Bio කරන්න හිටියෙත් මිස්ල විතරයි. පිරිමි ගුරුවරු එක් කෙනෙක්වත් හිටියෙ නෑ.

Bio කියන කොට අමතක කරන්න බැරි නමක් තමයි Biology lab එකේ වැඩ කරපු රංබණ්ඩා අන්කල්. මොන පිස්සු වැඩක් Biology lab එක ඇතුළෙ කළත් කවදාකවත් තරහ ගත්තෙ නෑ.

Physics කළේ රණතුංග සර්. වැඩිය හිනා වෙන්නෙ නැති, හයියෙන් කතා කරන්නෙ නැති සර් කෙනෙක්. පන්තියට ආපු ගමන් ඉඳල උගන්නනව. උගන්නන ඒවයින් වැඩි ප්‍රමාණයක් තේරෙන්න ඇත්තෙ සර්ටම තමයි. එහෙම කිව්වෙ සර් උගන්නන විදිහ වැඩිපුර ගැළපෙන්නෙ Bio කරපු අපිට වඩා Maths කරපු අයට වීමයි.

Physics lab එකේ හිටපු නෝවා වත් රණතුංග සර්ව වගේම අමතක කරන්න බැරි කෙනෙක්. නෝවා වැඩිපුරම ඒ දවස්වල කළේ ජේසුස් ගැන ලියවිච්ච පොඩි පොතක් අතේ තියන් ඒක කියව කියව හිටපු එක.

Chemistry කළේ ඩයස් සිරිවර්ධන සර්. හොඳ සද්ධන්ත පුරුෂයෙක්. එකම එක දවසයි මට මතක විදිහට පුටුවෙ වාඩි වෙලා ඉගැන්නුවෙ. සමහර විට ඒ සර්ගෙ ඇගේ ප්‍රමාණයට පුටුවෙ ප්‍රමාණය හා පුටුවෙ සවි ශක්තිය නොගැලපීම වෙන්න ඇති. ඉගැන්නුවට වඩා කළේ වෙන වෙන ඒවා කියව කියව හිටපු එක.

Chemistry lab එකේ හිටපු එදිරිමාන්න අන්කල්වත් අමතක කරන්න බැහැ. අන්කල්ගෙ පුතා ඉගෙන ගත්තෙත් අපේ පන්තියෙයි.

A/L කරපු කාලෙ රාජකීය විද්‍යාලයේ හිටපු ගුරුවරුන්ගෙන් අමතක නොවෙන ගුරුවරු තමයි පටබැඳිගේ සර්, ශ්‍රීනාත් සර්, දංගල්ල සර්, ඉලේපෙරුම සර්, පොතුපිටිය මිස්, බස්නායක සර්, කළුපහන මිස්, කත්‍රිආරච්චි මිස් වගේ ගුරුවර, ගුරුවරියො. ඒ වගේම සුනාමියෙන් මිය ගිය රාජකීය විද්‍යාලයේ චිත්‍රාණි ජයවීර මිස්වත් ආදරයෙන් මතක් කරන්න ඕනෙ.