Friday, August 31, 2012

'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර'

'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' මේ තමයි මම අන්තිමට මේ මාසෙ කියවපු පොත. පොත සංස්කරණය කරල තියෙන්නෙ සුනිල් මිහිඳුකුල.

මේ පොතේ තියෙනව ජයවිලාල් විලේගොඩ (ඔහුගේ සැබෑ නම ජයරත්න විලේගොඩය.) විසින් කරනු ලැබූ චිත්‍රපටි විවේචන 50ක්. මේවායින් බොහොමයක් චිත්‍රපටි ජයවිලාල් විසින් හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු චිත්‍රපටි කොපි කිරීම් ලෙසයි. ටිකක් හරි හොඳ විවේචනයක් ලැබිල තියෙන්නෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සංදේශය', 'දෙලොවක් අතර', 'ගොළු හදවත', 'රන්සළු' කියන චිත්‍රපටිත්, නිහාල් ඒ. ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සිහින හතක්' චිත්‍රපටියත්, ජී. ඩී. එල්. පෙරේරාගේ 'සාමා' චිත්‍රපටියත්, ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'පරසතු මල්' චිත්‍රපටියත් පමණයි.

ජයවිලාල් මහතා උපත ලබා ඇත්තේ 1936 ජූලි 6 වැනි දින රත්නපුරේදීය. රත්නපුර සීවලී විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත් ඔහු, 1953දී ලේක්හවුස් ආයතනයට බැදී 'දිනමිණ' පත්‍රයේ විශේෂාංශ අංශයේ උප කර්තෘවරයෙකු ලෙස කටයුතු කළේය. කුඩා කළ සිටම හෘද රෝගියෙකු වූ ජයවිලාල් මහතා 1971 අගෝස්තු 4 වැනි දින මිය ගියේය. අවුරුදු 35ක් වැනි ඉතා සුළු ජීවිත කාලයක් තුළදී ජයවිලාල් විලේගොඩ මහතා සිංහල චිත්‍රපටි වෙනුවෙන් කළ මෙහෙවර අමරණීය බව මෙම කෘතියෙන් මනාව සනාථවේ.

3 comments:

  1. ජයවිලාල්ගෙන් බැටකෑ චිත්‍රපටි නිෂ්පාදකයකු ඒ කාලේ නැති තරම්. ඔහුගේ එඩිතර භාෂා විලාශය සහිත අතිශයින් මධ්‍යස්ත සහ සාධාරණ විවේචන, සිනමාව පිලිබඳ දැනුම වර්ධනය කරගන්න අපට ලබා දුන්නේ මහත් රුකුලක්. කසිකබල් චිත්‍රපට වලින් හොඳ චිත්‍රපට වෙන් කර ගැනීමේ ඉව අප මනස තුළ ඇතිවීමට ජයවිලාල් බෙහෙවින් බලපෑවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. ඉන්දියානු චිත්‍රපටි කොපි කළා යැයි සිංහල සිනමාව විවේචනය කරද්දි විලේගොඩ විචාරකයා හින්දි සංගීතය හා සාහිත්‍ය දැන සිටි, හදාරා සිටි එය අගය කරපු අයෙක් බවත් කියන්නට ඕනෑ.

    ඉකුත් පෙබරවාරියේ දී ලංකාවේ තිබිච්ච හින්දි සිනමා ගීත සංදර්ශනයකට විලේගොඩ මහතාගේ දියණියත් සමඟ සහභාගී වෙද්දී කොතෙකුත් දෙනෙක් අවුත් විලේගොඩ මහතා අගැයූ අන්දම නිසා ඔහු ගැන මතකය මැකී නොගිහින් යැයි පෙනුනා.

    ස්තූතියි සටහනට.

    ReplyDelete
  3. මේ පොත නම් කියවලා නැහැ.ඒ වුණත් සු.මි වරින් වර සිළුමිණ පත්තරේ රසදුන අතිරේකයට‍ මොහු ගැන ලියා තිබුණා-ඔහුගේ විචාරවල කොටස් එක්කම.හරිම අපූරු මනුස්සයෙක් බව තමයි ඒවායින් මං තේරුම්ගත්තේ.අඩු වයසින් මිය යන්නේ නැතුව තව කලක් ජීවත් වුණා නම් ලංකාවේ හොද සිනමා කලාවක් ගොඩ නගන්න තිබුණාය කියල මට හිතෙනව.

    ReplyDelete