Wednesday, July 31, 2013

යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?

යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?

ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල තිබෙන ඔවුන්ගේ ලාංකීය කාර්යාලයෙන් මට දුරකථකන ඇමතුමක් දී යෝහෝවාගේ පණිවිඩය ගැන මා හට දැන්වීමට කෙනෙකු එවීමට මගේ නිවස පිහිටා තිබෙන ස්ථානය ගැන විමසනු ලැබුවා.

පහත දැක්වෙන්නේ එසේ ආ යොහෝවාගේ සාක්ෂිකරුගෙන් මා දැන ගත් කරුණුයි.

යොහෝවාගේ සාක්ෂිකරුවන් යනු යොහෝවා නමැති දෙවියන් අදහනු ලබන ජනතාවයි. යොහෝවා යනු ජේසු තුමන්ගේ පියා නොහොත් මේ ලොව මැවූ දෙවියන්ය. ඔහුගේ නම "යොහෝවා" ය. ඔවුන් එක් රැස් වී යාඥා කරන ස්ථානය හැදින්වෙන්නේ පල්ලියක් හෝ දේවස්ථානයක් ලෙස නොව "යොහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව" (Kingdom hall) ලෙසය.

සාතන් විසින් පාලනය කරනු ලබන මේ ලොව අනාගතයේදී ජේසු තුමන් විසින් විනාශ කරනු ලබන බවත්, ඉන්පසු දැනට ජීවත් වන අයගෙන් හා මියගිය අයගෙන් තෝරා ගත් 1,44,000ක් මගින් මේ ලොව පාලනය කරන බවත්, ඉතිරි අය විනිශ්චයකට ලක් කොට පාරාදීසයක් බවට හැර වූ පොළොව මත සදාකලික ජීවනයක් ලබා දෙන බවත් ඔවුන් පවසා සිටියා.

එමෙන්ම ඔවුන් විශ්වාස කරන ආකාරයට ජේසු තුමන් මරා දැමුවේ කුරුසයක ඇණ ගැසීමෙන් නොවේ. ඔහුව ඇණ ගසා මරා දමන ලද්දේ තනි ලී කණුවක අත් දෙක ඉහලට සිටින සේ එල්ලා තැබීමෙනි.



මේ ඔවුන් විසින් නොමිලේ දෙන ලද පත්‍රිකා හා පොත් පත් කිහිපයය.



මොවුන් විසින් පුන පුනා පැවසුවේ යොහෝවාගේ සාක්ෂිකරුවන් කිසි දිනෙක මුදල් දී අන්‍යාගමිකයන් යොහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් නොකරන බවත්, ලෙඩ රෝග ආදිය සුව නොකරන බවත්ය. එමෙන්ම ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇති "බයිබලසේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු" යන පොතෙහි ඇති පාඩම් 19 නොමිලේ නිවසටම පැමිණ ඉගැන්වීමටද ඔවුන් විසින් කැමැත්ත පළ කරන ලදී. මෙම පාඩම් මාලාවෙන් පසු තමාට අවශ්‍ය නම් පමණක් බෞතිස්මය ලබා යොහෝවාගේ සාක්ෂිකරුවෙකු වීමට හැකි බවද ඔවුන් විසින් පවසන ලදී. එමෙන්ම ඔවුන්ගේ රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන යාඥා මෙහෙයන් සඳහා පැමිණෙන ලෙසද ආරධනා කරන ලදී.

පහත දැක්වෙන වීඩියෝවේ ඇත්තේ යොහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සංක්ෂිප්ත විස්තරයකි.