Sunday, March 30, 2014

පරණ පොත් කඩයකට ගියෙමි

හැමදාම කොළඹ යනකොට මම දැකපු පොත් කඩයක් තමයි වැල්ලවත්තේ සේනානායක පොත් කඩය. පුංචි කාලෙ ඉඳල දැකල තිබුණත් අද තමයි ඔය කඩේට යන්න අවස්ථාව ආවෙ.

විනෝදාංශය විදිහට පොත් කියෙව්වත් අළුතෙන් පොතක් මම ගන්නෙ බොහොම කලාතුරකින්. හේතුව පොත් තියාගන්න ඉඩකඩ මදි වීමත්, පොත් ගන්න වියදම් කරන්න මුදල් අඩු වීමත්. කලාතුරකින් හරි පොතක් ගන්න ඕන වුණොත් යන්නෙ මරදානෙ ගාමිණී හෝල් එක ගාව පරණ පොත් කඩවලට තමයි. නැත්නම් නුගේගොඩ Sarasavi Warehouse එකට. ඒ යන්නෙත් බොහොම කලාතුරකින්.පොත් කියවීමේ ආශාව සංතෘප්ත කරගන්න පාණදුර හා කොළඹ මහජන පුස්තකාල දෙකටත්, විවෘත විශ්ව විද්‍යාලයේ පුස්තකාලයටත් පිං සිද්ධ වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

අතේ සල්ලි ටිකක් තියෙන වෙලාවෙ පොත් ටිකක් ගන්න වුවමනා වෙච්ච නිසා අද සේනානක පොත් කඩයට ගොඩ වැදුණා. නිකන්ම නෙමේ ගියේ. ගන්න ඕනෙ කරන පොත් ලැයිස්තුවකුත් පිළියෙල කරගෙන. ඒ වගේම මේකට යන්න තිබ්බ ඕනෙකම වැඩිවෙලා තිබ්බෙ Yamu website එකේ තිබ්බ මේ පොත් කඩය ගැන විස්තරය දැක්කට පස්සෙයි.

ඇතුළත යනකොට කඩේ දොර ළඟ හිටපු මනුස්සයගෙන් නවතකා තියෙන තැන ගැන ඇහුවම මට උත්තර දුන්නෙ දෙමළෙන්. සමහර විට මම මුස්ලිම් මනුස්සයෙක් කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් එතන තියෙන පොත් ගොඩවල් වලින් මට ඕනෙ පොත හොයා ගන්න බැරි බව තේරුණාම මම ආපහු සැරයක් ඒ මනුස්සයට කතා කළාම නම් හොඳට සිංහලෙන් කතා කරල ඇතුලෙ හිටපු කෙනා ගාවට මාව යොමු කළා. ඔහු තමයි මට පොත් හොයා ගන්න සහාය වුණේ.

මම ගන්න හිතා ගෙන හිටපු එක පොතක්වත් මේ කඩේ නම් තිබ්බෙ නෑ. ඒත් කඩේ අයිති කෙනා විය යුතු පුද්ගලයා නම් ඉතාම සුහදශීලී පුද්ගලයෙක් බව කිව යුතුයි. ඒ වගේම පොත්වල මිලත් මරදානෙ පරණ පොත් කඩවලට සාපේක්ෂව මිලෙන් අඩුයි. පොත් තුනක් ගන්න මුළු කඩේම අට්ටි ගහල දාල තිබ්බ පොත් ටික ඇද්දත් ඒ මනුස්සයා ඒ ගැන මුකුත් කිව්වෙ නෑ.

මෙතන පොත් ගොඩ ගහල තියෙන විදිහට නම් පොතක් හොයා ගන්න හරිම අමාරුයි. ටිකක් හොඳ පොත් තියෙන්න කාඩ්බෝඩ් පෙට්ටි ඇතුළෙ දාලා. ඇතුළු වෙන තැනම අඩි දෙක, තුනක් උසට ගොඩ ගහල තියෙන පොත් නම් ඇඳල බලන්නත් බයයි, පෙරළෙයිද කියලා. ඒ වගේමයි දූවිල්ලත්. හැම පොතකම දූවිලි තට්ටුවක් නම් තියෙනවමයි. කවදාවත් පිහදාලවත් නැති ගාණටයි ඒවා තියෙන්නෙ. ඒත් මරදානෙ කඩවල නම් මේ තරම් දූවිල්ලක් දකින්න නැහැ. හැමදාම දූවිලි පිහදාන නිසා වෙන්නත් පුළුවන් ඒකට හේතුව.

ඒ වගේම මෙතන තියෙන බහුතරයක් පොත්වල තත්ත්වයත් ඒතරම් හොඳ තත්ත්වයක නැහැ. මරදානට සාපේක්ෂව මිල අඩු වුණත් පොත් නම් බාලයි. සමහර පොත්වල පිටු කාවො කාලා. සමහර ඒවා වල පිටු ගැලවිලා. සමහර ඒවා වල පිටු අඩුයි. පිටු කහ ගැහිලා. ඒ වගේමයි ගොඩක් පොත් වල සටහන් යොදා තියෙනවා. (නවකතා වල පවා, highlight කිරීම් වැනි දේවල්.) ඒත් මේ වගේ තත්ත්වයක් මරදානෙ පොත් කවඩල පොත් වල නම් මම දැකල නෑ. පරන පොත් වුණත් පිටු කැඩුණු, සටහන් ලියූ, කාවො කාපු, කහ ගැහුණු  පොත් නම් මට කවදාවත් මරදානෙන් හමු වෙලා නැහැ.

ඒත් අඩු මිලට පොතක් ගන්න නම් හොඳ තැනක් තමයි සේනානායක පොත්හල. ඒත් ගන්න කලින් හොඳට පොත පරීක්ෂා කරල බලන්න ඕනෙ. සහමර පොත් අල්ලපු ගමන්ම කෑලි හැලිල බිමට වැටෙනවා. ඒත් හොඳ තත්ත්වයේ පොතුත් තියෙනවා. ඒවගේ ඒවා රුපියල් දෙසීයක් වගේ වෙන්නෙ. මරදානෙ ඒ තත්ත්වයේ පොතක් රුපියල් හාරසීයක්, පන්සීයක්, සමහරවිට ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්.

ඒ වගේමයි විද්‍යා විෂයන්වලින් උපාධිය හදාරන අයට ගැළපෙන පොත් වගේකුත් මෙතන තියෙනවා, සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව ආදිය පිළිබඳව. ඒවා නම් හොඳ තත්ත්වයේ පොත් බව කියන්න ඕනෙ. ඒ වගේමයි විවෘත විශ්ව විද්‍යාලයෙන් පළ කරන පොතුත් මෙතන තියෙනවා. රුපියල් සීයකට වගේ අඩු මිලකට විද්‍යා විෂයන්, නීතිය, ඉංජිනේරු විද්‍යාව ආදිය ගැන පළ කෙරුණු විවෘත විශ්ව විද්‍යාලයේ පොත් මෙතනින් මිලදී ගන්න පුළුවන්. (විවෘත විශ්ව විද්‍යාලයෙන් මිලදී ගන්නවනම් මේ පොතක මිල රුපියල් තුන්සීයකට වඩා මිල වැඩි වෙනවා.)

අන්තිමට කියන්න තියෙන්නෙ ලාබෙට පොතක් ගන්න ඕනෙනම් සේනානායක පොත්හලට ගිහින් බලන්න කියලයි. ඒත් පොත ගන්න කලින් හොඳට පෙරළල බලන්න. පිටු අඩු වීමේ හැකියාවක් තියෙනවා. පිටු කාවන් කා ඇති දැයි බලන්න. සටහන් තැබූ පොතක් ඔබට ප්‍රශ්නයක් නැති නම් මිලදී ගන්න. මම නම් පුද්ගලිකව සටහන් තැබූ පොතක් මිලදී ගන්න අකමැතියි. සල්ලි නැති නිසා පරණ පොත් මිලදී ගත්තත් ඒ වගේ පොත් නම් ගන්න කැමැත්තක් මගේ නැහැ. ඒ වගේමයි එතන සේවයට සිටින මහත්මයත් ඉතාම සුහදශීලී මහත්මයෙක්. කොච්චර පොත් ඇඳල නොගෙන හිටියත් බනින්නෙ නම් නෑ, සමහර ලොකු නම් තියෙන පොත් කඩවල සේවකයන් වගේ. ඒත් කඩේ දොර ගාව ඉන්න මනුස්සය නම් නිතරම ඇහැ ගහගෙනයි ඉන්නෙ පොත් මිලදී ගන්න පුද්ගලයන් පිළිබඳව. සමහර විට පොතක්, දෙකක් හොරකම් කර ගන්නත් එතන හොඳටම ඉඩකඩ තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔබ ගාව තියෙන පරණ පොත් විකුණා ගන්න හෝ වෙනත් පොත් වලට හුවමාරු කර ගන්නත් එතන පුළුවන්කම තියෙනවා.

අළුත් පොතකින් එන සුවඳ වෙනුවට මේ පොතකින් එන්නෙ පුස් කාපු, දූවිලි මිශ්‍ර වෙච්ච සුවඳක්. හැබැයි මේ පොත්වල එකතු වෙලා තියෙන දැනුම නම් පුස් කාලා නෑ.

ඔබට අවශ්‍ය පොතක් හොය හොයා, පොත්වල දූවිලි පිස දමමින් හා දූවිලි නා ගනිමින් පොතක් හොයන්න අකමැති නම් මෙන්න මේ දුරකතන අංකයට කතා කරල බලල පොත තියෙනවද කියල අහල බලල මිලදී ගන්න යන්න. 011 2361948

මේ පහළ තියෙන්නෙ මම මිලදී ගත්ත පොත් තුනේ ඡායාරූපයක්.


(ජේම්ස් හැඩ්ලි චේස් පොතක් රුපියල් සීයයි. තවත් හැඩිලි චේස්ගෙ පොත් තිබ්බත් ඒවා ගන්න හිතෙන්නෙ නැති තරමටම බාල තත්ත්වයේ පොත්. අනෙක් පොත රුපියක් දෙසීයයි.)

5 comments:

  1. මේ ලිපිය ඉතාම වැදගත් වෙන්නේ මහා නිධන් වස්තු වගේ දුර්ලභ පොත් හැංගිලා තියෙන්න ඔනතරම් ඉඩ තිබෙන නිසයි. ඔබට ස්තුතිය චරිත්

    ReplyDelete
  2. How is prices in Sarasavi Warehouse?

    ReplyDelete
  3. චරිත්ගේ මේ ලිපිය මම මීට පෙරත් කියවූ බව මතකයි. කෙසේ වෙතත් ස්තූතියි.

    ReplyDelete
  4. ස්තුතියි :) බොහොම වටිනා ලිපියක්..

    ReplyDelete