Friday, May 30, 2014

පරිවර්තනය vs අනුවාදය - 1

(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)

මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්තනය හෙවත් අනුවාදනය අතර ඇති ඉමහත් වෙනස යි. අනුවර්තනය කීව ද අනුවාදය කීව ද දෙක ම එක ම ය. වචන දෙකක් වුව ද, වචන දෙකෙන් ම කෙරෙනුයේ එක ම ක්‍රියාවලිය යි. එ බැවින් මේ සාකාච්ඡාවේ දී මින් ඉදිරියට අනුවාදය යන වචනය පමණක් මම භාවිතා කරමි. වඩා ප්‍රචලිත ව ඇත්තේ ඒ වචනය වන හෙයිනි.

මේ තාක් දුරට, මට දකින්ට ලැබී ඇති පරිදි නම්, විදේෂීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථ සිංහලයට නඟන අනුවාදකයන් පරිවර්තනය හා අනුවාදය යන වචන දෙක, එකම අර්ථයක් ඇති වචන දෙකක් ලෙස, නැත හොත් එකම ක්‍රියාවලියක් හඟවන වචන දෙකක් ලෙස, පාඨකයන්ට හඳුන්වා දීමේ සියුම් ප්‍රයත්නයක යෙදී සිටින බව කිව යුතු ව ඇත. ඔවුන් වචනයෙන් මේ පිළිබඳව කිසිවක් නො කියුව ද, ඉඟියෙන් හා ඇතැම් විට ව්‍යංගයෙන් පරිවර්තයත් අනුවාදයත් යන දෙක එකක් ම ය යන අදහස පාඨකයන්ට දී ඇති බවක් ද, දැනුදු එසේ දෙන බවක් ද මට පෙනේ. පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර අහසට පොළොව මෙන් පවත්නා අතිමහත් වෙනස ගැන අනුවාදකයන් දනිතත්, ඔවුහු ඒ වෙනස පාඨකයන්ට නම් දැන ගැනීමට ඉඩක් නො තබති: එ මෙන් ම, එය ඔවුන්ට පැහැදිලි කර දීමට ද අදහස් නො කරති. එ සේ පැහැදිලි කර දීම ඔවුන්ට පාඩුවකි: එයින් ඔවුන්ට සිදු වන්නේ අලාභයකි. එය ඔවුන් පැහැදිලි කර නො දෙන්නේ ඒ නිසා ය. ඒ නිසා ම, පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර පවත්නා බලවත් වෙනස නො දන්නා සාමාන්‍ය පාඨකයා, පරිවර්තනය යැයි කිව ද, අනුවාදය යැ යි කිව ද, දෙක ම එකක් ලෙස සිතති. මේ වචන දෙක ම යෙදෙන්නේ, එක ම ක්‍රියාවලිය සඳහා යැ යි විශ්වාස කරති. එහෙත් මේ ක්‍රියාවලීන් දෙක අතර ඇත්තේ ඉතා බලවත් වෙනසකි.

පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර ඇති බලවත් වෙනස මෙ සේ සම්පිණ්ඩනය කර දැක්විය හැකි ය:

1. පරිවර්තනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟිය යුතු ය.

2. පරිවර්තනයේ දී, මුල් කෘතියේ කිසි ම කොටසක්, යටත් පිරිසෙයින් එක ම අනුච්ඡේදයක් වත්, සිංහල පරිවර්තනයෙන් ඉවත් නොකළ යුතු ය.

3. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම, සිංහල පරිවර්තනයේ දී ඉදිරි පත් කළ යුතු ය.

4. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින් ම සිංහල පරිවර්තනයේ යෙදිය යුතු ය: ඒවා වෙනස් කිරීමක් හෝ විකෘත කිරීමක් නොකළ යුතු ය.

5. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාෂා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්තනයේ තිබිය යුතු ය. මුල් කෘතියේ කතුවරයා, දීර්ඝ වාක්‍යවලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ උපමා, රූපක, අනුප්‍රාසාදියෙන් බහුල ආලංකාරික රචනා ශෛලියක් තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද තිබිය යුතු ය. කෙටියෙන් කියතොත්, මුල් කෘතියේ අදහස මෙන් ම, රචනා ශෛලිය ද සිංහල පරිවර්තනයෙන් පිළිබිඹු විය යුතු ය.

6. පරිවර්තනයේ දී, මුල් කෘතියේ අදහස සම්පූර්ණයෙන් ම සිංහලයට නැඟිය යුතු ය.

7. පරිවර්තනයේ දී, මුල් කෘතියෙන් සිංහල පරිවර්තනය වෙනස් විය යුත්තේ භාෂාවෙන් පමණි.

8. පරිවර්තකයාට අනුවාදකයාට තිබෙන නිදහස නැත.

5 comments:

  1. ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතා ගැනත් සඳහන් කලානම් හොඳයි.

    ReplyDelete
  2. කේ. ජී කරුණාතිලක මහතා ඒ කාලෙ අසංක්ෂිප්ත පරිවර්ථන විතරක් කරපු කෙනෙක් ,

    ReplyDelete
  3. හොද තොරතුරක්...මේවා පිළිබද මා කලින් දැනුවත් වී සිටියේ නෑ. ස්තූතියි චරිත්

    ReplyDelete
  4. වෙනස් සංස්කෘතික අංග,භාෂාවන් හි ඇති වෙනස්කම් මත පරිවර්තනය කිරීමේදී වගේම ඒවා රසවිඳීමේදී ගැටළු සහගත බව මගේ මතයයි.

    එනිසා අනුවාදයකින් මුල් කෘතියට වඩාත් සාධාරණත්වයක් ඉටු කරන්නට හැකියි, අවසානයේ වඩා වැදගත් පාඨකයාගේ හිතේ ඇඳෙනා රුපය මිස වචන නොවේ.

    ReplyDelete