Wednesday, July 30, 2014

පරිවර්තනය vs අනුවාදය - 2

පළමු කොටස මෙතනින් බලන්න.

(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)

අනෙක් අතට

1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍ය නැත.

2. අනුවාදනයේ දී, අනුවාදකයාට අභිමත පරිදි, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදයෙන් ඉවත් කළ හැකි ය. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමට ද පුළුවන.

3. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම සිංහල අනුවාදයේ දී ඉදිරි පත් කිරීම අවශ්‍ය නැත.

4. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයා ගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘත හෝ කළ හැකි ය. සිංහල ඌරුවට යැ යි කියමින් සිංහල නම් ද යෙදිය හැකි ය.

5. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසය ම හා රචනා ශෛලිය ම අනුගමනය කිරීම අවශ්‍ය නැත. අනුවාදකයාට සිතෙන අන්දමේ නැත හොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා ශෛලියකින් ලිවිය හැකි ය.

6. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස සම්පූර්ණයෙන් දීම අවශ්‍ය නැත. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය.

7. අනුවාදනයේ දී, එම අනුවාදය මුල් කෘතියෙන් බොහෝ අංගවලින් වෙනස් විය හැකි ය.

8. අනුවාදකයාට පරිවර්තකයාට නො තිබෙන ලොකු නිදහසක් ඇත.

ඉහත දැක්වූ කරුණුවලින්, පරිවර්තනය හා අනුවාදය අතර ඇති ඉමහත් වෙනස මනා ව පැහැදිලි වෙයි. මේ අනු ව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථයක්, එම ලේඛකයා එය ලියූ අයුරින් ම, භාෂාවේ වෙනස් කම පමණක් ඇති ව, සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව කියවා, පූර්ණ සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථය පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුත්තේ එම ග්‍රන්ථයේ පරිවර්තනයක් ම විනා අනුවාදයක් නම් නො වේ. අනුවාදයක් කියවීමෙන් ලබා ගත හැක්කේ එම ග්‍රන්ථය පිළිබඳ ව අල්ප මාත්‍ර දැනුමක් පමණි. ඇතැම් විට එම දැනුම වැරදි දැනුමක් වීමට ද ඉඩ තිබේ.

දැනය සිංහලයට නැඟී ඇති විදේෂීය සාහිත්‍ය කෘති අතුරෙන් සියයට අනූවකට ද වඩා ඇත්තේ අනුවාද කෘති ය. එයට හේතුව, පරිවර්තනය කිරීමට වඩා අනුවාදය කිරීම ලෙහෙසි හා සුකර කාර්යයක් වීම ය. එ පමණක් නො ව, එහි වග කීම ද අඩු ය. අනුවාදකයාට මුල් කෘතියේ ගැටළු තැනක් හමු වුව හොත්, නැති නම් නොතේරෙන තැනක් හමු වුව හොත්, ඒ තැන අත් හැර දමා, අනුවාදය කර ගෙන යා හැකි ය. පරිවර්තකයාට එ සේ කළ නො හැකි ය.

එම නිසා සිංහලයට නඟන ලද විදේශීය කෘති තෝරා ගැනීමේ දී, පාඨකයා ඉතා පරීක්ෂාකාරී විය යුතු ය: ඉතා විමංසන ශීලී විය යුතු ය. නො එ සේ වුව, පියවරක් පියවරක් පාසා ඇති අනුවාද නමැති බොරු වළවල වැටීමට ඉඩ ඇත.